හම්බන්තොට දිස්ක්‍රික්කයෙන් බිහිවූ පළමු ටෙස්ට් ක්‍රීඩකයාවන සුරංග ලක්මාල් දැන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානම වේගපන්දු යවන්නාය. මේ වන විට ටෙස්ට් කඩුලු සීයේ සීමාව පසුකර ඇති ලක්මාල් එක්දින කඩුලු 98ක් දවා ගනිමින් එක්දින කඩුලු සීයේ සීමාවටද ආසන්නව සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට කළ දකුණු අප්‍රිකානු සහ ඉන්දියනු සංචාරවලදී වැඩිම සාර්ථකත්වයක් පෙන්වූ වේගපන්දු යවන්නා වූයේද ලක්මාල්ය. පසුගියදා අවසන්වූ අන්තර් පළාත් සුපිරි සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය දැරුවේද සුරංග ලක්මාල්ය. නමුත් ආබාධයක් හේතුවෙන් තරගාවලියේ එකදු තරගයකට හෝ ක්‍රීඩාකිරීමේ අවස්ථාවක් ඔහුට නොලැබුණි. ඒ හේතුවෙන් මෙදිනවල නිවසේ විවේක සුවයෙන් සිටින ලක්මාල් සමග රැස ඔහුගේ ක්‍රිකට් දිවිය පිළිබඳව පැවැත්වූ සංවාදයකි කොටසකි මේ…

තිස්සමහාරමය කිව්වට නියම ගම කොහෙද?
තිස්සමහාරාමයේ විලමුල්ල… බස් එකේ යනව නම් තිස්සමහාරාමයේ ඉඳල විනාඩි විස්සක් විතර ගතවෙනවා.

පාසල?

මුලින්ම ගියේ තිස්සමහාරාමයේ තිස්ස මහා විදුහලට. ඊට පස්සෙ දෙබරවැව ජාතික පාසල. අවසානයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියා.

ජාතික මට්ටමට එන්න හිතුන පළමුවෙනි අවස්ථාව?

මුලින්ම වයස අවුරුදු 15න් පහළ සංචිතයකට කැඳවීමක් ලැබුණා.. 2000-2001 වගේ කාලෙදි. තේරීම් තිබුණෙ උදේ. නමුත් මට ලියුම ලැබුණෙ හවස තේරීම් තියෙනවා කියලයි. මම ඒ කැඳවීමට අනුව කොළඹ ආවා. එනකොට තේරීම් කරලා ඉවරයි. ඒ එක්කම 2000-2001 වසරේදී දෙබරවැව ජාතික පාසල වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් ශූරතාවය දිනා ගන්නවා. ඒ සිදුවීම් ජාතික තලයට එන්න මට ශක්තියක් වුණා.

ඊට පස්සේ?

17න් පහළ තරගයකදි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව මම එක ඉනිමකදි කඩුලු 8ක් දවා ගන්නවා. ඒක දැකල රිච්මන්ඩ් විද්‍යාලයේ පුහුණුකරු මට කථාකළා රිච්මන්ඩ් විද්‍යාලයට එන්න කියලා. ඊට කලිනුත් මට එහෙම එන්න කියලා කථාකරලා තිබුණා. කොළඹ පාසල් කීපයකිනුත් මට එන්න කිව්වා. නමුත් මම හැදුණු පරිසරය වගේම, ඒ කාලෙ තිබ්බ තත්ත්වයත් එක්ක මම කැමති වුණේ නැහැ පාසල මාරු කරන්න. දෙමව්පියො සහ පාසලේ පුහුණුකරුවන් කැමති වුණෙත් නැහැ මාව නගරයට එවන්න. අන්තිමට මම රිච්මන්ඩ් විද්‍යාලයට ආවා.

රිච්මන්ඩ් විද්‍යාලයෙදි දක්වපු දක්ෂතා?

පළවෙනි වසරෙම මම කඩුලු 60ක් දවා ගත්තා. ඒ වසරෙම මම වර්ණ දිනා ගත්තා. රිච්මන්ඩ් විද්‍යාලයට ක්‍රීඩා කළ අවුරුදු තුනේදිම හැම වසරකම මම කඩුලු 50ට වඩා ලබා ගත්තා. 2006-2007 මහින්ද විද්‍යාලයත් එක්ක තිබ්බ මහා ක්‍රිකට් තරගයේදී දක්ෂතම පන්දු යවන්නා වගේම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට සම්මාන ලැබුවා. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලය සමග පැවති තරගයකදි අංක 9 පිතිකරු විදිහට ඇවිල්ල ශතකයක් ලබාගත්තා.

19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළාද?

අන්තිම වසරෙත් මම මොන තරම් දස්කම් දක්වල තිබුණත් 19න් පහළ එකම පුහුණු තරගයකටවත් මාව තෝර ගත්තෙ නැහැ. අඩුගානෙ මගේ නමවත් යෝජනාවෙලා තිබුණේ නැහැ. ඒ ඇයි කියන්න මම දන්නෙ නැහැ. එදා තමයි මම හිතා ගත්තේ කොහොමහරි ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරනවා කියලා.

ක්‍රීඩා සමාජය?

2008 වසරෙදි ඉඳලම මම ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකරනවා. 2015 මගේ නායකත්වය යටතේ වසර 65කට පස්සෙ අපි ලීග් ශූරයින් වුණා.

පළමු විදෙස් සංචාරය ?

2008 දකුණු අප්‍රිකානු සංචාරයක් තිබුණ අපේ ‘ඒ’ කණ්ඩායමට. ඒකත් අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම පුහුණු සංචිතයෙ හිටියෙ නැහැ. හතුරුසිංහ සර් තමයි මට කථා කළේ. ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙලා ඒ වෙනුවට මාව කණ්ඩායමට කැඳෙව්වා. හවස කිව්වා හෙට පුහුණු තරගයක් තියෙනව ක්‍රීඩා කරන්න කියලා. ඒ පුහුණු තරගයෙදි කඩුලු 5ක් අරගෙන තමයි මම දකුණු අප්‍රිකානු සංචාරයට එකතුවුණේ.

පළමු ටෙස්ට් තරගය ?

මට ටෙස්ට් තරගයකට ක්‍රීඩාකරන්න අවුරුදු 2ක් විතර බලාගෙන ඉන්න වුණා. මගේ පළවෙනි ටෙස්ට් තරගය වුණේ 2010 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයක්.

කඩුලු කීයක් ගත්තද ?

පළවෙනි ඉනිමෙ කඩුලු 2ක් දවා ගත්තා.

පළමු එක්දින තරගය ?

ඒ අවස්ථාව ලැබුණෙත් අහම්බෙන්. දිල්හාර ප්‍රනාන්දු ආබාධයකට ලක්වුණ නිසා මාව ඉන්දියාවට කැඳෙව්වා. ගහන්න නෙමෙයි ඇත්තටම මම එහෙට ගියේ. ඒ එක්කම ලසිත් මාලිංග ආබාධ වුණ නිසා උදේ තමයි මට කිව්වේ අද ඔයා ක්‍රීඩා කරනවා කියලා.

විස්සයි විස්ස තරග ?

20/20 තරග මම ඒතරම් ක්‍රීඩාකරල නැහැ. වසර එකහාමාරකට විතර පස්සෙ නිදහස් කුසලානයෙදි එක තරගයක් ක්‍රීඩා කළා. මම ඒ තරම් 20/20ගැන හිතන්නෙ නැහැ.මගේ මූලික ඉලක්කය ටෙස්ට් සහ එක්දින තරග හොඳින් ක්‍රීඩා කරන එකයි.

පුහුණුකරුවන් ?

මගේ පළවෙනි පුහුණුකරු වුණේ නීල් කමල් සර්, දෙබරවැව ජාතික පාසලේ ක්‍රිකට් පුහුණුකරු. ඊට පස්සෙ රිච්මන්ඩ් විද්‍යාලයේ අශෝක් කුමාර සර්. මම ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ආවට පස්සෙ බ්‍රෙන්ඩන් කුරුප්පු, ලංකා ද සිල්වා, සජිත් ප්‍රනාන්දු වගේ ගොඩක් අය මාව පුහුණු කළා.

අවසාන දකුණු අප්‍රිකානු සංචාරය ගැන මොකද හිතන්නේ ?

මම යන්න ඉස්සෙල්ලා මම මටම ඉලක්කයක් හදාගත්තා. ඒකට අනුව මම හිතාගෙන ගියේ කඩුලු 18ක් විතර ගන්නවා කියලයි. මම කඩුලු 16ක් දවාගත්තා.

අවසාන වුණු ඉන්දියානු සංචාරය ?

ධර්මශාලාවල එක්දින තරගයෙදි ලකුණු 13කට කඩුලු 4ක් ගත්තා. ඒ තරගයේ එක අවස්ථාවක ඉන්දියාවේ කඩුලු 7ක ලකුණු 27කට දැවී ගියා. හොඳ විකට් එකක්. ටෙස්ට් තරගයකත් ඒ වගේ හොඳ විකට් එකක් ලැබුණා පන්දු යවන්න. ඒ තරගයේ අපිට ජයග්‍රහණය කරන්නත් අවස්ථාවක් තිබුණා. දෙවැනි ඉනිමේ එයාල හොඳට ක්‍රීඩා කළා. විරාට් කෝලි ශතකයක් ගත්තා. තරගය පටන් ගත්ත පළමු දිනයේ මම හොඳටම පන්දු යැව්වා. වාර්තාවකුත් තියන්න පුලුවන් වුණා. එක දිගට මගේ අටවැනි පන්දුවාරය වෙනකම්ම ලකුණු නොදී පන්දු යැව්වා. ශ්‍රී ලංකා පිලක් ඉන්දියාවේ කළ සාර්ථකම සංචාරයක් ඒක.

ඔබව වැඩිය මාධ්‍යවල අවධානයට ලක්වෙන්නෙ නැහැ නේද?

මම හොඳට ක්‍රීඩාකළත්, එහෙම කළේ නැතත් මාධ්‍යවලින් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒක ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මම දන්නවා යම්වෙලාවක අසාර්ථක වුණොත් මම සාර්ථක වුණු වෙලාවේ අගයපු මාධ්‍ය තුළින්ම විවේචන එනවා කියලා. ඒ නිසා මම ඔලුව උස්සගෙන මගේ ගමන යනවා. මම හොඳට ක්‍රීඩා කරනකොට ගොඩක් අය ඉන්නවා හොඳට කරන්නෙ නැත්නම් කවුරුවත් නැහැ. එතකොට මට ඉන්නෙ මගේ බිරියයි, අම්මයි, තාත්තයි විතරයි.

තව කොයිතරම් කාලයක් ක්‍රිකට් ගහන්න හිතාගෙන ඉන්නවද ?

2019 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරනවා. ඊට පස්සෙ මගේ ශාරිරික යෝග්‍යතාවය බලලා ඉදිරියට ක්‍රීඩාකරනවද නැද්ද කියල තීරණය කරනවා. මගේ උපරිමකාලය අවු 34 හෝ 35 තමයි. හැබැයි ඒ ශාරිරික යෝග්‍යතාවය තියෙනව නම් විතරයි. හහ ක්‍රීඩකයෙක් විදිහට හැමදාම ක්‍රීඩා කරන්න ඇවිල්ලා නැහැ. මම කැමති නැහැ මාව එලවලා දානකම් ක්‍රිකට් ගහන්න. මම එහෙම ඉන්නෙ නැහැ. අනික මම සල්ලිවලට නෙමෙයි ක්‍රිකට් ගැහුවෙ. පොඩිකාලෙ ක්‍රිකට් ගැහුවෙත් ආසාවට. දැන් ගහන්නෙත් ආසාවට. මම පොඩිකාලෙ ඉඳල ආසයි ක්‍රිකට්වලට. මට අමාරුනම්, කොච්චර සල්ලි ලැබුණත් මම තීරණය කරල තියෙන්නෙ අයින් වෙන්න.

පන්දු යවන්න අසීරුම පිතිකරුව කවුද ?

විරාට් කෝලි සහ ඒබී ඩිවිලියර්ස් තමයි ටිකක් පන්දු යවන්න අමාරු පිතිකරුවන්.

ඔබ දැන් ඉන්න තත්ත්වය ගැන කවුද වැඩියෙන්ම සතුටු ?

තාත්තට තමයි. මාව පොඩි කාලෙ ක්‍රිකට් පුහුණුවට යන්න උදේ පාන්දරම බයිසිකලේ දාගෙන ගෙනියන්නෙත් තාත්ත තමයි.

යාළුවො එහෙම ?

යාළුවො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ජීවන්. අනිත් යාළුවා රසික සම්පත්. අපි තුන්දෙනා තමයි එකට ක්‍රිකට් පුහුණුවීම්වලට ගියේ. ටෙනිස් බෝල් ක්‍රිකට් ගැහුවත් අපි එකට හිටියා. එයින් රසික සම්පත් තමයි මටත් වඩා ක්‍රිකට්වලට දක්ෂයා. ගමේ අයත් හිතුවේ මට වඩා එයා ඉස්සරහට යයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. රසික දැන් ඉන්නෙ හමුදාවේ. දැනටත් දවසකට වතාවක් හරි අපි දෙන්න දුරකථනයෙන් කථා කරනවා. එක බත් එක කාල පුහුණුවීම් කරපු හැටි තවමත් මට මතකයි. හොඳ කට්ටක් කාල තමයි මම මෙතනට ආවේ. ඒ ගමනෙදි හිටිය යාළුවො ඔක්කොම මට මතකයි. දෙබරවැව පාසලට අපි තුන්දෙනා පුහුණුවීම්වලට එන්නෙ හයයි කාල බස් එකේ. බැරිවෙලා හරි ඒ බස් එක අල්ල ගන්න බැරි වුණොත් පයින් තමයි පාසලටම යන්නෙ. එහෙම යන්න පැයක් විතර යනවා.

අන්තිමටම ගමේ ගියේ ?

අවුරුද්දකට විතර පස්සෙ ගෙදර ගියේ මේ සිංහල අවුරුද්දට… මම හිතන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ තමයි සිංහල අවුරුද්දට ගෙදර හිටියේ.

අම්ම, තාත්ත ?

අම්මයි තාත්තයි තාම ගමේ ජීවත්වෙන්නේ. අපි කොච්චර කථා කළත් එයාල කැමති නැහැ මෙහෙ එන්න. ගමේ ජීවත්වෙලා දැන් මෙහෙ පරිසරයට හුරුවෙන්න අමාරුයි කියලයි ඔවුන් කියන්නේ. මමත් ඒ නිසා වැඩිය බල කරන්නෙ නැහැ. නැත්නම් ඒක එයාලටත් වදයක් වෙනවා.

සංවාදය-
ඩබ්ලිව්.ආර් කුමාර
රැස 02.05.2018

LEAVE A REPLY