අතීතයේ සිට ශ්‍රී මහා බෝධියේ රාජකාරි කටයුතුවල නිරතව සිටින කපු මහත්වරුන් පදිංචි පාරම්පරික විහාර ගම්මාන නවයට අයත් ඉඩම් ඇතැම් පිටස්තර පුද්ගලයන් විසින් විකුණා අන්සතු කිරීම නිසා අනාගතයේදී ශ්‍රී මහා බෝධියේ රාජකාරි කටයුතු කිරීමට පිරිස නොමැතිවීමෙන් ශ්‍රී මහා බෝධිය අනතුරට ලක්වීමේ අවදානමක් උද්ගතව ඇති බව අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලෙගම සිරිනිවාස නාහිමියෝ පැවැසූහ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර තිස් නවයක් පිරීම නිමිත්තෙන් පෙරේදා (02දා) පෙරවරුවේ ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ අදාළ කරුණු ඇතුළත් ලිපිගොනුවක් අමාත්‍යවරයා වෙත භාර දෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ විහාර ගම්වල ශ්‍රී මහා බෝධිය හා බැඳුණු ඉපැරැණි සංස්කෘතියද විනාශ වීමේ තර්ජනයකට ලක්විය හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.
අටමස්ථානාධිපති නාහිමියෝ මෙසේද පැවැසූහ.

ශ්‍රී මහා බෝධියට අයත් විහාර ගම් නවයක් තිබෙනවා. මේවා රජ කාලේ සිට පැවැත එන්නක්. කිසිදු වැටුපක් හෝ නොලබා ශ්‍රී මහා බෝධියේ රාජකාරි කටයුතුවල නිරතව සිටින කපු මහත්වරුන්ගේ දියණියන් සමඟ පිටස්තර ප්‍රදේශවලින් පැමිණ විවාහ වන ඇතැම් පුද්ගලයන් විහාර ගම් සහ ශ්‍රී මහා බෝධියේ වටිනාකම නොදැන ඉඩම්වල පදිංචිකරුවන්ගේ මනසට විවිධ අදහස් දමා එම ඉඩම් බෙදා වෙන්කර විකිණීම සිදු කරනවා.

මේ කාර්යය වැළැක්වීමට කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වී එම ඉඩම් අනාගතයේදීත් ඒ ආකාරයෙන්ම තබා ගැනීමට අපි කල්පනා කරනවා. විහාර ගම්වල ඉඩම් බෙදා නිවාස ඉදිකිරීමට පියවර ගතහොත් ශ්‍රී මහා බෝධිය හා බැඳුණු ඉපැරැණි සංස්කෘතිය විනාශ වී යෑමට ඉඩ තිබෙනවා. එම නිසා ශ්‍රී මහා බෝධියට අයත් විහාර ගම් නවය හැර නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් අටමස්ථානාධිපති නාහිමියෝ පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් එම ගම්මාන ආශ්‍රිතව නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැති බවත් ඉදිරියේදී උදා ගම්මාන වැඩසටහන යටතේ සිදු කෙරෙන නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙතොත් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුදැනුමකින් තොරව එවැන්නක් සිදු නොකරන බවත් පැවැසීය.

අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

LEAVE A REPLY