ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට පෙරාතුව දකුණු අප්‍රිකා කණ්ඩායම ඉන්දියාවේ පුහුණු සැසියක් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවරදී ඔවුන් මෙම පුහුණුව ආරම්භ කර ඇත. සතියක කාලයක් පුරා පැවැත්වෙන පුහුණු සැසියට දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රීඩකයන්, ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් ඇතුළත් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ටෙම්බා බවුමා, කේෂාව් මහරාජ්, ඩෑන් පිඩ්ට් යන ක්‍රිඩකයන් මෙම සැසියට එක්ව ඇති අතර දකුණු අප්‍රිකානු පුහුණුකරු රසෙල් ඩොමිනොගෝ, පිතිකරණ පුහුණුකරු නීල් මැකෙන්සි යන අයද මෙම සැසියට එක්ව තිබේ.

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ජූලි මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි මස 12 වැනිදා ආරම්භ වේ. එම තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත. එම තරගය නිමා වී දින 4කට පසුව එනම් ජූලි මස 20 වැනිදා SSC පිටියේ දී දෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙනු ඇත.

තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිත අතර දඹුල්ල, පල්ලෙකැලේ හා ආර්. ප්‍රේමදාස එම ක්‍රීඩාංගණ තුනයි. එම එක්දින තරග සඳහා දිවා – රාත්‍රී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් ද ඇතුළත්ව තිබේ.

මෙම තරගාවලිය අවසන් කරමින් පැවැත්වෙන එකම විස්සයි – විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අගෝස්තු මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ වර්තමාන එක්දින හා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන තැන සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූයේ 2014 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් හා එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත විය. එම තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

තරග කාලසටහන,

පළමු ටෙස්ට් තරගය – ජූලි 12 සිට ජූලි 16 දක්වා – ගාල්ල
දෙවන ටෙස්ට් තරගය – ජූලි 20 සිට ජූලි 24 දක්වා – SSC
පළමු එක්දින ක්‍රිකට් තරගය – ජූලි 29 – දඹුල්ල (දිවා)
දෙවන එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 1 – දඹුල්ල (දිවා/රාත්‍රී)
තෙවන එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 5 – පල්ලෙකැලේ (දිවා)
සිව්වන එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 8 – පල්ලෙකැලේ (දිවා/රාත්‍රී)
පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 12 – ආර්. ප්‍රේමදාස (දිවා/රාත්‍රී)
20-20 ක්‍රිකට් තරගය – අගෝස්තු 14 – ආර්. ප්‍රේමදාස (රාත්‍රී)

LEAVE A REPLY