අපේ රටේ මාධ්‍ය නාලිකා කොතරම් තිබුනද ඒ එකකවත් ජනතාවට අවශ්‍ය දේ හෝ ජනතාව වෙනුවෙන් කතා කරන හඬ නගන බවක් පෙනෙන්නට නැත. ජන මාධ්‍ය ලෙස පම්පෝරි ගසනා ඔවුන් සල්ලි මලු පොම්ප කරමින් චැනල් එකේ රේටින් වැඩි කර ගන්නට පොර කන අතර ආගම දහමෙන් පටන්ගෙන සංස්කෘතිය සදාචාරය හරහා ලිංගිකත්වය පවා විකුණමින් එක එක තාලයේ වැඩසටහන් කරමින් හොදම මිලට තම ගුවන් කාලය විකුණා ගැනීමේ පොරයක පසුවෙයි. ඒ සඳහා ජනතාවට හොඳම දේ ලබා දීම වෙනුවට ජනප්‍රිය විකාශය කිරීමට නාලිකා සියල්ල පෙළඹීම දුකට කරුණකි.

මෙහි ආසන්නතම සිදුවීම ලෙස පසුගිය වෙසක් පොහෝදා අනුරාධපුර රුවන්මැලි සෑ පුදබිමේ සිදුවූ සිදුවීම දැක්වීමට පිළිවන. රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් වන හිරු නාලිකාව තම වෙසක් පොහෝදා වැඩසටහන සංවිධානය කර තිබුනේ රුවන්මැලි සෑ පුද බිමේ වන අතර රාත්‍රී කාලය උදා වත්ම උතුම් ස්වර්ණමාලි සෑ රජුන් වෙනුවෙන් ආලෝක පුජාවක් සංවිධානය විය. මෙය අන් අවරදාටත් වඩා අළුත් දෙයක් වුයේ එය ලේසර් ආලෝකයෙන් එය සිදු කිරීමයි.

මෙම පින්කමේදී හිරු නාලිකාවේ අරමුණ වුයේ මහා සෑ වහන්සේ වෙත ආලෝක පුජා කිරීමද නැතහොත් සෑ වහන්සේ පාට පාට එලි වලින් නහවා එය තම චැනලයේ විකාශය කර තම නාලිකාව ප්‍රසිද්ද කර ගැනීමට කියා දන්නේ නාලිකාවේ ප්‍රධානින් පමණි. නමුත් හිරු මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංගයේ පාට පාට ලේසර් එලි මෙන් පාට පාට විච්චුර්ණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ මහා ආනුභාව සම්පන්න පුජා භූමියට කොතරම් ගැලපෙනවාද කියා ඔවුනට දෙවරක් සිතන්නට තිබුනා නේද? යන්න බොහෝ දෙනාට ඇති ගැටලුවකි.

ආගම දහම වෙනුවෙන් මහා පුජාවන් පවත්වමින් උත්තම ධාතු වන්දනා පවත්වමින් ආගමික වැඩසටහන් කිරීම හා ආලෝක පුජා පැවැත්වීම ඉතා හොඳ වැඩකි නමුත් තම නාලිකාව උදේ ඉඳන් රෑ වනතුරු ජනතාව වෙනුවෙන් ප්‍රචාරය කරන්නේ කුමක්ද සහ ඒවායින් ජනතාවට අත් වන ඉරණම පිළිබඳව සිතා වැඩ කරන්නේ නම් ඉහත කි පුණ්‍ය කාර්ම සියල්ලටම වඩා වටිනා බව අපගේ හැඟීමයි.

උදේ පිරිත් වලින් මිනිසුන් අවධි කරවා එතැන් පටන් ලග්න පලාපල ජෝතිෂ්‍ය හා කොහේවත් නැති ග්‍රහලෝක වල පලා පල කියමින් මිත්‍යා දෘෂ්ඨිය වපුරමින් බුදු දහමට හැකි තරම් නිගා දෙන මොවුන් පසුව රටේ පුවත් වෙනුවට කාමය හා ලිංගිකත්වය උලුප්පන එක එක බඩු පොට් වටලන හැටි පෙන්වමින්ද මෙලෝ වැඩකට නැති ගම්මැදි හෑලි කුණුහරුප සමඟ පෙන්වමින් තම ගුවන් කාලය ගෙවා දමයි. කුඩා දරුවන් පවා භාවිතා කරමින් ලිංගිකත්වය හා වෙනත් ආශාවන් උද්දීපනය කරමින් ජනතාව දවස පුරා පවට යොමු කරමින් අවසානයේ පිරිත් විකාශයෙන් නින්දට යවන්නට මේ නාලිකාව කටයුතු කරයි….

අපේ රටේ බෞද්ධයින් පිරිත් වලින් අවදිව පිරිත් වලින් නිදා ගන්නා ජාතියක් බවට පත්කර ඔවුනට ඕනෑ සියලු ජරාව විකුණා අවසානයේ පෝය දවසට උත්තම ධාතු වනදනා කරවන්නේ හා මහා සෑ රදුන් හට ආලෝක පුජා පවත්වන්නේ සැබෑවටම පින් පිණිසද? නැතිනම් තම බඩගෝස්තරය රැක ගැනීමටද යන්න නුවනින් විමසා බැලීම පින්වත් ඔබ සැමගේ වගකීම බව මතක් කර සිටිමු…

හිරු මෙගා බ්ලාස්ට් ආලෝක කරන චයරුප කිහිපයක් හා රුවන්මැලි සෑයේ ආලෝක පුජාවේ චායරුප කිහිපයක් ඔබේ අවධානයට පහතින්….

LEAVE A REPLY