ජනතාවගේ පෝෂණ වැඩපිළිවෙල ගම් මට්ටමට දියත් කිරීම සදහා පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් හමුදාවක් ලෙස ඒකාබද්ධව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වල පෝෂණ වෛද්‍ය ඒකක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහනට ඊයේ (02) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කළ අතර එය ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කරන ලදි.

ඉන් පසු පැවැති රැස්වීමේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “කොළඹ ජාතික රෝහලේ ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය විවෘත කිරීම ඉතා වැදගත්. මෙම රෝහලේ කාර්ය මණ්ඩලය 8000 ක් පමණ සිටිනවා. රෝගීන් 4000 ක් පමණ දෛනිකව ප්‍රතිකාර ලබනවා. මෙම පිරිසගේ පෝෂණය පිළිබද අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බෝවන රෝග පාලනය කර ඇති ශ්‍රී ලංකාවට බෝනොවන රෝග අභියෝගයක් වී තිබෙනවා. එය මුලු ලෝකයටම අභියෝගයක්. පෝෂණ වැඩපිළිවෙල තුලින් ජනතාවට හිතකර සහ අහිතකර කෑමවර්ග පිළිබද දැනුවත් කළ යුතුයි. පෝෂ්‍යදායි ආහාර වේලක ගුණ අගුණ කියා දිය යුතුයි. අහිතකර කෑම වර්ග භාවිතයෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කළ යුතුයි. පෝෂණ වැඩපිළිවෙලක් අපේ රටට අවශ්‍ය වන්නේ එම නිසයි.

දැනට පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් සුලු සංඛ්‍යාවක් සිටියත් එම පිරිස 100 දක්වාවත් වැඩි විය යුකුයි. පෝෂණවේදීන් 500 ක් පමණ සිටිනවා. ගම් මට්ටමින් අධ්‍යාපන දැනුම ලබාදීමට නම් එම පිරිස තවත් වැඩි විය යුතුයි. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමට රජයක් ලෙස කටයුතු කරනවා. දුම් පානය අවම කිරීම සදහා ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීම සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීමේ නියෝග ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරියේ දී ඉදිරිපත් කරනවා. එවිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමත් සමග දුම්කොළ විරෝධී වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ ලොව ප්‍රථම රට වන්නේත් ශ්‍රී ලංකාවයි.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ, පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් වන රේණුකා ජයතිස්ස මහත්මිය සහ නලීන් ද හේරත් මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY