බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මුදල් ඉල්ලා තර්ජනාත්මකව බැන වැදුණු අවස්ථා තම ටැබ් පරිගණකයේ පටිගත කැර සී.ඩී.පටවලට පිටපත් කැර පොලිසියට ලබාදුන් බව ව්‍යාපාරික ජෙහාඩ් මෙන්ඩිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (15) පැවැසීය.

සී.ඩී. පටවල මුල්පිටපත් පොලිසියට ලබාදුන් තමන් තවත් පිටපත් හතරක් ආරක්ෂාව සඳහා වෙනත් පුද්ගලයන් සතු කළ බවත් පැවැසීය.

තමා යටතේ සේවය කළ සේවකයින් තිදෙනාද කිසියම් තර්ජනාත්මක හේතුවක් මත තමන්ට විරුද්ධව සාක්කි දෙන බව පෙනී ගිය හෙයින් එම සේවකයාට නොදන්වා එම විස්තරද ටැබ් පරිගණකයේ පටිගත කළ බව පැවසූ මෙන්ඩිස් මහතා අදාළ සාකච්ඡාව පටිගත කළ බව දන්නේ තමන් බිරිය හා අම්මා පමණක් බවද සාක්කි දෙමින් පැවැසීය.

2015 අප්‍රේල් හා ජූනි මස අතර කාලය තුළදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් අනවසර පදිංචිකරුවන් ඉවත්කර සංවර්ධනය කැර නිරවුල් භුක්තිය ලබාදීමට රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිය මොරින් රණතුංග විත්තිකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇති අතර දෙදෙනා ඊයේ (15) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න මහත්මිය ඉදිරියේ සාක්කි විභාගය සිදුකළාය. අදාළ සීඩි පටය වාදනය කර සාක්කි විමසීම ඊයේ මහාධිකරණය හමුවේ ආරම්භ කෙළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සාක්කි මෙහෙයවීය.

අදාළ සීඩී පට අධිකරණයේ නියෝගය පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ සහතිකය සහිතව ඊයේ අධිකරණය හමුවේ විවෘත කළ අතර එක් සීඩී පටයක් ප්‍රතිවාදනය කෙළේය.

විත්තිකාර ප්‍රධාන ඇමැතිවරයා ඉල්ලා සිටි මුදල් දින දමා චෙක්පත් මඟින් ලබාදුන් බව පැවසූ මෙන්ඩිස් මහතා ඉල්ලා සිටි මුදලට අදාළව පොරොන්දු නෝට්ටු පහක් ලබාදුන් බවද සාක්කි ලබාදෙමින් පැවැසීය.

මෙම සිද්ධි දාමය 2015 සිදුවුවත් තමන්ට ප්‍රධාන කරුණු මතකයේ ඇති බව පැවසූ මෙන්ඩිස් මහතා තමන් යටතේ සේවය කළ සේවකයින් තිදෙනා පළමු විත්තිකාර රණතුංග මහතාට පක්ෂව සාක්කි දෙන බව තමන්ට හැඟී ගිය බවද පැවැසීය.

ඒ අනුව තම සේවකයකු වූ විමල් නමැති අය සමඟ සාකච්ඡා කිරීමේදී ඒ බව සනාථ කරගත් බවත් එම සාකච්ඡාවද පටිගත කළ බවත් හෙතෙම පැවැසීය.

විත්තිකාර රණතුංග මහතාට රුපියල් මිලියන පහ බැගින් සටහන් කළ පොරොන්දු නෝට්ටු පහක්ද ලබා දුන් බව මෙන්ඩිස් මහතා අධිකරණයේදී පිළිගත්තේය. එම පොරොන්දු නෝට්ටු චෙක්පත්වලට අනුකූලව ලබාදුන් බවද පැවැසීය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා පෙනී සිටියේය. ඊයේ දින එක් සීඩී පටයක් ප්‍රතිවාදනය කර සාක්කි විමසූ අතර සෙසු සීඩී පට ප්‍රතිවාදනය කර සාක්කි විමසීම ජූනි 11 දිනට කල් තැබිණි.

එහිදී ප්‍රසන්න රණතුංග තර්ජනය කල අයුරු හඬපටය මෙන්න >>>

ඔහු තවත් තර්ජනය කල හඬපටයක් මෙන්න >>>

  • පුවත් මුලාශ්‍රය – දිනමිණ පුවත්පත.

LEAVE A REPLY