නව ආදායම් බදු පනත ඔස්සේ විශ්‍රාමිකයන්ගේ වැටුප්වලට හෝ ඔවුන්ගේ තැන්පතුවලට බදු අය කෙරෙන බවට කෙරෙන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (01) සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් බදු පනත පිළිබඳව පළව ඇති ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (02) මුදල් අමාත්‍යාංශයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එසේම විදේශ රටවල රැකියාවන්හි නිරත පුද්ගලයන් මෙරටට රැගෙන එන මුදල්වලට බදු අය කෙරෙන බවට කෙරෙන ප්‍රචාරවල ද කිසිදු සත්‍යතාවක් නොමැති බව ද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ ක‍ලේය.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ඇතැම් අය ප්‍රචාරය කරනවා විශ්‍රාමිකයන්ගේ තැන්පතුවලට බද්දක් අය කෙරෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්. යම් විශ්‍රාමිකයෙක්ගේ ස්ථාවර තැන්පතුවකට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහළොවක ‍පොලියක් ලැබෙනවා නම් ඒකට තමයි යම් බදු මුදලක් අය කෙරෙන්නේ. ලක්ෂ පහළොවක ‍පොලියක් ලැබෙන්න කෝටි දෙකකවත් තැන්පතුවක් තියෙන්න ඕනෙ. රුපියල් කෝටි දෙකක තැන්පතු තියෙන විශ්‍රාමිකයො කී දෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා දැනගන්න අපි කැමැතියි. එහෙම ආදායමක් ලබන කෙනෙක් යම් බද්දක් ගෙව්වට වැරදිද කියලා අහන්නත් අපි කැමැතියි.

මේ වගේ විකෘති කළ තොරතුරු රාශියක්ම අප්‍රේල් පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක නව බදු පනත ගැන මාධ්‍ය ඔස්සේ පළ කරලා තියෙනවා. මේවා නිවැරදි කළ යුතුයි. ශ්‍රී ලංකාවේ විතරක් ජු බදු අය කිරීම සීයට දහ අටයි. ඒ කියන්නේ රටේ මුළු ආදායමෙන් සීයට අසූ දෙකකටම කරගහන්නෙ සීයට අනූ දෙකක් වන බහුතර ජනතාව. ඉතාම සුපිරි මට්ටමේ ව්‍යාපාරිකයන් වගේම ඉහළ ආදායම් ලබන වෘත්තීයවේදීන් වැනි අය වගේම සාමාන්‍ය කම්කරුවාත් කඩේට ගියහම එකම ප්‍රමාණයනේ වක්‍ර බදු ගෙවනවා. එ නිසා තමයි අපි මේ ජු සහ වක්‍ර බදු ප්‍රතිශත සීයට හතළිහ සහ හැට කියන අනුපාතයට ඉහළ දමන්න මේ පනත ගෙනාවේ.

මේ පනත ඔස්සේ රටේ බදු පදනම පුළුල් කිරීම, බදු නීති සරල කිරීම වගේම බදු මග හරින ජාත්‍යන්තර නීති වළක්වන ප්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කිරීමට බලා‍පොරොත්තු වෙනවා. එදා අපි වැඩ භාරගන්නකොට ඉදිරිපත් වෙලා තිබුණු බදු පනත අධ්‍යයනය කළා. සෑම කණ්ඩායමක් එක්කම මේ ගැන සාකච්ඡා කළා. ජනතා විමුක්ති පෙරමුණ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරු ඇතුළත් ඒකාබද්ධ විපක්ෂය වැනි දේශපාලන කණ්ඩායම් එක්කත් සාකච්ඡා කළා. ඔවුන් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධනන් මේ නව පනතට ඇතුළත් කරලා තියෙනවා. එහෙම කරලා අපි එකපාරට මේක ක්‍රියාත්මක කළෙත් නැහැ. ඔක්තෝබර් මාසෙ මේක පාර්ලිමේන්තුවේ සම්මත කළත් අප්‍රේල් වෙනකම් අපි කල් ගත්තෙ අදාළ පාර්ශ්වවලට යම් කාලයක් ලබා දීමටයි.

සමහර මාධ්‍ය ආයතන අද (02) මේ ගැන වාර්තා කරලා තියෙන්නේ පට්ටපල් බොරු. (මෙහිදී දිනපතා පුවත්පතක ප්‍රධාන පුවතක් දක්වමින් ඇමැතිවරයා එහි සඳහන් කරුණු මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකාශ කළේය.) ලංකාවේ ඉඳගෙන විදේශ රටවලට සේවාවන් සපයන ඇතැම් පුද්ගලයො ඉන්නවා. එවැනි අයත් රුපියල් මිලියන පහළොව දක්වා අපි බදුවලින් නිදහස් කරලා තියෙනවා.

ඒ වගේම ආනයනකරුවන්ටත් අපි විශාල ලෙස බදු සහන ලබාදීලා තියෙනවා. අපි මේ ඔස්සේ මේ වසරේ දී විශාල දියුණුවක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. දෙදාස් විස්ස වෙනකොට අග්නිදිග ආසියාවේම තියෙන වඩාත්ම ප්‍රගතිශීලීම බදු ක්‍රමය බවට මේක පත් කරන්න වෙයි කියලා.”

මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

මේ විදියට බදු සංශෝධනය කරලා වසරකට කොපමණ ප්‍රමාණයකින් ආදායම ඉහළ දමාගන්න බලා‍පොරොත්තු වෙනවද?
මේ වසරේ කාර්තු දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කාලය තුළ රුපියල් බිලියන තිහක් විතර අපි බලා‍පොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් වර්ෂයකදී මේ ඔස්සේ බිලියන හැටක් විතර රැස් කරගන්න අපි බලා‍පොරොත්තු වෙනවා.

අවුරුදු දහ අටට වැඩි සියලු දෙනාටම බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියන්නේ ඇත්තද?
(මංගල සමරවීර ඇමැතිවරයා) ඒක මම කරපු ප්‍රකාශයක් විතරයි. පනතේ එහෙම දෙයක් ගැන කිසිම සඳහනක් නැහැ. ලෝකයේ දියුණු රටවල සෑම වැඩිහිටි පුද්ගලයකුටම බදු ලිපිගොනුවක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මම යෝජනා කළේ. ඒ වගේම දැනට තියෙන වැට් බදු ප්‍රතිශතය වැඩියි කියලා අපි පිළිගන්නවා. ක්‍රම ක්‍රමයෙන් ඒකත් අඩු කරන්නත් අපි බලා‍පොරොත්තු වෙනවා.

හිටපු මුදල් ඇමැතිවරයා කියනවා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ වුවමනාවට ගෙනාපු පනතක් කියලා?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ වගකිවයුතු ආයතනයක්. එයාලා කියන පළියට අපි වැඩ කරන්නෙ නැහැ. මේක අපි ගන්නකොට ජනතාවට අහිතකර දේවල් තිබුණා. ඒවා ඉවත් කරලා තමයි පනත සකස් කළේ.

(රිවිර) – නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට පනතින් සීයට පහළොවක බද්දක් අය කරනවා කියලත් හිටපු මුදල් ඇමැතිවරයා චෝදනා කරනවා?
ඒක වැට් බද්ද විතරයි. නමුත් සාමාන්‍ය ජනතාවට රුපියල් මිලියන පහළොව දක්වාම නිවාස මිලදී ගැනීම් කරන්න පුළුවන් කිසිම බද්දක් නැතුව. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් සීයට පහළොවක බදු අය කෙරෙන්නෙත් තවත් අවුරුද්දකින්. ඒ කියන්නේ දෙදාස් දහනවයේ අප්‍රේල් මාසෙ ඉඳන්. ඒ වෙනකොට දැනට කෙරෙන ඉදිකිරීම් ව්‍යාපෘති සියල්ලම අවසන් වෙලා.

දැනට රටේ ආර්ථිකය ගැන තීරණ ගැනෙන්නෙ ජනාධිපතිවරයාගේ ආර්ථික කමිටුවෙන්ද? ඇමැතිවරයාගේ කමිටුවෙන්ද?
කමිටු දෙකක් නැහැ. ජාතික ආර්ථික කවුන්සිලයේ ගත්ත තීරණ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවෙන් ක්‍රියාත්මක කරන ආකාරය ගැන විශ්‍ලේෂණය කෙරෙනවා. අගමැතිතුමාගේ කමිටුව තවත් සති දෙකක කාලයක් පවත්වාගෙන යන්න පසුගිය කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවකට ආවා යැයිද පැවසීය.

නයන තරංග ගමගේ

LEAVE A REPLY