ඉදිරි සියවසේ අසියාව ලොව ජයග්‍රාහී අර්ධද්වීපය කරා යන ගමනේ දී අපේ රටේ ප්‍රමුඛත්වය අධ්‍යාපනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අාරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙම විදුහලේ අධ්‍යාපන, ක්‍රීඩා මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරම්වලින් සුවිශේෂි දක්ෂතා දැක්වූ සිසුනට ත්‍යාග, සහතික, පදක්කම් හා කුසලාන පිරිනැමීම මෙහි දී සිදුවිය.සෑම අතින්ම කැපී පෙනෙන ත්‍රිත්ව විද්‍යාලය වසරේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි වාර්ෂික ත්‍රිත්ව රන් පදක්කම ඊ.එම්.එච්.ආර්.කේ.බෝයගොඩ ශිෂ්‍යාට මෙහි දී හිමිවිය.

එහි දී වැඩිදුරටත් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

ලොව ජයග්‍රාහී කලාපය ලෙස ආසියාව පත් කිරීමේ අභියෝගයට ආසියානු රටවල් මුහුණ දීමේ දී ශ්‍රී ලංකාවේ සූදානම අතිශය වැදගත් වෙනවා. එහි දී අධ්‍යාපනය මෙන්ම දැනුම මූලික කැර ගත් සමාජයක අවශ්‍යතාව කැපී පෙනෙනවා.

විශේෂයෙන් දැනුම මූලික කැරගත් සමාජයක් තුළ දැනුම මූලික කැරගත් ආර්ථිකයක්, මානව සම්පතක්, වඩාත් ප්‍රබුද්ධ ජාතියක්, මෙන්ම උගත්කම, බුද්ධිය, පාණ්ඩිත්වය, විද්වත්භාවය ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා.

අපේ රටේ කිර්තිමත් පාසලක් ලෙස වසර එකසිය පණහකට ආසන්න කාලයක් ජාතියට මෙන්ම ජාත්‍යන්තරයට ත්‍රිත්ව විද්‍යාලයෙන් විශිෂ්ඨයන් විශාල වශයෙන් බිහිකර තිබෙනවා.අධ්‍යාපනයේ තිබෙන තරගකාරිත්වය තුළ ප්‍රධාන වශයෙන් වසර එකසිය පනහකට ආසන්න කාලයක් මින් බිහි වුූ දක්ෂයින් ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් විවිධ ක්ෂේත්‍රවල දක්ෂකම්, හපන්කම්, විශිෂ්ට විදිහට අද පෙන්නුම් කැර තිබෙනවා.අධ්‍යාපනය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක් තුළින්ම ලැබු දියුණුව ඉතාමත් විශිෂ්ඨයි.

තරගකාරිත්වය මානව ඉතිහාසයේ දියුණුවට, ප්‍රගතියට, ප්‍රගමනයට හේතු වූ ලක්ෂණයක්.ඒ තුළ ගත් කල අධ්‍යාපනයේ තිබෙන තරගකාරිත්වය සැම විටම ලෝකයට විශිෂ්ටයන් විද්‍යාඥයන්, විශේෂඥයන්, ප්‍රවීණයන් බිහි කර තිබෙනවා.තවත් පැත්තකින් මානවයාගේ යහපැවැත්මට ප්‍රශ්න ඇති වී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපට සතුටු විය හැකි අංශ කිපයක් තිබෙනවා.අධ්‍යාපනයේ මෙන්ම විෂය බාහිරව අන්තර්ජාතික වශයෙන් විශිෂ්ඨයින් අප බිහිකර තිබෙනවා.මේ විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ වාර්තාව අනූව ගෙවී ගිය වසරවල විභාග ප්‍රතිඵල, සමත්වීම්, බාහිර ක්‍රියා කාරකම්, විවිධ ක්ෂේත්‍රවල හැකියාවන් දක්ෂතාවයන් පෙන්වුම් කර තිබෙනවා.අනාගතය සඳහා සැලසුම් සකස් කිරීමේ දී මෙහි දරුවන්ගේ කැපවීම ඉතා අවශයයි.

බොහෝ විට අපි සමාජය තුළ දකින කරුණු, ගැටලු හා අභියෝග තුළින් දරුවන් දක්ෂ ලෙස සමත්කම් දක්වනවා.ඒ ආකාරයෙන් විභාගවලින් සමත්වෙනවා.

අධ්‍යාපනයේ තිබෙන විශිෂ්ඨත්වය ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම, අධිෂ්ඨානශීලී වීම, ඒ බලාපොරොත්තු තුළ කටයුතු කිරීම ඉතාමත් වැදගත්ය.විභාගයක් සඳහා පෙනී සිටින දරුවන් විභාගය සමත් වූ විට බෝහෝ අවස්ථාවල අපි දකින්නේ ඒ සමත්වන දරුවන්ට ඔවුන්ට ලබා දෙන ගෞරවය හා ප්‍රසාදය ලබා දී ඔහු වඩාත් සතුටට පත් කිරීමයි.

එය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකිව යුත්තන් වගේම දෙමාපියන් අතින් සිදුවන්නක්.ඒහෙත් විභාග සමත්වන දරුවන්ට ඒ වෙනුවෙන් තව තවත් දිරි ගැන්වීම් අවශ්‍ය වෙනවා සේම විභාග සමත් නොවන දරුවන්ට ප්‍රතිඵලත් සමඟ ආදරය, සෙනෙහස, පිළිගැනීම වැදගත් වෙනවා.ඒ මෙන්ම ඔහුගේ ආත්ම අභිමානයට, පෞර්ෂ්‍යත්වයට හානියක් නොවන අයුරින් වගකිව යුත්තන් හැසිරීමෙන් වැළකීම වැදගත් වෙනවා.

අපේ රට අනෙක් රටවල් හා සන්සන්ධනය කිරීමේ දී විවිධ ක්ෂේත්‍රවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබෙනවා.ඒ වගේම ඇතැම් ක්ෂේත්‍ර තුළ අපට සතුටු විය නොහැකි කණගාටුවන බොහෝ කරුණුත් තිබෙනවා.ලෝකයේ රටවල් සමඟ ගත් කළ අපට සතුටු විය නොහැකි කරුණු අතර සිය දිවි නසා ගැනීම් බරපතළ ලෙස සිදුවන රටක්.අපේ රට සිය දිවි නසා ගැනීම් තුළ ප්‍රධාන වශයෙන් දරුවන් විභාග අසමත්වීම් අද හදුනාගෙන තිබෙනවා.ඒ වගේම රටේ වාර්තා තුළ, සමාජ වෙබ් අඩවි තුළ ඇතිවන තත්ත්වයන් මත බොහෝ අවස්ථාවල සියදිවි නසා ගැනීම් සඳහා නැඹුරුවී තිබෙනවා.

ලෝකයේ රටවල් දෙසීයක් පමණ අතුරින් තුන්වැනි හෝ හතරවැනි ස්ථානයේ මින් අපි සිටින්නේ.ඒ වගේම අපිට තිබෙන විවිධ සමාජමය අභියෝග අතර ප්‍රධාන වශයෙන් මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය හේතු වී තිබෙනවා. අද අපි දුප්පත් රාජ්‍යයක්.මුහුදින් වට වූ රාජ්‍යයක්, දිවයිනක් ලෙස බොහෝ විට වානිජ සමාජය තුළ ඒ සඳහා ඇති වටිනාකම නිසා ඇතැම් අයහපත් තත්ත්වයන්ද සිදු වෙනවා.අපේ රට ඉහළ වටිනාකම් වෙනුවට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙන්නේ භූගෝලීය වශයෙන් පිහිටීමේ වැදගත්කම මතයි.නාවික ගමනාගමනය, අන්තර්ජාතික වෙළෙඳම යුදමය හා ආක්‍රමණ සඳහා ඒ ඒ රටවලට මේ

භූමියේ වැදගත්කම ආදී නොයෙක් කරුණු ගණනාවක් තිබෙනවා.ඒ තුළ ප්‍රධාන වශයෙන්ම අපේ මාතෘ භූමිය පිළිබඳ තිබෙන වැඩි වටිනාකම් සමඟ අපේ දරුවන්ට ඉහළ වටිනාකම් ලබා දීමට සැම විටම කටයුතු කිරීම අතිශය වැදගත්.ඒ වටිනාකම් දීමේදි සමාජයේ ඇති විවිධ අභියෝග දරුවන්ට අහිතකර කරුණු අහිතකර බලපෑම් ඇති වෙනවා. එයින් දරුවන් බේරා ගැනීම සඳහා වගකිව යුත්තන් දැනට වඩා මැදිහත්වීම ඉතාම වැදගත්.

පාසල් දරුවන් පිළිබඳ ආණ්ඩුවට ලැබෙන තොරතුරු අනූව හොඳ දේ වගේම නරක දේ පිළිබඳ වාර්තා තිබෙනවා.ඒ අනූව අද දරුවන්ට පැය විසි හතරේ වඩාත්ම ආරක්ෂිත ස්ථානය පාසලයි.ඇතැම් පාසල්වල ඉතාමත් කල‍ාතුරකින් යම් යම් නුසුදුසු දේ වගේම සමාජමය වශයෙන් අපිට පිළිගත නොහැකි දේ සිදු වෙනවා.නමුත් පොදුවේ ගත් කළ දවසේ පැය විසි හතරේ දරුවන්ට වඩාත්ම ආරක්ෂිත ස්ථානය පාසලයි. දරුවාගේ අනාරක්ෂිත භාවය පිළිබඳ වඩාත් ම අද බලපෑම් එල්ල වී ඇත්තේ දෙමාපිය භාරකාරත්වයේ සිටින පැය ගණන තුළයි. ඒ තුළ තමය දරුවාගේ අනාරක්ෂිත භාවය පිළිබඳ වඩාත්ම ප්‍රශ්න ඇති වී තිබෙන්නේ.

සිය දිවි නසා ගැනිම්ද වෙනත් නොමග යෑම්ද වෙනත් සමාජමය අර්බුදවල දී ඒවාට ගොදුරුවීම් ඒ තත්ත්වයන් යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ගැටලු වී තිබෙනවා.විභාගයෙන් සමත්වන උගතුන් බුද්ධිමතුන් විශිෂ්ඨයන් බහුශ්‍රැතයින් ගොඩනැගීම වගේම වඩාත් යහපත් සමාජයකට අත්‍යවශ්‍ය වන්නා වූ යහපත් මිනිසුන් බිහි කිරීමේ කාර්යයේ දී දරුවන් ආරක්ෂා කැර ගැනිමේ වගකීම අපි දැනට වඩා අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.ත්‍රිත්ව විද්‍යාලයේ අතිතයේ සිට දැක්වූ දක්ෂතා, ක්‍රියාවන්, නිර්මාණශීලීභාවය කුසළතාවයන් ඒ පිළිබඳව රජයේත් මුළුමහත් ජාතියේත් ගෞරවය හිමි වෙනවා.

ත්‍රිත්ව විද්‍යාලයීය විදුහල්පති ඇන්ඩෘ ෆලවර්වට් මහතාද එහි ප්‍රධාන ශිෂ්‍ය නායක ඉශේන් මාධව ශිෂ්‍යාද මෙහි දී කතා කළහ.

LEAVE A REPLY