වත්මන් දේශපාලනය දෙස බලන විට විපක්ෂයේ කාර්යභාරය වෙනස් මඟක් ගතයුතු සේම ජාතික ආණ්ඩුවක් තුළ සහෝදර පක්ෂවල ක්‍රියාමාර්ගද වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව අමතා ඊයේ (08දා) පස්වරුවේ ප්‍රකාශ කළේය.

2015දී තමා විසින් නායකත්වය දුන් යුග පෙරළිය තවමත් සම්පූර්ණ වී නැතැයි ජනාධිපතිවරයා පැවැසුවේය.

2015 වසරේ අගෝස්තු මාසයේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජයීය මුහුකුරා ගිය බව අප තවමත් ඇති කරගන්නට සමත්වී නැති බව පසුගිය වසර තුන තුළ ඇති වූ සිද්ධි දාමයත් මඟින් නැවත නැවතත් සිහිපත් කරදෙන බවද ජනපතිවරයා කීවේය.

සම්මුති ප්‍රජාතන්ත්‍රවාදය හා සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය අද ලෝකයේ බොහෝ රාජ්‍ය පාලනයන්හි පදනම මත කළත් එය අපිට තවමත් ආගන්තුක සංකල්පයක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සමස්ත ශ්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීමයි. අල්ලසට, දූෂණයට, නාස්තියට එරෙහි වීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්ෂාවයි.

අප රට දැන් මුහුණදී සිටින්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජය ගත යුතු අවධියක බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පොදු ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහි තබා ගනිමින් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නඟාසිටුවීමට පෙරට එන්නැයි ජනාධිපතිවරයා ආරාධනාවක්ද කළේය.

ජනපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුවට වරමක් ලබාදුන් ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්ව තිබූ ශ්‍රී ලාංකික සමාජය යළි ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත් කරලීමේ කාර්යය පසුගිය වසර තුනක කාලය තුළ සාර්ථකව ඉටු වී ඇති බව විවේචන මධ්‍යයේ වුවද ඔබ සැම පිළිගනු ඇයි මම විශ්වාස කරමි.

2015 ජනවාරි මස සිට ජුනි මස දක්වා පැවැති 7 වැනි පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 142ක් හිමිව තිබූ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 47කි. කෙසේ වුවත් සාම්ප්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන එදිරිවාදී දේශපාලනය පසෙකලා, ජාතික අවශ්‍යතාවන් සාක්ෂාත් කරලනු වස් අප රටේ දේශපාලන පක්ෂවලට සාමූහිකව කටයුතු කළ හැකි බව සනාථ කළේය.

දශක තුනකට අධික කාලයක් පුරා යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකිව තිබූ සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය අද යථාර්ථයකි. දුම්වැටි පිළිබඳ සියයට අසූවේ රූපමය අවවාදය, නව දුම්කොළ සහ මද්‍යසාර පනත මඟින් ක්‍රියාවට නැඟී තිබේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය තුළ, එක් දේශපාලන කරුණකට එරෙහිව ගොනු වූ වැඩිම විරෝධය එල්ල වූයේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය. එහෙත්, එදා මෙදාතුර විධායක ක්‍රමයට එරෙහි වූ කිසිවකුට එහි බලය සිඳීමට හැකි වූයේ නැත.

සැබවින්ම සිදුවූයේ එහි බලය අත්තනෝමතික අන්දමින් වර්ධනය වීමයි. එහෙත්, 2015 මැයි මස 15 දින ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව සිදුකළ හැකි උපරිම බල කප්පාදුව සිදු කිරීමට හැකි වීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ ශක්‍යතාවයි.

එම කාල වකවානු තුළ ඔබ විසින් සම්මත කරගනු ලැබූ අණපනත් බොහෝමයක් රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ඒවාය. ඒ අනුව පසුගිය වසර තුන තුළ ඉදිරිපත් කළ විසර්ජන පනත් දෙකට අමතරව ආර්ථික ක්ෂේත්‍රයට අදාළ පනත් 18ක් ඔබ විසින් සම්මත කොට ගෙන තිබේ. එ් සියලු අණපනත් සම්මත කොට ගත්තේ අද අප ඉදිරියේ පවතින රුපියල් ටි්‍රලියන 10.3ක් වන (රු. කෝටි දස ලක්ෂයකට අධික) මහා ණය කන්ද කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. එසේම රටේ ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන තවත් පනත් ගණනාවක් හඳුන්වාදී තිබේ.

සර්වජන ඡන්ද බලය යථාර්ථයක් කරලීම උදෙසා 2017 නොවැම්බරයේදී අප පළාත් පාලන ඡන්දය විමසීමේ පනත සංශෝධය කොට සම්මත කර ගැනිණි. එසේම තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගනු පිණිස, 2017 ඔක්තෝබරයේදී තිරසර සංවර්ධන පනත සම්මත කර ගැනීමට හැකි විය. සංක්‍රාන්තික යුක්තිය සහ සහජීවනය ඇති කරලීම සඳහා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ වින්දිතයන් හා අපරාධ නඩුවක සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දුන් පනතද මෙහිලා සඳහන් කළ යුතුමය.
2010 වර්ෂයේ සිට රටට අහිමි වූ ජී.එස්.පී. බදු සහනය නැවත ලබාගැනීමට අපිට හැකි විය. එමඟින් භාණ්ඩ 6600ක් සඳහා වාසිය රටට අත්කර දීමට සමත් වූ අතර, සමස්ත ආදායම ඉහළ නංවා ගැනීමට හැකි විය. ඇඟලුම් හා මත්ස්‍ය අපනයනය ඉන් ප්‍රමුඛ වේ.

මහ නගර සංවර්ධනය හා වරාය සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ විය. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කොට තිබේ. නීතිය සහ විධානය කිසිදු බලපෑමකින් තොරව රට තුළ ක්‍රියාත්මක වෙයි. රටේ නීතියේ බලය ස්ථාවරව තිබේ. අනීතික අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු ඉඩක් නැත.

නීතිය හා සාමය පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේ සිට 2018 දක්වා බරපතළ ගණයේ අපරාධ 30%කින් අඩුකර ගැනීමට හැකි විය. විදේශ රැකියා, විගමණික ශ්‍රමිකයන්, අංශ වෙනුවෙන්ද අප ඉතා වැදගත් මෙහෙවර රාශියක් ඉටුකර තිබේ.

2015 වසරින් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය, ශිෂ්‍ය සුබසාධනය සඳහා වූ ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සෑම දරුවකුටම පළමු ශේ‍ර්ණියේ සිට 13 වැනි ශේ‍ර්ණිය දක්වා වූ අඛණ්ඩ සහ අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වැඩසටහන, ජාතික අධ්‍යාපන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, තෛ්‍රභාෂා අධ්‍යාපන ප්‍රවර්ධනය යන අංශ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන් වූ විශේෂ අංශ වේ. ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය, අඩු බර උපත් අවම කිරීමේ හා මවුවරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම, දුෂ්කර ප්‍රදේශවල මන්දපෝෂණය අවම කිරීම පිණිස තෝරාගත් ප්‍රදේශවල දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීමද අපි ආරම්භ කළෙමු.

ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේදී විධිමත් නිවාස සංවර්ධන වැඩසටහන අප රජයේ ඉතාමත් වේගවත් සහ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. එමඟින් 2015 වසරේ සිට මේ දක්වා පවුල් තුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට නිවාස සැපයීමට සමත්ව ඇත.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමේදී 2030 වනවිට දිළිඳු බවින් තොර වැඩිහිටි සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ මෙහෙවර තුළ 2015-2017 සේවා සම්පාදනයේදී ඉලක්කගත කණ්ඩායම් වූයේ ආබාධ සහිත පුද්ගලයන් 9%ක් වයස 60ට වැඩි 12.5%ක් තනි මාපිය පවුල් මුළු ජනගහනයෙන් 12%ක් සහ සමෘද්ධි ප්‍රතිලාභීන් මුළු ජනගහනයෙන් 25%කි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම විශේෂත්වයකි. අපේ රටේ මෙන්ම කලාපය තුළ පිහිටි අසල්වාසී රටවල් මුහුණ දෙන කාලගුණික හා දේශගුණික කටුක වූ අභියෝගයකට අපද මුහුණදී ඇත. පසුගිය වසර ගණනාව තුළ ඇති වූ නියඟය කෘෂිකර්ම නිෂ්පාදනයේ පහත වැටීමක් සිදුවී ඇති අතර පෙර රජයන් මෙන්ම අපටද විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදුවිය. වාර්ෂික වර්ෂාපතනය අවම වීම නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිෂ්පාදන හා ආදායම් පහළ වැටීමක් 30%කින් පමණ සිදුවී ඇති අතර ජල විදුලි උත්පාදනයට එය දැඩි ලෙස බලපා ඇත.

ගොවි ජනතාව රසායනික පොහොර භාවිතය ඉවත් වී කාබනික ගොවිතැනේ නිරත වීම සඳහා දිරිගැන්වීමේ ජාතික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ.

ලක් සතොස අලෙවිසල් 300 සිට 400 දක්වා ඉහළ නැංවූ අතර ඒවායින් ඉතා තරගකාරී සහ සහනදායී මිලට භාණ්ඩ අලෙවි කෙරෙයි. තවද පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා පාරිභෝගික සමිති නව මුහුණුවරකින් හඳුන්වා දී ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් අප විසින් ඓතිහාසික කාර්යභාරයක් සිදුකර තිබේ.

හෘද රෝගීන්ගේ ශල්‍යකර්මවලදී අවශ්‍ය සියලු වියදම් රජය දැරීමේ පළමු වරට අප විසින් සිදුකරන ලද අතර ස්ටෙන්ඩ් හෙවත් කිරීටක දඟර රෝගීන් ස¼දහා සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීම ආරම්භ කරන ලදී.

හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ අතර රෝග නිවාරණය වැළැක්වීම හා ප්‍රතිකාර අංශ ස¼දහා පුළුල් ජාතික වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කළෙමු.

රුපියල් මිලියන 3,600ක් වැය කර වකුගඩු රෝගය හඳුනා ගැනීම සඳහා වූ ජල පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීමටද පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මේ වන විට ආරම්භ කර ඇත.

දුගී බව තුරන් කිරීම සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා දෙගුණ කර තිබේ. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වසර වනවිට ගම්මාන 200ක් ආවරණය කිරීමට නියමිතය.

වසර 10කට පසු රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කරන ලදී. අධිකරණ සේවයේ වැටුප් හා දීමනා විශේෂ පදනමකින් වැඩි විය. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2,500 සිට රුපියල් 5,000ක් දක්වාද වැඩි විය. වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලදී.
කටුනායක ගුවන්තොටුපොළ ධාවන පථය ඉතා කෙටි කාලයකින් නවීකරණය කළ අතර ලෝකයේ විශාලතම ගුවන් යානා ගොඩ බැස්සවීම සඳහා එයින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන 03 වැනි අංශය බවට පත්ව ඇත. සමස්ත විදේශ ඉපැයීම්වලින් 15%ක් අද සංචාරක ව්‍යාපාරයෙන් ලැබේ.

ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ වැටුප් හා දීමනා අප විසින් ලබාදුන් අතර ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන් හට රණවිරු සුරැකීම දීමනාව යටතේ ආබාධිත රණවිරුවන්ටත්, බිරින්දෑවරුන්ට සහ මියගිය විවාහක රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට, ඔවුන් ජීවත්ව සිටින තාක්කල් දීමනා ලබාදීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ඉටු කරමින් පවතී.

හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කර තිබේ. එමෙන්ම 2015 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පමණක් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල රජයේ හා පෞද්ගලික ඉඩම් අක්කර 40,475ක් ත්‍රිවිධ හමුදා පරිහරණයෙන් නිදහස් කර ඇත. ඒ අනුව, උතුරු නැඟෙනහිර ජනතාවට අහිමිව තිබූ යුද සමයේ හමුදා පරිහරණයට ගත් ඉඩම්වලින් 85%ක් මේ වනවිට නිදහස් කර ඇත.

බොහෝ බාධාවන් මත ආරම්භ කරමින් මන්දගාමීව ක්‍රියාත්මක වූ මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතියේ විශාල ප්‍රගතියක් පෙන්වීමට අපට හැකි විය.

2015 සිට නව කඩිනම් ඉදිකිරීම් වැඩසටහනක් හඳුන්වාදීමටත් සුදුසු කාර්ය මණ්ඩල පත්කිරීමත් තුළ පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් වූ මොරගහකන්ද මහා ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ගොවි ජනතාවට ජලය නිකුත් කළ අතර කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතී.

පරිසර සංරක්ෂණය යටතේ පොලිතින්, ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැඩි නීති රීති පැනවූ අතර, එක්සත් ජාතීන්ගේ “පිරිසුදු සමුද්‍රය” වැඩසටහන යටතේ දකුණු ආසියානු කලාපයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කඩොලාන පද්ධති සංරක්ෂණය කිරීමේ පුරෝගාමී රාජ්‍ය බවට අප පත්වී ඇත.

මා මෙතෙක් සඳහන් කරනු ලැබූයේ ඔබතුමන්ගේ නායකත්වය යටතේ, 08 වැනි පාර්ලිමේන්තුවේ, පළමු සභා වාරය තුළ වර්තමාන රජය විසින් අත්පත් කරගත්, රටේ දේශපාලනික, ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනයටත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනතාව වෙත් අත්පත් කරදුන් නෛතික සහ සංවර්ධනාත්මක ජයග්‍රහණයන් පිළිබඳවය.

එම ජයග්‍රහණයන් විසින් මේ රට ප්‍රජාතාන්ත්‍රික මෙන්ම මානවවාදී පුරවැසියන්ට වගකියන රාජ්‍ය ක්‍රමයක් ගොඩනැඟීමට මෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම පිණීස නිශ්චිත අඩිතාලමක් ගොඩනැඟුවාට කිසිදු සැකයක් නැත්තේය. එහෙත් අප හමුවේ ඇති අභියෝග සියල්ල තුරන්ව ගොස් නැත.

රජයේ නව ගමන්මඟ තෝරා ගැනීමේදී අත්‍යාවශ්‍ය කරුණු ගැන මූලික අවධානය යොමුකර රට හමුවේ ඇති රුපියල් කෝටි දශලක්ෂයක් වන ණය බරජනතාව මත පැටවීමෙන් තොරව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. තවද දුගී බවෙන් හා දරිද්‍රතාවයෙන් පෙනී සිටින ජනතාව එයින් මුදා ගැනීම, රාජ්‍ය සේවයේ විධිමත් බව සහ කාර්යක්ෂමභාවයත් සමඟ පොදු ජනතාවට නම්‍යශීලී වූ ජනතාවාදී සේවාවක් ලෙස ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රමෝපාය හඳුනාගැනීම සහ කළමනාකරණ තීන්දු තීරණ ගැනීම මෙහිදී මූලික වේ.

එකී සියලු අභියෝග ජයගැනීමට කටයුතු කිරීම යනු ශ්‍රී ලංකාව සියලුම සංවර්ධන පැතිකඩ අතරින් පරාජිත කළ නොහැකි දේශයක් ලෙස ගොඩනැඟීම යන අපගේ ඉලක්කය ජය ගැනීමයි. දෙවැනි ඉලක්කය නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සඳහා ජාතික සහ ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීමයි. දූෂණයෙන් හා අක්‍රමිකතාවයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැඟීම තෙවැනි ඉලක්කයයි. මාගේ පාලන කාලය තුළ එකී අරමුණු ජය ගැනීම අපගේ එකම අභිප්‍රාය වන්නේය.
සමස්ත ශ්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීමයි. අල්ලසට, දූෂණයට, නාස්තියට එරෙහි වීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්ෂාවයි.

අදින් ඇරඹෙන මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය යුතුය.

අප රට දැන් මුහුණ දී සිටින්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව, රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජය ගත යුතු අවධියක බව මම අවධාරණය කරමි.

මෙහිදී එම ප්‍රමුඛතාව යථාර්ථයක් කර ගැනීමට නම්, පළමුව ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය මෙන්ම දෙවැනුව, ආණ්ඩුව හා විපක්ෂය අතර පවතින්නා බල තරගය සමනය කර ගත යුතුවේ. දැනට පවතින සෑම ආකාරයකම බල තරගයකින්ම අපේක්ෂා භංගත්වයට පත්වන්නේ ජනතාවයි.

ජනතා අපේක්ෂාවන් මල්පල ගන්වන, සැබෑ ලෙසම ජනතාවාදී වැඩපිළිවෙළක නිර්ණායක ලෙස හඳුනාගත හැකි ප්‍රවිෂ්ටයන් පහළොවක් මෙලෙස හඳුනා ගත හැකිය.

1. ජනතාවගේ ආර්ථික සමෘද්ධිය තහවුරු වීම,
2. දුගීභාවය දුරලීම,
3. තරුණයන්ට නව රැකියා අවස්ථා උත්පාදනය,
4. රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් වීමට හැකිවීම,
5. පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ ආත්ම විශ්වාසය හා අභිප්‍රේරණය තහවුරු කිරීම.
6. සමාජය තුළ නීතිය, බලය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා භාෂණයේ නිදහස තවදුරටත් තහවුරු කිරීම,
7. දෙමළ ජනතාවගේ සම අයිතිවාසිකම් පදනම් කරගත් අභිලාෂයන් පිළිගැනීම,
8. මුස්ලිම් ජනතාවගේ සුබ සිද්ධිය සහ සමාජ සංස්කෘතික අවශ්‍යතා තහවුරු කිරීම,
9. කඳුකරයේ දෙමළ ජනතාවට ආර්ථික හා සමාජ ශක්තියක් එකතු කිරිම,
10. සමස්තයක් ලෙස රටේ බහුතර ජනතාව වන සිංහල ජනතාවගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් ලෙස තහවුරු කරමින් දේශීය අනන්‍යතාව ශක්තිමත් කිරීම,
11. කාන්තාව තවදුරටත් බලසතු කිරීම සඳහා සෘජුව මැදිහත්වීම,
12. සමාජය තුළ ජීවත් වන විශේෂ අවශ්‍යතාවන් සහිත ජනතාව පිළිබඳ සංවේදී වීම,
13. රටේ පරිසරය සුරකින, දේශීය සම්පත් අනාගතයට උරුම කර දෙන්නා වූ තිරසර සංවර්ධනයක් තහවුරු කිරීම,
14. ආගමික විශ්වාසයන්, ජාතික සාරධර්මයන් සුරකින සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂයද බෞද්ධ භික්ෂු සංස්ථාවද තිරසර ලෙස සුපෝෂණය කිරීම, දේශපාලන බල තරගයෙන් ඔබ්බට ගිය රට සංවර්ධන කිරීම සඳහා සියලු ජාතීන්, ආගම්, දේශපාලන පක්ෂ එක්තැන් කොට ගොඩනැඟෙන ජාතික තිරසර සංවර්ධන දැක්මක් ගොඩනැඟීම යනු එම නිර්ණායක වේ.

එකී නිර්ණායක මත ක්‍රියාත්මක වීමේදී සාර්ව සහ ක්ෂුද්‍ර සංවර්ධන ක්‍රමෝපායන් මත පිහිටා කටයුතු කළ යුතු වන අතර ඒවායේ සාර්ථකත්වය ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතු වේ.

ඒ අනුව ජනතා නියෝජිතයන් වන ඔබ සාමූහික ලෙස ඉහත කී න්‍යායපත්‍රය ක්‍රියාවට නැංවීමේ නියමුවන්ද අධීක්ෂකයන්ද උපදේශකයන් බවටත් පත්වන්නේය. මෙම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේදී සංවර්ධන ප්‍රතිඵල මත පදනම් වන්නා වූ සංවර්ධන පසු විපරම් ක්‍රියාමාර්ගයක් හඳුන්වාදීමට මවිසින් කටයුතු කරනු ඇති.

මේ රජය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ විවේචන, චෝදනා එල්ල වෙනවා. ඒ සෑම විවේචනයක් සහ චෝදනාවක් ගැනම රජයක් විදියට අපි ඉතා නිහතමානීව සැලකිලිමත් වන අතරම අප ඒ පිළිබඳව ස්වයං විවේචනයක නිරත වී සිටින බව ප්‍රකාශ කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ ස්වාධීනත්වය දැනටමත් අප තහවුරු කර තිබෙනවා. එහෙත් තවමත් නිදැල්ලේ සිටින මහා පරිමාණ වංචනිකයන්ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන තිබෙනවා.

දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ඒකාන්ත අරමුණයි. එය මේ රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනයක්.

අපට එරෙහිව එල්ල වන තවත් චෝදනාවක් වන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවයි. රට හමුවේ ඇති අභියෝග සැලකූ විට සියලු පක්ෂ එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු වෙනවා. මහා ණය බරක් අප හමුවේ තිබෙනවා. නාස්තිකාර වියදම් කළ යුගයක සුන්බුන් අප ඉවත් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවට නැඟී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කළ යුතු වෙනවා.

මෙම රජය පිහිටුවීමේදී අප හමුවේ ජාතික අභියෝග ගණනාවක් තිබිණි. පළමු වැන්න වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමයි. දෙවැන්න නම් ජාතීන් අතර විශ්වාසය හා සමඟිය තහවුරු කිරීමයි. තෙවැන්න වූයේ දැවැන්ත ණය උගුලකට හිර වූ රටේ ආර්ථිකය යළි නඟා සිටුවීමයි. සිවු වැන්න වූයේ අපට අහිමිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීමයි. කුමන චෝදනා විවේචන එල්ල වුවද මේ සෑම අංශයකින්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්නට පසුගිය වසර තුන ඇතුළත අපේ රජයට හැකියාව ලැබී තිබේ. එසේම මේ සෑම අංශයකම කළ යුතු වැඩත් බොහෝයි.

ශක්තිමත් සහ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම පිණිස අත්‍යවශ්‍ය වන ව්‍යවසායකත්ව කළමනාකරණයක් සඳහා රට යොමු කිරීම හා දේශීය ව්‍යාපාරික ප්‍රජාවට සහ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ආකර්ෂණීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අවශ්‍යයි. එමෙන්ම අප දැක පුරුදු ගජමිතුරු ආර්ථිකය පරදවා, සමාජ මිතුරු ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කළ යුතු වෙයි. සෑම පුරවැසියකුටම සාර්ථක විය හැකි ආර්ථිකයක් අත්‍යවශ්‍යව තිබේ.

ස්වභාවධර්මයේ අනිටු බලපෑමින් මිදී සාර්ථකව කෘෂිකර්මාන්තයේ නියැළීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කළ යුතුව තිබේ. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය මුසු කිරීම සම්බන්ධයෙන් අප තවමත් ප්‍රමාණවත් තරම් සාර්ථකත්වයක් අත් කරගෙන ඇතැයි සතුටු විය නොහැකියි. කෘෂි නිෂ්පාදනයද පසු නිෂ්පාදන ක්‍රියාවලියද බෙදාහැරීමද නවීකරණය කළ යුතුව තිබේ.

පශ්චාත් යුද කළමනාකරණය ඉතා අභියෝගාත්මක බව අප පිළිගත යුතු කරුණකි. අප ආණ්ඩුව භාර ගන්නා විට මේ අභියෝගයට පිළිතුරු සැපයීම අවුරුදු 7කින් පමා වී තිබුණු අතර එබැවින්ම එම අභියෝගය වඩාත් අසීරු වී තිබිණි. දශක තුනක් පුරා සමාජයේ මුල් බැසගෙන තිබුණු යුද මානසිකත්වය ඉවත් කර සහජීවනය ස්ථාපිත කරන්නට තවදුරටත් අප විසින් කළ යුතු වැඩ බොහෝ වේ. ආණ්ඩුවකට පමණක් එය තනිව ඉටු කිරීම අසීරුය. ඒ සඳහා සමාජයේ සෑම පාර්ශ්වයකම සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. එකී අරමුණ වෙනුවෙන් සියලු දෙනා එකමුතු වී කටයුතු කරන මෙන් මා සෑම පාර්ශ්වයකටම ආරාධනා කරනවා.

2015දී මවිසින් නායකත්වය දුන් යුග පෙරළිය තවමත් සම්පූර්ණ වී නැත. එදා එය ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් විය. 2015 වසරේ අගෝස්තු මාසයේදී සිට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජයීය මුහුකුරා ගිය බව අප තවමත් ඇති කරගන්නට සමත්වී නැති බව පසුගිය වසර තුන තුළදී ඇතිවූ සිද්ධි දාමයන් මඟින් නැවත නැවතත් සිහිපත් කොට දෙයි. සම්මුති – ප්‍රජාතන්ත්‍රවාදය සහ සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය අද ලෝකයේ බොහෝ රාෂ්ට පාලනයන්හි පදනම වන කල එය අපට තවමත් ආගන්තුක සංකල්පයක් ලෙස පවතී.

ජාතික ආණ්ඩුව සැදුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක්‍රියාත්මක විය යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි වජ්ජින් මෙන් සමඟිය සහ සාකච්ඡාව පෙරදැරිව නම්,වජ්ජින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අපද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතිවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක්‍රියාත්මක වූයේ එකී ධර්මතා පදනම් කොටගෙනය. එය රටේද සමස්ත ජනතාවගේද ජයග්‍රහණයට හේතුවන බව මම තරයේ විශ්වාස කරමි.

අවසන් වශයෙන්, අප රාජ්‍යයක් ලෙස නැඟී සිටිමින්, ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේදී අපගේ උරුමයන් මෙන්ම, දේශීයත්වය, අපේ මහා සංස්කෘතිය, අපේ උෟරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බව මම අවධාරණය කරමි. පොදු ජනතාවගේ දේශපාලන හෘදස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහි තබා ගනිමින් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නඟාසිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන අතර රටටත් ජනතාවටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි.

  • පුවත් මුලාශ්‍රය – මව්බිම පුවත්පත.

LEAVE A REPLY