පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අද (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා එක්වූ අතර අනතුරුව විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සදහා ද එක්විය. මේ සඳහා ජනාධිපතිතුමන් සමඟ ජනාධිපති ආර්යාව වන ජයන්ති සිරිසේන මහත්මියද එක්ව සිටියා.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා ඇතුඑ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පල කරමින් ප්‍රකාශ කලේ මාතෘ භූමියෙන් පිටතදී පවා හෙළ චාරිත්‍ර හා සිරිත් විරිත් අමතක නොකර ඉටුකරන මෙවන් නායකයින් මුළු මහත් ලෝකයටම ආදර්ශයක් බවයි.

ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යාව සමඟින් මෙම ආගමික වතාවත් ඉටු කිරීම සඳහා ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා, උදාවූ අලූත් අවුරුද්දට ශුභාශිංසන පළකළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජනපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය සමුළුවට සමගාමිව දෙරටටම වැදගත් වන රාජතාන්ත්‍රික වැඩසටහන් කිහිපයකටම සහභාගී වීමට නියමිත බවද වාර්තා වනවා.

LEAVE A REPLY