එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ජාතියේ ඒ සුවිශේෂි විජයග්‍රහණයට අද දිනට වසර 9 ක් සපිරෙයි.

ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ ග්‍රහණයේ පැවති අවසන් බිම්කඩත් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස18 වැනි සදුදා දිනයේදියී.

යුද්ධ හමුදා මූලස්ථානය පැවසුවේ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන මධ්‍යස්ථානවල සැමරුම් පැවැත්වෙන බවයි. පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් ආරම්භ වනු ඇති.

ආරක්‍ෂක අංශ සහ ප‍්‍රදේශවාසීන් එක්ව උතුරේද, දකුණේද සිවිල් සංවිධාන හා දේශපාලන පක්‍ෂ එක්ව රණවිරු සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ජාතික හිමිකම් සංවිධානයේ 9 වන රණවිරු විජයග‍්‍රහණ සැමරුම අද පැවැත්වෙන්නේ ගලිගමුව සංගප්පාලි ග‍්‍රාමයේදීයි.

ජාතික හෙළ උරුමයද අද දිනයේ රණවිරු සැමරුම් වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදීයි.

මේ අතර යුද්ධයේදී දිවි පිදු රණවිරුවන් සිහි කර ති‍්‍රවිධ චෛත්‍ය වෙත සතියක් පුරා පහන් විසි නව දහසක් පූජා කිරීමේ රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව අදත් පැවැත්වෙනවා. ඒ, හෝකන්දර දක්‍ෂිණාරාම විහාරස්ථානයේදීයි.

1975 වසරේ ජූලි 27 වන දින ඇල්ෆ්රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ත්‍රස්තවාදී සෙවනැලි සැරිසැරීමට පටන්ගත් අතර දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සැහැසිකම්වලින් පීඩාවින්දේය.

2001 සටන් විරාමය ක්‍රියාත්මකව පැවති සමයේදීත් එය කඩකරමින් ත්‍රස්තක්‍රියා වල නිරත වූ එල්. ටී. ටී. ඊ. ය කැබිතිගොල්ලෑව ඇතුළු ස්ථාන කිහිපයකදීම බෝම්බ ප්‍රහාර එල්ල කරමින් මිනිස් ජීවිත සිය ගණනක් බිලිගත්තා.

ඉන් නොනැවතී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදා නායකයින් ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ.ය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේ සාමයට ඔවුන් තුළ ඇති අකමැත්ත නැවත නැවතත් පිළිබ්ඹු කරමින්.

2006 ජූලි 21 වැනිදා ත්‍රිකුණාමලයට දකුණෙන් වූ මාවිල්ආරු සොරෙව්වේ දොරටු වසා දමමින් තිස් දහසකට අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කිරීමත් සමග සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු මුදාගැනීමේ මානුෂික මෙහෙයුම දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර ගත්තා.

නැගෙනහිර මුදාගැනීමෙන් නොනැවතුණු හමුදාවන් 2009 මැයි 18 වැනිදා සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම් අගලත් ඔවුන්ගෙන් මුදාගත්තේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සාමාන්‍ය වැසියන්ටද සුරක්ෂිත හෙට දිනක් උරුම කර දෙමින්.

ජාතියේ මෙම ඓතිහාසික විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය ආසන්නයේදි පැවැත්වීමට නියමිතය.

 

LEAVE A REPLY