මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක විනාඩි 5 ක් එළිමහනේ ඉන්න බෑ. ටැප් එක ඇරියා වගේ දාඩිය බේරෙනවා. අද දවසේ නම් එළියටවත් බහින්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.

එකට හේතුව වෙලා තියෙන්නේ දිවයිනේ පළාත් කිහිපයක අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් ඇති වීම. උතුරු , උතුරුමැද, නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානයන්හි සහ වයඹ සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක උණුසුම ඉහළ යන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වුවහොත් වෙහෙසී කටයුතු කළහොත් අධික තෙහෙට්ටුව සහ විජලනය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීර ලවණ ඉවත්වීමෙන් මස්පිඬු පෙරලීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා එම ප්‍රදේශවල අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසත්, වැඩ බිම් තුළ කටයුතු කිරීමේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්ඉල්ලා සිටිනවා.

හැකි පමණ වේලාවක් සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබද සැලකිලිමත් වීමත් ඉතාම වැදගත්. කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා යන්නත් එපා.

අද මේ විදියට ලංකාව රත් වුනාට අනිද්දා ඉඳන් ගොඩක් පළාත් වලට වැසි සහිත කාලගුණයක් ඇති වෙනවා.

LEAVE A REPLY