මාතලේ දිස්ත්‍රික්කයටත්, මහනුවර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිමකඩක් වූ නකල්ස් රක්‍ෂිතයේ මහා පරිමාණ ඉඩම් කොල්ලකෑමක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිව යුතු බලධාරීන් වෙත හෙළිදරව් කරමින් කියති.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය පසුගිය දින ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියේම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නකල්ස් අධි රක්‍ෂිත පරිසර කලාපයේ සහ ඒ අවට ප්‍රදේශවල වටිනා ඉඩම් රැසක් මේ වන විට පිට පළාත්වල ව්‍යාපාරිකයන්ට සහ ඇතැම් පුද්ගලයන් වෙත පවරාදීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවය. එය ඉඩම් කොල්ලයක් ලෙස හඳුන්වා දෙන බවද ඇය පැවැසුවාය.

නකල්ස් ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවත් මේ ප්‍රදේශයේ විවිධ ඉදිකිරීම් සහ සංචාරක හෝටල් ඉදිකිරීම් සිදුවන බවත් මන්ත්‍රිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
එමෙන්ම පෞද්ගලික සත්ත්ව ගොවිපොළක් ඉදිකිරීම සඳහා නකල්ස් ඉහළ කඳු පන්ති ප්‍රදේශයේ අක්කර 900ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයකට ලබාදී තිබෙන බවද මන්ත්‍රිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයන්ද මේ මහා විනාශය පිළිබඳව ලිඛිතව බලධාරීන් දැනුවත් කර තිබීම විශේෂත්වයකි.

පරිසරවේදියකු වන සජීව චාමිකර මහතා කියා සිටියේ දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳු පන්තියේ අක්කර 21,000ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ඇමැතිවරයකු හා වර්තමාන කැබිනට් ඇමැතිවරයකුගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබෙන බවය. විවිධ පුද්ගලයන්ට පැවරීම සිදුකර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මඟින් කළමනාකරණය ලැබූ වතු ඉඩම් බවද හෙතෙම සඳහන් කළේය.

නකල්ස් දුම්බර අඩවියේ දැඩි ආරක්‍ෂිතව පවතින අක්කර විසිඑක් දාහක පමණ භූමි ප්‍රමාණයක් මේ ආකාරයෙන් විනාශ වන්නට වුවහොත් මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලට ජල පෝෂක ප්‍රදේශයක් අහිමි වන බවද සජීව චාමිකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ගැපෙක් ශ්‍රී ලංකා පරිසර අධ්‍යයන ආයතනයේ ප්‍රධාන පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නකල්ස් රක්‍ෂිතය ආරක්‍ෂා කිරීම රජයේ මෙන්ම ජනතාවගේද වගකීමක් බවය. ආයතන කිහිපයකට සහ දේශපාලන හිතවතුන් වෙත අක්කර සිය ගණනාවක් ලබාදීම සඳහා අණ පනත් සූදානම් වෙමින් පවතින බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවය. නකල්ස් දුම්බර වනපෙත ආරක්‍ෂා කර ගැනීම සඳහා කන්ද උඩරටින් ඉදිරියේදී තුන්වැනි කැරැල්ල බිහි කරන බවද ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේය.

දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් කනහැරආරච්චි මහතා කියා සිටියේ මේ වන විටත් නකල්ස් අඩවියේ ආරක්‍ෂිත කලාපයන් පෞද්ගලික වතු හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් විසින් අත්පත් කොට විවිධ සංචාරක හෝටල් සහ විවිධ ඉදිකිරීම් සිදු කරමින් පවතින බවය. නකල්ස් රක්‍ෂිතයේ අවට ඇති රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු ඉඩම් විශාල වශයෙන් හෙළි පෙහෙළි කරමින් විවිධ කර්මාන්ත ආරම්භ කිරීමට යන බවද නිමල් කනහැරආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. රජය මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී රටේ සියලුම පරිසර සංවිධාන සමඟ පාරට බහින බවත් එසේම ඉඩම් ලබාදී ඇති දේශපාලන අධිකාරියේ සියලු දෙනාගේ නම් ගම් සහිතව හෙළි කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY