අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු කිහිපයක් ක්‍රියාත්මක වේ. දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2004 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ පොල්ගම්පල මහතා පසුව මන්ත්‍රීධූරයෙන් ඉවත් කෙරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදෙස්තගත කිරීමේ චෝදනාවක් ඔහුට එල්ල වූ බැවිනි. පසුව බැසිල් රාජපක්ෂ හා සමීපව කටයුතු කළ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කඳවුරේ කටයුතු කළේය.

උතුරු වසන්තය යටතේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා පස් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති අනුරුද්ධ පොල්ගම්පල, පස් සැපයූ සැපයුම්කරුවන් වෙත ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වංචා කර ඇති අතර ඔහු ඒ සඳහා අගරු චෙක්පත් ලබාදී තිබේ.

කිලිනොච්චි අධිකරණයේ ඔහුට එරෙහිව පස් සැපයුම්කරුවන් විසින් නඩුවක් ගොනුකර ඇති අතර අත්අඩංගුවට ගත් පොල්ගම්පල මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

ඇපමත නිදහස් කෙරුණු පොල්ගම්පල පසුව දිගින් දිගටම අධිකරණය මගහැර තිබේ. එසේ දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු 2017 වසරේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ද පත්විය. මීට අමතරව තවත් මුල්‍ය වංචා සම්බන්ධ චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.

මෑත කාලයේ පොල්ගම්පොල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධව දේශපාලන කටයුතු සිදු කල අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟද සමීපව කටයුතු කල බවට වාර්තා විය නමුත් ජනාධිපතිවරයා හොරුන් නොරකින බවට තව තවත් ඔප්පු කරන්නට මෙම සිදුවීමද හොඳ සාක්ෂියක් බව මතක් කල යුතුය.

එදා රාජපක්ෂලා ලඟට හොරු එකතු වුයේ නීතියෙන් ගලවිමටය. නමුත් අද මෛත්‍රී ළඟ සිටියත් හොරුන්ට නිතිය ක්‍රියාත්මක වීමට කිසිදු භාධාවක් නොමැති බව ඔප්පු වෙමින් ඇත. මන්ද මෛත්‍රී හොරුන්ට සහයෝගය ලබා නොදෙන බැවිනි.

LEAVE A REPLY