රාජ්‍ය සේවකයින් දේශපාලන ලෝකයේ තිබෙන දේශපාලන නාට්‍ය හා දේශපාලන නාඩගම් පිළිබඳ අවධානය යොමු නොකර තමන් විසින් කළ යුතු කාර්යය කැපවීමෙන් ඉටු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 26 පැවසීය.
රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම සඳහා එක් එක් විෂය කේෂත‍්‍ර තුළ කළ යුතු කාර්යයන්හිදී සෑම කෙනෙක්ම ඉහළම කැපවීමකින් ඒ කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී 26 පැවති රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික මහා සභාව සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් රට මුහුණ පා තිබෙනගැටලූ සහ ප‍්‍රශ්න අපට පමණක් සීමා වූ ඒවා නොවන බව කී ජනාධිපතිවරයා එම ප‍්‍රශ්න ජයගැනීමට නම් කවුරුත් තම වගකීම් සහ යුතුකම් සැබෑ ලෙසම ඉටුකළ යුතු යැයි ද ප‍්‍රකාශ කළේය.
මෙරට ගුරු සේවයේ නියුතු 3,50,000ක පිරිස අතුරින් සියයට 10ක් පමණ කිසිසේත්ම ඉගැන්වීමේ හැකියාව නැති බව අධ්‍යාපන කේෂත්‍රයේ ප‍්‍රධානීන් පිරිසක් තමා හමුවූ අවස්ථාවේ පැවසූ බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
ඔවුන්ට කුමන විෂයක් හෝ බාහිර කි‍්‍රයාකාරකම් භාරදුන්නත් කිසිවක් කරගත නොහැකි බව ඔවුන් පැවසූයේ යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY