‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට යැයි ’’ නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි විශේෂ පෙත්සම් හත විභාගයේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මේ බව කියා සිටියේය.

මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාගයට ගැනීමයි.ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබූ විනිසුරුවරුන් මීට පත් කරනු ලබනවා.මෙම අපරාධ මඟින් රටේ ආර්ථිකයට බරපතල හානි වෙනවා.සාමාන්‍ය ආකාරයට නඩු විභාගයට ගත හොත් අවුරුදු 19කට ආසන්න කාලයක් ගත වනවා.අනෙක් අතට දැනට සිටින විනිසුරුවරුන් යොදා මේ සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළහොත් අනිත් නඩු විභාග පැවැත්වීමට බාධා එල්ල වෙනවා යැයිද අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කීය.

යෝජිත ත‍්‍රි පුද්ගල මහාධිකරණ පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පවසමින් මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක අනුමැතියකින් අනුමත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ නායක , පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ,ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උයද රෝහන් ද සිල්වා මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 14 ක් ගොනු කර තිබිණි.

මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා , මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා , නිපුණතා සංවර්ධණ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන , මහාචාර්ය සරත් විජේසූරිය , සමන් දේශප‍්‍රිය , ජයදේව උයන්ගොඩ , කේ.ඩබ්ලිව් .ජනරංජන ,ගාමිණී වියන්ගොඩ සහ ජගත් හේමචන්ද්‍ර යන මහත්වරුන් නීතීඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත මෙලෙස අතරමැදි පෙත්සම් ගොනු කළහ.

මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ , සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මෙසේද කීය.
‘‘ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ කරුණු වලදී පැන නැගුණ ගැටළු 25 ක් සම්බන්ධයෙන් පිළිතුරු දීමට බලාපොරොත්තු වනවා.ඊට පෙර මහාධිකරණය නිර්මාණය වූ ආකාරය පිළිබඳව කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා.

1973 වසරේදී අපරාධ අධිකරණය බලය සහිත මුල් අවස්ථා අධිකරණයක් වශයෙන් මහාධිකරණය මුලින්ම නිර්මාණය වුණා.ඊට පෙර මුල් අවස්ථාව අපරාධ අධිකරණ බලය තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව අධිකරණ වර්ග 3ක් පිහිටුවනු ලැබුවා.එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණ සහ මහාධිකරණය 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තියේ මේ ගැන පැහැදිලිව සඳහන් වනව.ඒ අනුව පාර්ලිමේන්තුව විසිනුයි අධිකරණය නිර්මාණය කරන්නේ.පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් අලූත් අධිකරණයක් නිර්මාණය කළ හැකියි.

අද අප රටේ මහාධිකරණ වර්ග දෙකක් දක්නට ලැබෙනවා.එනම් ජනරජයේ මහාධිකරණය සහ පළාත්බද මහාධිකරණයයි.ඉහළම අධිකරණ බලයක් සහිතත අධිකරණය මහාධිකරණයයි. මුල් අවස්ථාවේදී මහාධිකරණයට විනිසුරුවරුන් නම් කළේ අගවිනිසුරුවරයායි.17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අගවිනිසුරු සතු එම බලය අධිකරණ සේවා කොමිසමට පවරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෝකයේ ඕනෑම තැනක වරදක් කළොත් ඊට දඬුවම් ලබා දීමට මහාධිකරණයට බලය තිබෙනවා.

මහාධිකරණය නඩු විභාගයට ගන්නා ආකාර 3 ක් ගැන සඳහන් වෙනවා.එනම් ජූරියක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරයා හමුවේ නඩු විභාගයට ගැනීම , ජූරියක් සහිතව මහාධිකරණ විනිසුරුවරයා හමුවේ නඩු විභාගයට ගැනීම , ජූරියක් නොමැතිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමයි.
මින් ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාගයට ගනු ලැබූ එක් ප‍්‍රසිද්ධි නඩුවක් තමයි ‘‘ ලියනගේ එදිරිව රැජින නඩුව ’’.

එය රජය පෙරළීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධ නඩුවක්.එකල ත‍්‍රි පුද්ගල මහාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම ආදිය සිදු කළේ පාර්මේන්තුව මඟින්.එම තත්ත්වය 1988 අංක 21 දරණ පනතින් සංශෝධනය කර පාර්ලිමේන්තුව සතු බලය අගවිනිසුරුවරයාට ලබා දුන්නා.

එම පනතේ 138 වගන්තියේ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරිය යුතු නඩු වර්ග මොනවාද කියා පැහැදිලිව සඳහන් වනවා.ඊට අමතරව පෙත්සම්කරුවන්ගේ , නීතීඥ මහත්වරුන් ම්ලේඡ නීතීඥ වශයෙන් හඳුන්වන නීතියද මෙහි සඳහන් වෙනවා.
ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු දිනපතා විභාගයට විභාගයට ගනු ලබනවා.එහිදී නීතීඥවරුන්ට පෞද්ගලික හේතු මත දින ලබා ගන්න බැහැ.

මෙම නව අධිකරණ සංවිධාන පනතින් පිහිටුවන්නේ නව උසාවියක් නොවෙයි, තියෙන උසාවියක් ත‍්‍රීපුද්ගල මහාධිකරණයක් බවට පත්කෙරෙනවා.පෙත්සම්කරුවන්ගේ නීතීඥවරයෙක් මීට පෙර චෝදනා කළා මෙම පනත නොවෙයි ගේන්න හිටියේ වෙනස් එකක් කියලා පළමුව විශේෂ මහාධිකරණ සභාව කියලා සභාවක් පිහිටුවීමට අවශ්‍ය කරුණු අධ්‍යයනය කළා.ඊට අදාළ ලිපි ගොනුව මෙයයි.නමුත් මෙය නොවෙයි ,මෙය මෙම පනත් කෙටුම්පත වෙනත් එකක්.මෙම පත් කෙටුම්පතෙහි 6 වැනි කාර්ය පාටිය ඊට අදාළ නඩු වර්ග පිළිබඳව සඳහන් වෙනවා.

  • පුවත් මුලාශ්‍රය – ලංකාදීප වෙබ් අඩවිය.

LEAVE A REPLY