සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ මෙරට ජනතාව සමඟ අත්වැල් බැදගනිමින් මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමේ සත්කාර්යය අද සාර්ථකව අවසන් කළේය.

ඒ අපේක්ෂා රෝහලේ ස්ථාපිත කෙරුණු පෙට් ස්කෑන් යන්ත්‍රය අද (01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරීමත් සමඟයි.

රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගැනීමට සහ පසු විපරම් ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහල තීරණය කර තිබුණි.

ඒ අනුව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.වයි.කේ.විල්ෆට් මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා 2016 වසරේදී මනුසත් දෙරණෙන් ඉල්ලීමක් කළේය.

රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීමට රෝහල ආරම්භ කළ ව්‍යාපෘතිය මනුසත් දෙරණ වෙත භාරදෙන විට ඒ වෙනුවෙන් ඇරඹි ගිණුමේ මිලියන හයක පමණ මුදලක් තැන්පත්ව තිබුණි.

කෙසේවෙතත් දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ ක්‍රියාන්විතය හරහා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කරනු ලැබුවේ සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිවයි.

ඒ වෙනුවෙන් අසීමිත ගුවන් කාලයක් දෙරණ මාධ්‍ය ජාලය වෙන්කරනු ලැබූ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දෙනු ලැබීය.

මනුසත් දෙරණ පිළිබඳව තැබූ විශ්වාසය හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් පෙට් ස්කෑන් යන්ත්‍රය ලබාගැනීම සඳහා පරිත්‍යාග කර තිබුණි.

මාස හතරක් වැනි කෙටි කාලයකින් අදාළ ඉලක්කය පසුකර යමින් රුපියල් කෝටි 24ක මුදලක් එක්රැස් කරගැනීමට මනුසත් දෙරණට හැකියාව ලැබුණි.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් ජර්මනියෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන් වීමට පසුගියදා කටයුතු කළේය.

මහරගම අපේක්ෂා රෝහලේ සවිකළ පෙට් ස්කෑන් යන්ත්‍රය අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

  • පුවත් මුලාශ්‍රය – අද දෙරණ වෙබ් අඩවිය

LEAVE A REPLY