මීට සිවු වසරකට ඉහතදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායම මත්ද්‍රව්‍ය ඔත්තුවක් මුවාවෙන් උපක්‍රමශීලීව පිළියන්දල ප්‍රදේශයට රැගෙන ගොස් නිලධාරීන් සියලුදෙනාම ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ මහ මොළකරු වූ මොහොමඩ් නවාස් ඔහුගේ අනුගාමියකු සහ හෙරොයින් කිලෝ 100ක් සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය ඉකුත් නොවැම්බර් මාසයේ සිට සිදුකළ රහසිගත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම ඉකුත් 22 වැනිදා චෙන්නායිහිදී සිදුව ඇත.

මෙරට මුදලින් රුපියල් කෝටි 100ක හෙරොයින් තොගයක් නවාස් හා ඔහුගේ අනුගාමිකයා වන මොහොමඩ් අෆ්නාස් සන්තකයේ තිබී ඇතැයිද සඳහන් වේ.

අෆ්නාස් යනු නවාස්ගේ නැදෑයකු බවද පැවැසේ.

මොහොමඩ් නවාස් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වූ අතර ඔහුගේ උපදෙස් පරිදි 2017 මැයි 09 වැනි දින පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිස ඝාතනය කිරීම සඳහා නවාස් පොලිස් ඔත්තුකරු ලෙස රඟපාමින් කටයුතු කොට මෙම ප්‍රහාරය සැලසුම් කොට තිබිණි.

මෙයින් නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් තුවාල ලැබූ අතර වෙඩි තැබීම සිදුවූ ආහාර අලෙවිසලෙහි කුඩා දරුවන් තිදෙනකුද මින් තුවාල ලබා එක් දැරිවියක් ජීවිතක්ෂයට පත් වූවාය.

එසේම මෙහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද ජීවිතක්ෂයට පත් විය.

මෙම ප්‍රහාරයෙන් පසු නවාස් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගිය අතර පසුව ඔහු මධුෂ්, අංගොඩ ලොක්කා සමඟ හෙරොයින් ජාවාරමේ නියැළෙමින් සිට ඇත.

මධුෂ් අත්අඩංගුවට පත් වීමත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය යෑමෙන් පසු නවාස්, අෆ්නාස් සමඟ පාකිස්තාන ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවන් හා එකතු වෙමින් ජාවාරම පවත්වා ගෙන ගොස් ඇතැයි ද සඳහන් වේ. නවාස් සම්බන්ධයෙන් මෙරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයද දැඩි සෝදිසියෙන් පසු විය.

නවාස්ට මෙරට මහාධිකරණයෙන් පැවැරූ නඩු තුනක් ඇත. එම නඩු තුනටම ඔහුට වරෙන්තු නිකුත්ව ඇත.

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙලෙස මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 24 වැනි දින ඉන්දීය මුහුදු සීමාවේදී සිදුකළ අයිස් හා හෙරොයින් වැටලීමකට අදාළව ලාංකේය ධීවරයන් පස්දෙනකු සම්බන්ධයෙන් සිදුකළ අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට අදාළවය.

මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ මීගමුවේ ෂෙනයා දුව නමැති බෝට්ටුව මෙහිදී අත්අඩංගුවට පත් විය.

මෙම මත්ද්‍රව්‍ය තොග ඉන්දියාව හරහා මෙරටට රැගෙන එමින් සිටියදී ඉන්ධන අවසන් වීම හේතුකොටගෙන මුහුදේ ඒ මේ අත පාවෙමින් තිබියදී මෙය ඉන්දීය වෙරළ ආරක්ෂක කණ්ඩායම විසින් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබිණි.

මෙම තොගය එවා තිබුණේද නවාස් විසිනි. එය මෙහෙයවා තිබුණේ ඔහුගේ සගයා වන අෆ්නාස් විසිනි.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට පත් වූ නවාස් හා අෆ්නාස් ගෙන්වා ගැනීම සඳහා මෙරට බලධාරීන් මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව ‘මව්බිම’ට වාර්තා වේ.