“යකා දෙන්නේ නැත්නම් යකාගේ ආච්චිගෙන් හරි අමතර කොටස්‌ ගන්නවා”

මෙහෙම කීවේ ජේ.ආර්. ය. ජේ.ආර්. යකා කීවේ ඇමෙරිකාවට ය. යකාගේ ආච්චි කීවේ ඊශ්‍රායලයට ය. අසූ ගණන්වල කොටි සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ගුවන් හමුදාවේ ඇමෙරිකානු නිෂ්පාදිත බෙල් හෙලිකොප්ටර් යානාවලට අවශ්‍ය අමතර කොටස්‌ සපයන ලෙස ඡේ.ආර්.ඇමරිකාවෙන් ඉල්ලුවේ ය. එහෙත් එදා ඇමෙරිකාව ජේ.ආර්.ගේ ඉල්ලීම කුණු කූඩෙට දානකොට ජේ.ආර්. කීවේ ඊශ්‍රායලයෙන් අමතර කොටස් ගන්නවා කියා ය.

එහෙම කීව ජේ.ආර්. නිකං හිටියේත් නැත. ඔහු ඊශ්‍රායලය එක්ක ගනුදෙනුව පටන් ගත්තේ ය.

මේ යටතේ ඊශ්‍රායලයේ මටානි මෙහෙයවන ඊශ්‍රායල් අයිතිවාසිකම් කාර්යාලයක්‌ද කොළඹ ස්‌ථාපිත කළේ ය. ඒ කොළඹ ඔබරෝයි හෝටලයේ නවවැනි මාලයේ ය. තමන්ට පහර දෙන්නට ඊශ්‍රායලයේ මොසාඩ් සහාය ගන්න යන බව දැනගත් එල්.ටී.ටී.ඊ.ය කොටි චරපුරුෂයකු වූ තේවන් ලවා බෝම්බයක්‌ පිපිරවී ය. ඒ 1984 ජනවාරි 21 දාය.

අන්තිමට ජේ.ආර්ට ජනාධිපතිකමෙන් යන්න විය. එහෙත් මොසාඩ් රට පුරා සක්‍රීය විය. ඒ කාලයේ මොසාඩ් චරපුරුෂයකු “බයි ද වේ ඔප් ඩිසෙප්ෂන්” නමැති ග්‍රන්ථයක් ලීවේ ය. ඔහු එහි ලියා තිබුණේ  ඊශ්‍රායල් බලධාරීන් කොටින්ට හා ශ්‍රී ලංකා හමුදා භටයන්ටද යුද පුහුණුව දුන් බව ය. ප්‍රේමදාස මොසාඩ් කොමිසමක්‌ පිහිටුවනු ලැබුවේ ඒ අනුව ය. මේ කොමිසම හමුවේ මෙරට බුද්ධිසේවා ප්‍රධානියා ලෙස ක්‍රියාකළ සර්නි විජේසූරිය ඇතුළු හමුදා ප්‍රධානීන් සාක්‍ෂි දුන්නේ ය. හැබැයි මොසාඩ් එකට එරෙහි වූ බොහෝ දෙනකුට උරුම වූයේ අවාසනාවන්ත ඉරණම් ය.

ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වගේ නායකයන් අකාලයේ මිය ගියහ. ඔවුන් ඊශ්‍රායලය වෙනුවට පලස්තීනය පිළිගත් හ. අසල්වැසි ඉන්දියාවේ නේරුලා, ගාන්ධිලා සමඟ යසර් අර්පත් කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූ අතර, පලස්තීනුවන්ට ඉන්දියාවේ පදිංචිය සඳහා පැමිණෙන ලෙසද ඉන්දිරා ගන්ධි ආරාධනා කළා ය. ඒ විතරක් නොව, රජීව් ගාන්ධිගේ කාලයේදී යසර් අර්පත් කිහිප වරක් ඉන්දියාවේ සංචාරය කළේ ය. හිටි අඩියේ රජීව් ඝාතනය විය. බෝම්බය ප්‍රභාගේ ය. එහෙත් චන්ද්‍රස්වාමි නම් මොසාඩ් ප්‍රබලයෙක් ඒ පිටුපස සිටි බව රජීව් ඝාතනය ගැන සොයා බලන්න පත් කළ ‘ජේන් කොමිසම’ හමුවේ එළිදරව් විය. මේක තේරුම් ගත් මෝදි ඊශ්‍රායලය එක්ක හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ය.

ඊශ්‍රායෙල් රාජ තාන්ත්‍රික ගනුදෙනුවලට ‍ෙදාර වසා තිබූ ගාන්ධිලාට වුණේ ඒකය. ගාන්ධිලා අදටත් පරාජිත ය.

මොසාඩ් කියන්නේ ඇහුවත් ඇඟ කිලිපොළා යන සංවිධානයක් ය. රටවල්වල දේශපාලන සිතියම තමන්ට වුවමනා ලෙස පාලනය කරන්නත්, එහෙම පාලනය නොවෙන විට හොඳින් හෝ නරකින් ඒ දේ කරන්නත් ඔවුන් දක්ෂ ය. 1972 දී ජර්මනියේ මියුනික් නගරයේදී පැවැති ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල ඔලිම්පික් කණ්ඩායමේ මලල ක්‍රීඩකයන් 11 දෙනකු අමු අමුවේ ඝාතනය විය. ඝාතකයන් සෙවීම සඳහා දියත් කළ මෙහෙයුමේ පළිගැනීමේ මට්ටම කොතෙක්ද කිවහොත්, වසර 10ක් ඇතුළත මියුනික් ඝාතන සඳහා පිඹුරුපත් සකස් කළ මහමොළකරුවන් සියලුදෙනා වනසා දැමූහ. අන්තිමට එහි ප්‍රධාන මොළකරුවා වූ පලස්තීනයේ ‘ස්වෙයිතර්’ ඝාතනය කළේ, එක ක්‍රීඩකයෙක් වෙනුවෙන් එක උණ්ඩයක් බැගින්, ඔහුගේ සිරුරට වෙඩි උණ්ඩ 11 ක් ඇතුළු කිරීමෙන් ය.

මොසාඩ් සංවිධානය හැමදාම තමන්ට හිතැති චරපුරුෂයන් ලොව පුරා බිහිකොට ඇත. ලංකාවේ ජේ.ආර්. ඔවුන්ගේ අතකොළුවක් වූ අතර එහෙම අතකොළු නොවූ අයට හිමි වූ ඉරණම අවාසනාවන්ත ය.

“දැන් ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් සුරතලා කවුද?”

වරක් කොළඹ පැවැති පලස්‌තීන සහයෝගිතා කමිටු රැස්‌වීමකදී ඊශ්‍රායලය සමඟ සියලු සබඳතා නතර කරන ලෙස ඉල්ලීමක්‌ ඉදිරිපත් විය. මෙම රැස්‌වීම අමතමින් හිටපු තානාපතිවරයකු බරපතල ප්‍රකාශයක්‌ කරනු ලැබී ය.

“ඒ බරපතළ ප්‍රකාශය කුමක්ද?”

“2008 සහ 2009 අතර සමයේ හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු රාජ්‍ය නිළධාරීන් කණ්‌ඩායමක්‌ ඊශ්‍රායලයට ගොස්‌ එරට ස්‌වදේශ ආරක්‍ෂක බළකායේ පිරිස්‌ හමුවුණා. එකී බළකායේ උපදෙස්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම පිළිගත්තා. යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වූයේ එකී ඊශ්‍රායල් ක්‍රමවේදයයි. මේ නිසා තමිල්නාඩුවේ සහ ඩයස්‌පෝරා කණ්‌ඩායමේ නැඟී සිටීමට එකී ක්‍රියාදාමය ඉවහල් වුණා”.

මේ හෙළිදරව්ව  බරපතළ ය.

කිහිප වතාවක් චම්පික ඊශ්‍රායලයේ සංචාරය කළේ ය. එහි ශිල්පක්‍රම හැදෑරුවේ ය. ඒ විතරක් නොවේ, ලෝකයම ඊශ්‍රායලය එක්ක සබඳතා අත් හරිද්දීත් ලංකාවේ ආණ්ඩුව එහෙම නොකරන තැනට ගේන්නට චම්පික ගේම ගැහුවේ ය. අන්තිමට මහින්දගේ ආණ්ඩුව පරාජයේ මුවවිටට තල්ලු කරපු චම්පික ‘ගල්ලෙන බින්දේ ය’.

චම්පික කියන්නේ වචනවලින් සෙල්ලම් කළ ‘න්‍යාය සොරෙක්’ පමණි. චම්පික සිය දේශපාලන  අකුරු කියවූයේ ජවිපෙන් ය. චම්පික භීෂණ සමයේ හමුදා අත්අඩංගුවට පත් විය. එකල ‘ප්‍රා’ ප්‍රධාන වධකාගාරය පවත්වාගෙන ගියේ කොළඹ සරසවියේ නීති පීඨය තුළ ය. චම්පික ගාල් කළේද මෙහි ය. 2004 වසරේ ෂාරුක් ඛාන් ආ සංගීත සංදර්ශනයකට  බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එවැනි ප්‍රහාරයක් සදහා ‘අයිඩියොලොජිය’ වැපුරුවේ  චම්පික ය.

චම්පික ඉන් පස්සේ සිංහල උරුමය කොල්ල කෑවේ ය. ඊට පස්සේ එය මහ සඟරුවනට පූජා කරනවා කියා හෙළ උරුමය හැදුවේ ය. අන්තිමට ඒකත් කොල්ල කෑවේ ය. පස්සේ මහින්ද ගාවට ගියේ ය. ඊට පස්සේ එජාපයට ආවේ ය. ඊටත් පස්සේ සජබට රිංගුවේ ය. දැන් ‘43 සේනාංකය’ කියා බි්‍රගේඩ් එකක් අටවගෙන දඟලන්නේ ය. රාජපක්ෂලාට ‘රෙජිමය’ කියා ලේබල් ගැසූ චම්පික අද ඔහු විසින්ම ‘රෙජිමයක්’ හදා ගෙන ය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ලොකු දේශනා තියන චම්පික සේනාංක හදා සැරසෙන්නේ මොන විදිහේ තලෙයිබාන් සෙල්ලමකටද කියා විමසිල්ලෙන් ඉන්න එක කාට කාටත් හොඳ ය.

මේ වෙලාවේ රටට අවශ්‍ය සේනාංක ද? ඔහොම සේනාංකයක් නාමලුත් හැදුවේ ය. ඒකට කීවේ නිල් බළකාය කියා ය. චම්පික අද හදා ඇත්තේද බළකායක් ය. හැබැයි චම්පික නිල් බළකාය ගැන එදා කීවේ මෙහෙම ය. “නිල් බළකාය රටේ භීෂණය වපුරවමින් කළ කී දෑ  කවුරුත් දන්නවා. ඔවුන් කළ අකටයුතුකම් ගැන තොරතුරු එක් රැස් කරනවා. බය නැතිව එම තොරතුරු අපට ලබා දෙන්න. කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බළකායත් පුනරුත්ථාපනය කරනවා.” එහෙම කියමින් බළකායන්ට ගහපු චම්පික අද බළකායක් හදාගෙන ය.

‘වියත් මඟ’ අයිඩියා එකත් හොරකං කරගෙන චම්පික මේ ‘43 සේනාංකය’ හදන්නේ… දේශපාලනමය වශයෙන් අන්තිම ෆේල් සෙට් එකක් වටකරගෙන ය. විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත වියත් මඟෙත් ඇති මහ ලොකු මඟක් නැති කොට චම්පික මේ ශිරාල් ලක්තිලකලා, මෛත්‍රි ගුණරත්නලා, රජිත් කීර්ති තෙන්නකෝන්ලා වගේ දේශපාලන කූඩැල්ලන් වට කරගෙන හදපු ‘43 සේනාංකය’ ගැන කවර කතාද?

“වියත් මඟෙන් ගොඨාභයට මඟ හැදුණා වගේ මටත් ‘43 සේනාංකය’ හරහා පොට පෑදේවි, මිනිස්සු සජිත් එපා! සජිත් එපා! අපිට ඕනේ චම්පික කියා කෑ ගසාවි, බැරිම තැන 2024දී සජබ ජනපති අපේක්ෂකකම මට දෙන්න වේවි” චම්පික දැන් දකින සිහිනය ඕක ය.

දර්ශනවාදියකු වරක් මෙසේ ලියා ඇත “ඉතිහාසය පිළිබඳව නොදන්නේ නම්, ලේ උරාබොන දේශපාලකයන්ගේ සහ දඩයම් පිහි  සපයන න්‍යායාචාර්යවරුන්ගේ නියත ගොදුර බවට ඔබ පත්වෙනු ඇත”

චම්පිකගේ ඉතිහාසය වටහා නොගන්නා අයට කියන්නට තියෙන්නේත් ඒක ය.

www.mawbima.lk