ශිෂ්ටාචාරය කිසියම් ශෛලියක් යැයි පැවැසීම එක්තරා දුරකට එකඟ විය හැකි ප්‍රකාශයකි. ඒ ශෛලිය සෑම පුද්ගලයකුටම බාහිර ශෝභනත්වයත් යම්දුරකට පරිපූර්ණත්වයත් උරුම කර දෙනු ලබයි.

පරිපූර්ණත්වය කරා දිගු ගමනක් යායුතු මේ….. ඒ සඳහා සෞන්දර්ය මඟහසර කියාදෙන්නෙක් වේ නම්: සංවේදනයේ එසේත් නොමැති නම් හැඟීමේ විද්‍යාව සමඟ අතිනත ගෙන පරිපූර්ණත්වය කරා පිය නඟන කුඩා පවුලක් වේ.

හීන්දෑරි නොඋස් පියෙක්. ඔහු හැම විටකදීම සරණ පතන; තක්කයටම ඔහුව රන් ඔන්චිල්ලාවක නැංවිය හැකි බිරියක්, ලෝකයට නැමුණු නෙත් ඇති දියණියක් සහ පුතණුවෙක්. මේ පුංචි පවුල නොවරදවාම තමන්ට හැකි අයුරින් ලෝකයට අලුත් පැහැයක් ලබාදේවි.

මම කියන්නේ ඔවුන් “කළු” ඉවත් කර සියල්ල “සුදු” කරාවි කියා නම් නොවේ. පොදු ජීවිතයේදී සුන්දර වර්ණයක්, අවකාශයක්, එයට ගැළපෙන මනුෂ්‍යයන් පිළිබඳ කතා කිරීමේ පුරුද්ද ඇබ්බැහියක් බවට පත් කරන්නේ මෙවැනි පුංචි පවුල් ඒකක යැයි කීම නිවැරදියි.

ඔවුන් විශ්වාස කරනුයේ කලාත්මක සුන්දරත්වය ස්වභාවධර්මයට වඩා ඉතා ඉහළින් පවතිනවා යැයි කියා නොවේ. කලාවේ සුන්දර බව මනසින් ජනිත වන්නේ නම් මනසේ නිර්මාපකයා වන ස්වභාවධර්මය මඟහැර දමා යන ගමනක් තිබේද?

ඒ කුඩා පවුලේ අෑයෝ ස්වභාවධර්මයේම කොටස්කරුවෝය. එම නිසා ඔවුන්, ඔවුන් කෙරේම ගෞරවය පෙරදැරි පරිපූර්ණතාවකින් යුතුව ප්‍රේමයද, ඉනිබ්බේ සියලු මානුෂික ගුණාංගද පසසනු ලබයි. ඔවුන්ගේ ජීවිත අවකාශයේ ඇති එක් කුඩා සිදුවීමක් සවිස්තර කිරීමටයි මෙම ලියමනෙන් මම උත්සාහ දරන්නේ. එක් කුඩා සිදුවීමක් පමණක්……

හැඳල, පී්‍රතිපුර වෙරළ තීරයේ මහ මුහුදට ඇස යොමාගත් වත ඇති ඇත් රූපයක් වේ. ඇත් රුව සකසා ඇත්තේ මිනිසුන් පරිසරයට මුදාහළ ගන අපද්‍රව්‍යවලිනි. මහ මුහුද දෙස නිහඬව බලා සිටින ඇත් රුව පෙන්වාදෙනු ලබන්නේ මේ මොහොත වන විවටදීත් සිදුවන පාරිසරික විනාශයේ තරමය.

යමක් පරිසරයට බැහැර කිරීම යනු වරක් නොව දෙවතාවක් යළි යළිත් සිතා බැලිය යුතු කරුණක් බවද ඇත් රුව පසක් කරවයි. මෙම පුංචි පවුලේ අෑයෝ බැහැර කිරීම සඳහා නව අර්ථකථනයක් ලබාදී තිබේ. ඒ එකලස් කිරීමේ කලාවය. ප්‍රිය මිත්‍රවරුනි, අප ඒ කුඩා පවුලේ ප්‍රධානියා වන ලලිත් සේනානායකට කන් යොමමු. ඔහු පවසාවි තමන් කුමක් කරමින් සිටින්නේද යන වග.

“මගේ පුතා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට ගලායෑම ගැන නිතර නිතර කතා කරනවා. දුවත් එහෙමයි. එයාලා පරිසරය ගැන අතිශයින්ම සංවේදීයි. සංවේදීකම කියන වචනය අපි ඒ අයට හුරු කළේ අධ්‍යයනය කිරීමක් ලෙස. ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වීමෙන් සිදුවන පරිසර දූෂණය වළක්වා ගන්නේ කොහොමද කියන කාරණය ගැන හිතන්න මට මගේ දරුවෝ දෙන්නා ප්‍රබල උත්තේජනයක් වුණා.

අපි නිතරම දකින්නේ අපිරිසුදු වෙලා තියෙන වෙරළක්. නිදහසේ කාලය ගත කරන්න අපි වෙරළට ගියාට ඒ නිදහස අපට දැනෙන්නේ නැහැ. හැඳල, වත්තල, පී්‍රතිපුර වෙරළ පමණක් නොවෙයි ලංකාවේ හැම වෙරළ තීරයක්ම මේ විදිහට අපිරිසුදු වෙලයි තියෙන්නේ.

වෙරළට ගිහිල්ලා රැල්ල පාගන්න වගේ හැඟීමක් හිතට ආවොත්….. අපට ආපසු හිතන්න වෙනවා වීදුරු කටු ඇනෙයි, තුවාල වෙයිද වගේ කියලා දෙයක්. මේ ගැටලුවට විසඳුමක් සෙවීම ගැන අපි හතරදෙනා සාකච්ඡා කළා. අපි දන්න පරිසරවේදීන් දැනුවත් කරලා මුහුදු වෙරළ පිරිසුදු කරමු කියන අදහසට අපි පැමිණියා. නමුත් එය ප්‍රායෝගික නැහැ. අද අපි මුහුදු වෙරළ පිරිසුදු කළා කියමු….. ඒත් හෙට….. එවැන්නක් නොවන්න තියෙන ඉඩකඩ වැඩියි.

අප හිටියේ එවැනි සාකච්ඡාවක. කොහොම හරි මූලාරම්භයක් ලබා ගැනීම වැදගත්නේ… මේ නිසා අපි හතරදෙනා දවසක හවස් වරුවේ වෙරළට ගිහින් වෙරළ පිරිසුදු කිරීම ආරම්භ කළා. පුතයි, දුවයි, ප්ලාස්ටික් කොළ කෑලි එකතු කරද්දී මමයි, බිරියයි වීදුරු කටු, යකඩ වගේ දේවල් එකතු කළා. මුල් අවස්ථාවේදී අපි අවට සමාජය අප කරමින් සිටින්නේ කුමක්ද කියන එක දැන සිටියේ නැහැ.

නමුත් ටික දවසකින් එක එක අරමුණු මුල් කරගෙන කිහිපදෙනෙක් ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය එකතු කරන්න ගත්තා. එහෙම එකතු කරන ගැහැනු මනුෂ්‍යයකුගෙන් මම ඇහැව්වා මොකටද මෙහෙම ප්ලාස්ටික් එකතු කරන්නේ කියලා. එයා පිළිතුරු දුන්නේ මේ ප්ලාස්ටික් ළිපේ දාන්න එකතු කරනවා කියලා. ඒ කියන්නේ අර කාන්තාව ප්ලාස්ටික් භාවිත කරලා තියෙන්නේ ළිප ගිනි මෙලවීම සඳහා.

ප්ලාස්ටික් දහනයේදී පිටකරන අහිතකර වායු ගැන එයාට දැනුමක් නැහැ. බොහොම සරලව  එයා හිතන්නේ භූමිතෙල් මිලදී ගන්නවාට වඩා ප්ලාස්ටික් එකතු කිරීම ලාභදායී කියලයි. සමාජයට තේරුම් ගන්න බැරිවුණා ඇයි අපි පවුලක් විදිහට එකතු වෙලා මෙහෙම දෙයක් කරන්නේ කියලා. අවම සමාජය තේරුම් ගත්තේ නැහැ ඒ අයම පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය නේද අපි එකතු කරන්නේ කියලා. අපි දිගටම සති අන්තය වෙන්කළේ වෙරළ පිරිසුදු කරන්න.

කැලණි ගඟ විශේෂයෙන් හැමිල්ටන් ඇළ දිගේ සවස් කාලයේදී විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගලාගෙන ඇවිත් මුහුදට එකතු වෙනවා. වැඩි වශයෙන් ප්ලාස්ටික් බෝතල්, කෑන්, කාපට්, කැඩුණු සෙල්ලම් බඩු වගේ දේවල්. අපි නෙට් එකක් දාලා හැමිල්ටන් ඇළ දිගේ ගලාගෙන එන අපද්‍රව්‍ය එකතු කළා.

කැලණි ගඟ මෝය කටේ සිට පී්‍රතිපුර වෙරළ දක්වා වෙරළ තීරයේ අපද්‍රව්‍යයත් එකතු කළා. මාස දෙකක් වගේ කාලයකදී අපද්‍රව්‍ය කොටස් දහදාහකට වඩා අපට එකතු කරන්න හැකිවුණා.

මුලදී අපට අදහසක් තිබුණේ නැහැ අපි එකතු කරන අපද්‍රව්‍යවලට මොකද කරන්නේ කියලා. අපි පවුලක් විදිහට මහන්සි වෙලා අපද්‍රව්‍ය එකතැනකට එකතු කරනවා. ආයෙමත් බලාගෙන ඉද්දී මුහුදු වෙරළ අපද්‍රව්‍යවලින් පිරී යනවා. නොනවත්වා වැඩ කිරීම තුළ තිබුණේ අපි යම් දෙයක් කළා කියන සතුට විතරයි.

“හැඳල – හදමු” කියන තේමාව යටතේ පිහිටුවා ගත්ත සංගමයක් එක්ක අපි කතා කරලා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහාලිය හැකි කැස්බෑ ආකෘතියක් අපි වෙරළේ ඉදිකළා. සති දෙකක් වගේ කාලයක් තුළදී  මේ ආකෘතිය සොරකම් කර තිබුණා. එතැනදී අපි දෙන්නා තීරණය කළා වෙරළ සුරැකීම කියන එක හුරු කළ යුත්තේ දරුවන්ට කියා.

මොකද මේ පරිසර පද්ධතියේ අනාගත උරුමක්කාරයෝ කුඩා දරුවෝ. කුඩා දරුවන් මුල්කරගෙන පරිසර නියමු වැඩසටහනක් දියත් කළහොත් මෙම තත්ත්වය තව අවුරුදු දහයකින් පසුව හෝ යම් මට්ටමකට පාලනය කරගත හැකි කියලයි අපි විශ්වාස කළේ.

දරුවන්ගේ මනසට මෙය ඒත්තු ගැන්විය හැකි සුදුසුම ක්‍රමය කුමක්ද කියලා අපි දෙවනුව සාකච්ඡා කළා. සිදුවන පරිසර විනාශය ඒ අයුරින්ම දරුවන්ට දැනෙන්න සලස්වන්න සුදුසු නිර්මාණය මොකක්ද කියන තැනට අපි අදහස් එකතු කළා. විශාලත්වය – බර කියන සංකල්පය දරුවන්ට දැනෙන්න තමයි අපි ඇතෙක්ව ඝන අපද්‍රව්‍යවලින් නිර්මාණය කරමු කියන තැනට ආවේ.

අපේ දුවයි, පුතයි ඒ නිර්මාණයට ගොඩක් කැමැති වුණා. අපද්‍රව්‍ය ප්‍රමාණය දරුවන්ගේ ඔළුවට මෙටි්‍රක් ටොන් ගණනින් දැනෙන්නේ නෑ. එයාලට ඒවා වචන පමණයි. ඇතෙක් බරට අපද්‍රව්‍ය කිව්වම එයාලට එය හොඳින් දැනෙනවා. නමුත් යථාර්ථය ඊටත් වඩා බියකරු වුණා. අපි පවුලක් විදිහට මාස දෙකක් මහන්සි වෙලා එකතු කරපු අපද්‍රව්‍ය තොගයෙන් ඒ වගේ ඇත් රූප දහයකට වඩා නිර්මාණය කරන්න හැකියාව තිබුණා.

මිනිසුන් මුහුදට මුදාහරින අපද්‍රව්‍යවල ප්‍රමාණය බොහොම සරලව ළමා මනසට හඳුන්වා දෙන්න ලැබුණා කියලා අප විශ්වාස කරනවා. අපද්‍රව්‍යවලින් නිර්මාණය කළ ඇත් රුව මුහුදු වෙරළේ ස්ථානගත කළාම මිනිස්සු හුරුවුණා යම් අපද්‍රව්‍යයක් දැක්කොත් ඒ අපද්‍රව්‍ය ඇතාගේ මතුපිට සවිකරන්න. ඇත් රුවේ මූලික සැකැස්ම සැකැසුවේ අපේ නිවෙසේදී. ඊට පසුව නැමියාවක් ඇති අපද්‍රව්‍ය කොටස් ඇතාගේ ශරීරයට අදාළ වන තැන්වල ස්ථාන ගත කළා. එය බොහෝම ඉවසිල්ලෙන් කළ යුතු කාර්යයක්.

අපද්‍රව්‍ය කොච්චර තිබුණත් ඇතාගේ ශරීරයේ අදාළ ස්ථානයට ගැළපෙන අපද්‍රව්‍ය කොටස සොයාගත නොහැකි අවස්ථාත් පැන නැඟුණා. මෙය ඉවසිල්ලෙන් නිරතවිය යුතු කලාවක්. “එකලස් කිරීමේ කලාව” ඒක තමයි මේ කලාව හඳුන්වන නම. සාමාන්‍යයෙන් මම මේ කලාවට බොහෝ සෙයින් ප්‍රියයි. යකඩ, පිත්තල, තඹ තමයි මම මේ කලාවේ කලා අමුද්‍රව්‍ය ලෙස භාවිත කළේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකලස් කිරීම පහසු කටයුත්තක් කියලයි මම හිතුවේ.

ඒත් ඇත්තටම එය අසීරුයි. ප්ලාස්ටික් දහනය කිරීම පහසු වුණත් එය අනතුරුදායකයි. ඒ නිසා මම පසුව තීරණය කළා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොටස් එකිනෙකට යාවෙන පරිදි අලවන්න. එකලස් කිරීමේ කලාව තුළින් මම  අපේ රට ලෝකයට හඳුන්වා දුන්නා. එංගලන්තය, චීනය වගේ රටවල මගේ නිර්මාණ රැසක් ස්ථාන ගත කර තිබෙනවා.

චීනයේ චෙන්ඩු නගරයේ එකලස් කිරීමේ කලා මාධ්‍ය භාවිත කරමින් මම අශ්ව රුවක් නිර්මාණය කළා. සේද මාවත දිගේ ජනප්‍රවාදය තමයි මම එතැනදී අශ්වයා ඇසුරින් ප්‍රතිනිර්මාණය කළේ.

නගර අලංකරණ ශිල්පීන්ගේ සමුළුවක් එම නගරයේ පැවැත්වූ අවස්ථාවකදී තමයි මට ඒ නිර්මාණය කරන්න අවස්ථාව උදාවුණේ. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ඔපෙරා නයිපත්‍යාගාරය ආසන්නයේ මම නිර්මාණය කරපු නිල් තල්මස් අනුරුවක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. යුරෝපයේ ඉපැරැණි නගර නිර්මාණ සම්ප්‍රදාය තුළින් තමයි මේ කලාව පැන නැඟුණේ.”

ලලිත් සේනානායක ඔහුගේ කලාව තුළ සැබැවින්ම ප්‍රවීණයෙකි. ඒ නිරන්තර සතත අභ්‍යාසයන් නිසාමය. ඔහු අතට පත්වන ඕනෑම අපද්‍රව්‍ය කොටසක් දෙස කලාත්මක ඇසින් බැලීමේ හුරුවක් ඔහු නැවත සමාජයට මුදාහරිනු ලබයි. එය කෙතරම් සහනශීලීද? එය කෙතරම් පරිසර හිතකාමීද? ලලිත් සේනානායක වැන්නෙක් නිර්මාණය වීම සඳහා පස් ගෝ රස සැපයූවෝ කවුරුන්ද?

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් ශා. ජෝශප් විද්‍යාලයෙන්. තාත්තා වෘත්තියෙන් කාර්මික ශිල්පියෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. හැඳල මුහුදුබඩ ප්‍රදේශයේ තමයි මම හැදුණෙ වැඩුණේ. පුංචි කාලෙ ඉඳලම මම මුහුදට ආදරය කළා. 70 දශකයේ උපන් අය විදිහට අපි පරිසරය විඳින්න හුරුවුණා කීමයි නිවැරැදි. අප කුඩා අවධියේදී හැඳල තිබුණේ බොහොම ලස්සන පරිසර පද්ධතියක්.

එදා පරිසරය සමඟ අද පරිසරය සංසන්දනය කිරීමේදී මට දැනෙන්නේ විශාල වේදනාවක්. පරිසරය සමඟ කලාව ගළප්පවා ගැනීමේ වුවමනාවක් මට පාසල් කාලයේ සිටම පැවැතුණා.

විශේෂයෙන් ජයන්ත නානායක්කාර ගුරුවරයා ඒ සඳහා මාව දිරිමත් කළා. මම පුංචි කාලේ ඉඳලා මට උගන්වන ගුරුවරුන්ගේ රූප කාටූන් මඟින් ප්‍රතිනිර්මාණය කරන්නට හුරුවෙලයි හිටියේ. එවැනි කාටුන් එකක් දැක්ක ජයන්ත ගුරුතුමා පාසලේ පාසල් පුවත්පතක් ආරම්භ කරලා එහි කාටූන් ඇඳීම මට භාර කළා.

ජායි ඇන්ටනී ගුරුතුමා මාව පාරම්පරික චිත්‍ර කලාව පිළිබඳව පාඨමාලාවකට ඇතුළත් කළා. ඒ පාඨමාලාව මෙහෙයවූයේ එස්.පී. චාල්ස් ගුරුතුමා. ලක්‍ෂ්මන් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම යටතේ මම පාසල් අධ්‍යාපනයෙන් පසුව උපාලි පුවත්පත් සමාගමට එක්වුණා. විජේසෝම මහත්මයා, ශාන්ත කේ.

හේරත් මහත්මයා, ජනක රත්නායක මහත්තයා වගේ දෑවැන්තයන් යටතේ මම කාටූන් ශිල්පය විෂයයක් ලෙස හැදෑරුවා. පසුව රිවිර පුවත්පතේ නිර්මාණ කතුවරයා වුණා. ආචාර්ය සරත් චන්ද්‍රජීව මහතා යටතේ මම මූර්ති කලාවත් හැදෑරුවා. මේ සියල්ලේම එකතුව මත තමයි මම අද පැසසුම් ලබන නිර්මාණ කටයුත්තක නිරත වන්නේ. ඒ පිළිබඳව මට ඇත්තේ නිරාමිස සතුටක්. මා පමණක් නොවෙයි. මගේ පුංචි පවුලේ අෑයෝ හැම දෙනාම ඉන් සැබෑ සතුටක් භුක්ති විඳිනවා.”

කතාව පින්තූර: ප්‍රභාත් අත්තනායක