දෑස අන්ධ වීරකෝන් තමාට මාසිකව ලැබෙන ජීවනාධාරයෙන් කොටසක් පින් කැටයකට දෑමීමට පුරුදුව සිටියේය. කලකදී ඒ මුදලින් අඩි දහයාමාරක් උසැති හිටි පිළිමයක් සාදවා ගමේ විහාරයට පූජා කළේය. මේ විහාරය තඹුත්තේගම යටිගල්ඔළුව විහාරස්ථානයයි.

මේ දිග හැරෙන්නේ දෑස් පෙනෙන මිනිසුන්ට පින් රැස්කර ගැනීම සඳහා ඒ බුදු පිළිමය පූජා කළ දෑස නොපෙනෙන වීරකෝන්ලාගේ කතාවයි.

වීරකෝන්ගේ තාත්තා හැඳින්වුණේ ගල්ලෙනේ පියදාස නමිනි. ඒ නම ඔහුට පටබැඳී තිබුණේ ඔහු ගල්ලෙනක් තුළ විසූ නිසාය. පියදාසගේ බිරිය වූයේ සෝමාවතීය.

වීරකෝන් ඉපදුණේ සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් පවුලක හතරවැනියා හැටියටය.

වීරකෝන්ගේ අක්කා අමරාවතීය. ඇය ඉපදුණේ අන්ධවය. ඇයට ඇස් නොපෙනෙන බව දත් මාපියෝ හඬා වැටුණාහ. පවුලේ හතරවැනියා ලෙස උපන් වීරකෝන්ගේද ඇස් නොපෙනෙන බව දැනගත්දා මවුපියෝ මහපොළොවේ හැපෙමින් හඬා වැලපුණාහ. වීරකෝන්ට පසුව ඉපදුණු මානෙල්ගේද ඉන් පසුව ඉපදුණු නංගිගේද ඇස් නොපෙනිණි. මාපියන් ඒ දුක වාවා ගත්තේ ඒ වනවිටත් තමන් ඇස් නොපෙනෙන දරුවන් තිදෙනකු වෙනුවෙන් හඬා වැලපී තවදුරටත් හඬා වැලපෙන්නට කඳුළු නොවූ බැවිනි.

එහෙත් වීරකෝන්ලාගේ අම්මාත් තාත්තාත් දෑස් නොපෙනෙන සිය දරුපැටවුන් සිවුදෙනාගේ දෑස් පෙනේවායි දෙවියන්, බුදුන් වැන්දාහ. බෝධි පූජා කළහ. භාරහාර වූහ.

කිසිවකු හමුවේ හිස පාත් නොකළ ඕනෑම සද්දන්තයකු හමුවේ කිවයුතුදේ මුහුණටම කියන ජාතියේ මිනිසකු වූ පියදාසගේ ජීවන මාර්ගය වූයේ ගොවිතැනය. වී ගොවිතැන් කළ ඔහු අල බතල හිටවූයේය. තේ රබර් වැව්වේය. කිතුල් මල් කපා පැණි උණු කළේය.

ගල්ලෙන තුළ කාලයක් ජීවත් වූ පියදාසට ලොකු හිතේ අමාරුවක් වූයේ ගැහැනු දරුවන් ගල්ලෙන තුළ ජීවත් කරවීමට සිදුවීමය. ඒ නිසා ඔහු සිය බිරියට හා දූලාට ජීවත් වීමට සිය ගල්ලෙනට පහළින් කුඩාවට ගෙයක් හදා දුන්නේය.

බළන්ගොඩ මානව වංශයට උරුමය කියන මානවයන් ජීවත් වී ඇති බව කියැවෙන මේ විශාල ගල්ලෙන දැකුම්කලු කාමර කිහිපයකින් යුතු ඓතිහාසික එකක් බව කියැවේ.

බොහෝවිට පියදාසගේ රා ලබු කැටය හෝ රා කළගෙඩිය පැසුණේ මෙම ගල්ලෙන ඇතුළේය. ඒ අතර එහි පසෙක හිස් නොවූ දඩමස් හැළියක්ද වූ බව පැරැන්නෝ කියති.

ඇස් නොපෙනුණත් මේ කිරි සප්පයන්ව තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ආරක්ෂා කරනවා. පියදාස නිතරම කීවේය.

ඒ දරුවන්ට එක වේලක් හෝ කන්නට දුන්නේය. ඒ වේලට අල, බතල, කැකුළු බත් සමඟ දඩ මස්ද එක් විය.

ඔහු කොස්, කැලෑ දෙල්, බෙරලියා හාල්වලින් සැකසූ ආහාර රස කැවිලිද වරින් වර දරුවන්ට කැව්වේය.

යන්තමින් කරදඬු උස් වෙද්දී වීරකෝන්ගේ අක්කලාත්, මල්ලිත් ආවාහ විවාහ වී වෙන්වූහ. ඉතිරි වූයේ වීරකෝන් පමණි.

තනිව ජීවත් වූ වීරකෝන් බණදහමට වඩාත් නැඹුරු වූයේය. දිනපතාම ගුවන්විදුලි ධර්ම දේශනා ශ්‍රවණය කළේය.

වීරකෝන් 1990 සිට 2010 දක්වා ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වූ ධර්ම දේශනා 20,000කට අධිකවද ශ්‍රවණය කර ඇත.

මේ වනවිට ඔහු ආහාර පානාදිය සොයා දුෂ්කර ක්‍රියාවක යෙදෙනවාට වඩා සවන් දී උගත් බුද්ධ ධර්මය වඩ වඩාත් ප්‍රායෝගිකව අත්හදා බැලීමට හුරු වී ඇත.

දෑස් නොපෙනුණත් ධර්ම මාර්ගයෙන් ජීවිතයට අලෝකයක් ලබාගත හැකි බවද සිතුවේය.

මේ අතර වීරකෝන් ප්‍රදේශයේ වන්දනාකරුවන් සොයා ගොස් වන්දනා ගමන් සඳහා සහභාගි වීමට තම සිත තුළ ඇති ආශාව හෙළි කළේය. ඔහුට අනුකම්පා කළ කල්‍යාණ මිත්‍රයෝ සිය වන්දනා නඩයට ඔහු සහභාගි කර ගත්තේය.

වීරකෝන් වන්දනා ගමන් යෑමට මුදල් සොයා ගත්තේ කුලී වැඩ කරමිනි. ඔහු රබර් ඉඩම්වල වල් නෙළුවේය. කටු පඳුරු, ගල් මුල් ඉවත්කර දුන්නේය.

ඔහු ශ්‍රමය වංචා කිරීම මහා භයානකම පාප කර්මයක් බව ඇදහුවේය. දෑස් ඇති මිනිසුන්ටත් වඩා ඉතා විශිෂ්ට අන්දමින් මහපොළොව හා හැපෙමින්ද  අව්වට වැස්සට ගොදුරු වෙමින් සිටි කාර්යය හරියට කළ බැවින් ඔහුට දිගින් දිගටම කුලී වැඩ ලැබිණි.

ඔහු එසේ ලැබුණ මුදලින්ද කොටසක් වන්දනා ගමන් සඳහා ඉතිරි කර ගත්තේය.

ඔහු සොළොස්මස්ථානය, නාගදීපය, කැලණිය, බෙල්ලන්විල, ශ්‍රී පාදස්ථානය සමාධි ප්‍රතිමාව වැඳපුදා ගත්තේය. සමූහ වන්දනා ගමන්වලට වඩා තනිවම වන්දනා ගමන් යෑම සුදුසු බව ඔහු පසු කාලයේදී අවබෝධ කර ගත්තේය.

මේ වනවිට වීරකෝන් සිය සොයුරිය කැටුව වන්දනා ගමන් කිහිපයක්ම ගොස් ඇත. ශ්‍රී පාදස්ථානය වැඳීම සඳහා රත්නපුර හා නල්ලතන්නි මාර්ග ඔස්සේ 17 වරක් ගොස් තිබේ.

සිය ආච්චිලා, සීයලා අවුරුදු ගණනාවකට පෙරදී ගේ‍ෙදාර ඉඩම් ඥාතීන් වෙත භාර දී ශ්‍රී පාදස්ථානය වන්දනා කළ කතා පුවත් අසා ඇති වීරකෝන් එම සිද්ධීන් භක්තියෙන් යුතුව සිහිපත් කරයි.

සීත ගඟුªලේ සීතල, ශ්‍රී පාද පද්මයේ ආනුභාවය සොළොස් මහේ පහනේ තෙල් පහනට දැමූ හැටි ළදරුවකුසේ සිහිපත් කරන වීරකෝන් “මේ කොරෝනා වසංගතය තිබුණේ නැතිනම් මම මේ අවුරුද්දේ මේ කාලය වනවිටදී ශ්‍රී පාද පත්මය වැඳලා” යැයි ද කීවේය.

වීරකෝන්ට හා පුරා කියා සිය පින්පඩිය අතට ලැබුණේ 2003 අවුරුද්දේය. එහිදී ඔහුට මාස 03ක මුදල් එකවර ලැබිණි. ඒ මාසයකට රුපියල් 3,000 බැගින් රුපියල් 9,000ක්.

එදින වීරකෝන් එම මුදල්වලින් කොටස් හතරක් දෑස් නොපෙනෙන සොයුරියන් හට බෙදුවේය. මවුපියන්ට හා මියගිය ඥාති සමූහයාට පින් අනුමෝදනා කිරීමට අටපිරිකර පිරිනමා සාංඝික දානයක් දීමට තවත් කොටසක් පින්කැටයක තැන්පත් කළේය.

කාලයකදී එම පින් කැටය පිරී ගියේය. තවත් පින් කැටයකට මුදල් දැම්මේය. පින්කැට හතර පහක්ම මුදලින් පිරී ගියේය. ඔහු සාංඝික දානය පිළියෙල කොට මහත් ගෞරවයෙන් සඟ සතුකොට ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේට පූජා කළේය.

වර්ෂ 2018දී මාසිකව ලැබුණු පින්පඩියට රුපියල් දෙදහසක් වැඩි විය. එය මසකට රුපියල් පන්දහසකි.

මම කුලියට වැඩකර හොයා ගත්තු මුදල්වලිනුයි පින් පඩියේ මුදල්වලිනුයි රුපියල් ලක්ෂ දෙකක් එකතු කරගෙන තිබුණා.

අපේ විහාරාධිකාරි තඹුත්තේගම සීලවිමල පොඩි හාමුදුරුවන් හමුවෙලා ඒ මුදල්වලින් ගමේ ඇස් පෙනෙන අයට දිවා රාත්‍රි පින් රැස්වන පින්කමක් කිරීම අභිප්‍රාය බව කියා සිටියා. වීරකෝන් පුණ්‍ය සිතිවිලි අවදි කළේය.

වීරකෝන් උපාසකට ධර්මානුශාසනා කරන සීලවිමල හිමියෝ අපට මෙසේ කීහ.

“දෑස නොපෙනෙන වීරේ මාමාගේ උතුම් ප්‍රාර්ථනාව වුණේ මතු ආත්මවලදී අන්ධ භාවයෙන් අත්මිදී සංසාර සාගරය ජය ගැනීමයි.

ඔහු මේ බුද්ධ ප්‍රතිමාවට මුදලින් රුපියල් ලක්ෂ දෙකක් වැය කළා.

මම මේ මුදල් අනවශ්‍ය භෞතික සම්පත්වලට වැය කළේ නැහැ. දිවා රාත්‍රි වීරකෝන්ට හා වීරකෝන්ගේ මවුපියන්ට පින්වැඩෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම වීම සිදු කරන්නට අපි තීරණය කළා.

රුපියල් ලක්ෂ 20කට අධික මේ බුද්ධ ප්‍රතිමාව නිමා කිරීමට වැය වූ මුදල පමණක් පියවාගෙන ප්‍රතිමාව ලබාදීමට ප්‍රතිමා ශිල්පියා එකඟ වුණා.

බුද්ධ ප්‍රතිමා රාජයාණන්ගේ නේත්‍ර නිරාවරණය කිරීමේ මහා පින්කම ඉකුත් ජනවාරි පළමුවැනි දින සිදුවිය. බෙලිගල් කෝරලයේ ප්‍රධාන සංඝනායක පුරාවිද්‍යා උපදේශක යටිගල් ඔළුවේ විමලරතන හිමියන් වළකඩ ශ්‍රී  සම්බුද්ධත්ව ජයන්ති විහාරයේද නායක හාමුදුරුවෝය.

යටගල්ඔළුවේ විමලරතන හිමියන් සමඟ දෑස් අන්ධ වීරකෝන් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ දෑස් නිරාවරණය කළ අසිරිමත් අවස්ථාවට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතාද සහභාගි විය.

මේ අතර වීරකෝන් තම ආදරණීය පියාණන් සමඟ කාලයක් ගත කළ ගල්ලෙන් ගුහාව නුදුරු අනාගතයේදී බෞද්ධ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි විහාරස්ථ දායක සභාව පවසයි.

 

ජයසේන ‍ෙදාඩම්ගොඩ