නිවැරදි මාත්‍රාවට ධමිමික පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට (42), ඔහුගේ බිරිඳ සහ අට හැවිරිදි සිවි නිවුන් දරුවන්ට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා පවසයි.

අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු පසුගිය 11 වන දා කෑගල්ල මහ රෝහලේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒ අතරින් 4 දෙනෙකු කොරෝනා අසාදිතයින් බවට හදුනාගෙන ඇත.

පසුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මගින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු නොවූ අනෙක් දෙදෙනා පසුව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර තිබේ. එහිදී ඔවුන් දෙදෙනා ද කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, කොරෝනාවෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන පවුල් 40ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කළ පිරිස අතර, කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා, ග්‍රාම නිලධාරීවරයා සහ කෘෂි පර්යේෂණ නිලධාරීවරයා ඇතුළු පිරිසක් සිටින බව ද බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා සඳහන් කළේ ය.

ගයාන් රාජපක්ෂ – පින්නවල