පෙම් සබ¼දතාවක් මල්ඵල ගැන්වී පොල්පිතිගම ගාමිණී කොටුගොඩ සමුද්‍රා හා යුග දිවියට පිවිසිදා දෙපාර්ශ්වයේ ඥාතීන් ආශීර්වාද කරද්දී මනාලයා මනාලියට ළංවී මෙසේ කීවේය.

“ඔයාව කසාද බැන්දට මං කවදහරි ඔයාව දාලා ගිහිං මහණ වෙනවා!” එය යස අපූරු විහිළුවකැයි සිතූ මනාලියද එබඳුම විහිළුවකින් උත්තර දුන්නාය.

“එදාට මාත් ඔයත් එක්ක එනවා!” දැන් ඒ විහිළුව ඇත්ත වී තිබේ. අවුරුදු දහසයකට පසු ගාමිණීත් සමුද්‍රාත් පමණක් නොව ඔවුන්ගේ දුවත් පුතාත් යන සිවු දෙනාම ආරණ්‍යගත වී සිටිති.

ආරණ්‍යගත වුණු ගාමිණීගෙත් සමුද්‍රාගෙත් වයස 38කි. දියණිය කවිශ්කාගේ වයස 16කි. පුතු සදීප 13 හැවිරිදිය.

මේ දරු පවුල ආරණ්‍යගත වීමට යන බව ආරංචි වූ මොහොතේ අපි පොල්පිතිගම, නාගොල්ලේ ඔවුන්ගේ නිවෙසට ගියෙමු. ඒ වන විටත් ඔවුහු නිෂ්ක්‍රමණයට සූදානමින් සිටියහ.

එහිදී  අප දැනගත් තොරතුරු මෙසේය.

ගාමිණීගේ පියා එස්.ඒ. ජයසිංහය. ඔහුගේ උපන් ගම දකුණු කළුතරය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය සඳහා පොල්පිතිගමට පැමිණි අතරවාරයේ ඔහු පොල්පිතිගම, ගල්ටැංවැව එච්.එම්. දයාවතීගේ අත ගත්තේය.

ඔවුනට දූරු හය දෙනෙක් පුත්තු පස් දෙනෙක් වූහ. ගාමිණී උපන්නේ පවුලේ අටවැන්නා ලෙසය. කුඩා කාලයේ සිටම දැහැමි දිවිපෙවෙතක් ගත කළ ඔහු ගල්ටැංවැව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ ජේ‍යෂ්ඨ අංශය සඳහා පොල්පිතිගම, පෙතියාල පිරිවෙනට ඇතුළු විය. එහිදී අ.පො.ස. සා.පෙළ මෙන්ම උසස් පෙළද සමත් වූ ඔහු ඒ අතරවාරයේ එහි දහම් පාසලටද සහභාගි විය. ඔහු දහම් පාසල් ධර්මාචාරි අවසන් විභාගයද සමත් විය.

තරුණ වියේ සිටම ව්‍යාපාරික කටයුතුවල යෙදුණු ඔහු නිවෙසේ සිට කිලෝමීටර් හතරක් දුරින් පිහිටි කිරිබමුණේගම ඉඩමක් මිලට ගත්තේය. මේ අතරේ ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි තරුණියක සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේය. ඔහු වැඩිපුරම නැවතී සිටියේ නිවෙසේ නොව පෙතියාල පන්සලේය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ ආශීර්වාදය මැද මංගල්‍යය සිදු කෙරිණි. ඔහුගේ සහකාරිය වූයේ ජා ඇළ, කොටුගොඩ සමුද්‍රා කුමාරි අත්තනායකය.

ගාමිණීත් සමුද්‍රාත් නිවහනක් හදා ගත්හ. ඔවුනට මුලින්ම ලැබුණේ දියණියකි. ඒ කවිශ්කා සංජනීය. දෙවැනුව පුතු සදීප කෞශල්‍ය ධනංජය ලැබිණි. පුතු ඉපදුණේ වෙසක් මාසයේය. පියා ගිහිගෙන් නික්මීම පිළිබඳ සිතන්නට පටන් ගත්තේ මේ රාහුලගේ ඉපදීමෙන් පසුවය.

දියණිය පොල්පිතිගම ප්‍රාථමික පාසලට ඇතුළත් කෙරිණි. ඇය ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වූවාය. දුව ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරවාරයේ ශිෂ්‍යත්වය සමත් වූ පුතුද එහිම ඉංගී්‍රසි මාධ්‍ය අංශයට ඇතුළත් කෙරිණි.

මේ කාලයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරන්නට දෙදෙනාම වෙර දැරූහ. බිරිය පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ වෙළෙඳ කුටියක් මිලදී ගෙන එහි පලතුරු ව්‍යාපාරයක් පටන් ගත් අතර සැමියා කිරිබමුණේගම ප්‍රදේශයේ සිය පොල් වගාව සශි්‍රක කරන්නට වෙහෙසෙන්නේය. අක්කර තුනක පමණ පොල් වගාව අතරේ ඔහු පැපොල් වගාවක්ද කරගෙන ගියේය. ඉඩමේ නළ ළිං දෙකක් ඉදිකළේය.

ඒ නළ ළිං දෙකට අමතරව නළ ළිං දහයක් පමණ ඊට පෙර ඉදිකර තිබුණත් වතුර නැති නිසා ඒවා වසා දමා ඇත්තේ වැය වූ මුදල් ගැන පවා නොසිතාය. ඔහු ඉඟුරු හා කහ වගා මෙන්ම වී වගා කරගෙන ගියේය. දිනපතා වත්තේ වැඩට එන අයට නියමිත වැටුප් ගෙවා ගෙවත්ත සරු කර ගන්නට ඔහු දැඩි වෙහෙසක් ගත්තේය.

බිරිය සමුද්‍රාද වාණිජ හා ගිණුම් අංශයෙන් උසස් පෙළ සමත්ව සිටියාය. ඇයට සරසවියට පිවිසෙන්නට ලකුණු  හතක් මදි වී තිබිණි. රැකියාවකට නොගිය ඇය තම දැනුම දරු දෙදෙනාට ලබා දුන්නේ පලතුරු කඩය කරමින් හා නිවෙසේ වගකීම් මැනවින් ඉටුකරමිනි.

ඒ සියල්ල අතරේ මේ අඹුසැමියෝ දෙපෝයට පන්සල් ගියහ. දරුවන්ද සමඟ පන්සලේ ආගමික උත්සව අවස්ථාවලට සම්බන්ධ වූහ. ඓතිහාසික නාගොල්ල පන්සලේ ප්‍රධාන පෙළේ දායකයන් වූ ඔවුන් පෙතියාගල පිරිවෙන ද අමතක කළේ නැත.

ගාමිණීගේ කලින් සිටි හොඳම යාළුවා පෙතියාල පිරිවෙණේ පොතුවිල විමලඤාණ නමින් පැවිදි වී තිබිණි. මටත් මහණ වෙන්න ආසයි. ගාමිණී ඒ හිමියන්ට නිතර නිතර කීවේය. මේ අතර ගාමිණී පොල්පිතිගම බෞද්ධ විනය වර්ධන සමිතියේ දායකයන් හමුවීමටද මහමෙව්නාවටද ගියේය. දරුවන් සමඟ සිල් සමාදන් වීමටද, නිසොල්මන්ව කාලය ගත කිරීමටද ඔහු කැමැත්ත දැක්වූයේය.

ගාමිණී මේ කාලය තුළ දහම් පොත් රැසක් පරිශීලනය කර තිබිණි. ඒ අතර රේරුකානේ චන්දවිමල, උඩුදුම්බර කාශ්‍යප, කිරුළපන ධම්මවිජය නාඋයනේ අරියධම්ම යන නා හිමිවරුන්ගේ ග්‍රන්ථ ද විය. ඒ අතරේ ඔහු නා උයනේ ආරණ්‍ය සේනාසනයටද ගියේය. ඒ වනගත පරිසරය සන්සුන්ය. ඔහු එහි ගොස් සිල් සමාදන් විය. තමාට පැවිදිවීමට නිසි තැන එතැනට යැයි  සිතා ගත්තේය.

තවදුරටත් ගිහිගෙය ඉවසා සිටිය නොහැකි තැන දිනක් ගාමිණී සමුද්‍රාට මෙසේ කරුණු පැහැදිලි කරන්නට වූයේය.

“දරුවන්ට උගන්නගෙන ඔයා ගෙදර ඉන්න වගාවේ අස්වැන්නෙන් ලක්ෂ 45ක් විතර ආදායමක් එනවා. ඔයාලට වාහනයකුත් තියෙනවා. ගේ ‍ෙදාරත් හොඳට හදලනෙ තියෙන්නේ?” ඉන් එහාට ඔහු ගොළු වූයේය.

“ඉතින් ඔයා මොකක්ද කියන්න හදන්නේ?” සමුද්‍රා ඇසුවාය.

“මට මහණ වෙන්න අවසර දෙන්න!” ඔහු බැගෑපත් වුණේය.

ඇය දුන් පිළිතුරු අපට වෙස්සන්තර රජුගේත්, මන්ද්‍රි දේවියගේත් කතා පුවත සිහි කරවන්නකි.

“එදා අපේ මඟුල්ගේ දවසෙ ඔයා කවදාහරි මාව දාලා මහණවෙන්න යනවා කිව්වා. “මාත් එනවා ඔයත් එක්ක” කියලා විහිළුවට කිව්ව හැටි මට මතකයි. ඔයා මහණ වෙන්න යනවා නං ඇත්තටම ඔයත් එක්ක මාත් එනවා!”

ඒ පිළිතුරු හමුවේ ගාමිණීගේ පෙනුම බැරෑරුම් විය.

“අපේ පවුල්වල අය අපේ දරුවො දෙන්නව බලා ගනීවි. ඒ නිසා අම්මයි, තාත්තයි ඉන්නවනේ. ඒ දෙන්න මුනුබුරාටයි, මිනිබිරියටයි පණ වගේ ආදරෙයිනේ. ඒ ගොල්ලෝ අපි වාගෙම ආදරෙන් දරුවෝ දෙන්නව බලා ගනීවි. ඒ ගොල්ලන්ට දරුවෝ බාර කරලා අපි දෙන්නම මහණෙට යමු.” සමුද්‍රා තිර හ¾ඩින් කීවාය.

කවිශ්කා දියණිය බාල වියේ පසු වුවද ඇය ඒ වන විටත් මාපියන් කියැවූ දහම් පොත් කියවා සසර පිළිබඳ යම් අවබෝධයක් ලැබ සිටියාය. ඒ තබා ඇය තම මල්ලීද සමඟ මාපියන් හා සිල් සමාදන් වීද තිබිණි. ඒ හේතුවෙන් ඇය සිය මාපියන්ගේ නික්මයෑම ගැන හොඳ අවබෝධයකින් පසු වූවාය.

“අම්මේ, තාත්තේ, ඔය දෙන්නත් එක්ක මාත් එනවා. අපි පැවිදි වෙමු. මම, මගේ කියලා කිසි දෙයක් නෑ. එහෙම හිත හිතා හිටියොත් මේ සසරින් මිදෙන්නත් බෑ.” දියණියද තිර හ¾ඩින් කීවාය. ඇයද මාපියන් හා පැවිදි දිවියට එළඹීමේ අදිටනින් පසු වූවාය.

“අනේ ඔයාලා යන තැනකට මාවත් අරං යන්න!” පුංචි පුතුද ගමනට එක පයින් කැමැති වූයේ එහි ඇති බරපතළකම දැන හෝ නොදැනය. එහෙත් පවුලේ වැඩිහිටියෝ ගමනට හරස් වූහ.

“දරුවෝ දෙන්නා තාම පුංචියි. ඒ අය තාම ඉගෙන ගන්නවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු අවසාන වුණාට පස්සේ ඔය දෙන්නා යන තැනකට යන්න!”

ගාමිණීගේ පියා, මව පමණක් නොව කිට්ටු නෑයොත්,ගමේ වැඩිහිටියොත් එක හ¾ඩින් කියා සිටියහ. කවුරුන් මොනවා කීවද යන ගමනට මොන තරම් බාධා ඇති වුණද යා යුතු ගමන යා යුතුය  යන්න මාපිය දෙන්නාත් දරු දෙදෙනාත් තීන්දු කළහ.

නීතිඥයන් මුණ ගැසුණු ගාමිණී සිය නිවෙසත්, බඩු මුට්ටුත්, පොල්, පැපොල්, ඉඟුරු, කහ වගා ඇතුළු ඉඩකඩනුත් ඒ ඒ අයට නීත්‍යනුකූලව පැවැරුවේය. පලතුරු කඩයට අදාළ බදු කලින්ම ප්‍රාදේශීය සභාවට ගෙවා තිබිණි. ඔහු එය සමීප හිතවතකුට භාර කළේය. යතුරුපැදි හා පාපැදි හිතවතුන්ට දුන්නේය. දරුවන් වෙනුවෙන් ලැබීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව මුදල් ලබාගෙන විදුහල්පතිතුමාට භාර කළේ පාසලේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගන්නැයි ඉල්ලමිනි. අවසානයේ ඉබ්බාගමුව පොළට ගිය යුවළ තමන්ටත් දරුවන් දෙදෙනාටත් පැවිදි වීමට වුවමනා සුදු ඇඳුම් මිලදී ගත්හ.

ගිහිගෙයින් නික්මෙන්නට ඔවුන් යොදාගෙන තිබුණේ ඉකුත් ජනවාරි පළමුවැනිදාය.

ඊට පෙරදින සවස් යාමයේ ඔවුන්ගේ නිවෙස ඔවුන්ට  සමුදෙන්නට පැමිණ සිටි ජනී ජනයාගෙන් පිරී තිබිණි.

ජනවාරි පළමුවැනිදා උදෑසන පවුලේ අයට, ගමේ අයට සහ පොදු සමිති සමාගම්වලට සමුදුන් මාපිය පුතු දූ සිවු දෙනා නිවෙසින් බැහැරව කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ අවසන් සීමාවේ පිහිටි නාඋයනේ ආරණ්‍ය සේනාසනය බලා පිටත්වූහ.

පවුලේ ඥාතීන්ද කැටුව එහි ගිය මේ සිවුදෙනා අගුලුගොමුවේ අරියනන්ද හිමියන් බැහැදැක දැහැත් වට්ටියක් පිළිගන්නවා තමන්ට සසුන් ගත වන්නට අවසර ඉල්ලා සිටියහ.

එහිදී දැහැත් වට්ටිය පිළිගත් අගුලුගොමුවේ අරියනන්ද නාහිමියෝ කෙටි අනුශාසනාවක් පවත්වා එකම පවුලක පියා, මව, දියණිය හා පුතකු මෙලෙස සසුන්ගත වන්නට ඇත්තේ පෙර සසරේ එකට පැතූ පැතුමක් නිසා විය හැකි බව පවසමින් එම පැතුම නිවන් පසක් කර ගැනීම උදෙසාම වේවායි ආශීර්වාද කළහ. පැමිණ සිටි ඥාතීන්ගේ මුවින් නැගුණු සාධු නාද නා උයනේ මල් සුවඳට මුසුවූයේය.

ගිහියකු පැවිදි දිවියට පිවිසීමට පෙර බ්‍රහ්මචාරී දිවියකට හුරුවිය යුතුය. ඒ පැවිදි දිවියට ගැළපෙන ඇවැතුම් පැවැතුම් වඩවා ගනු පිණිසයි.

ගිහි ගෙදර එක් නිවහනක් යට විසුවද මේ සිවුදෙනාට දැන් එකම තැනක පැවිදි දිවිය ගෙවීමට නොහැකිය. එහෙයින් මවට හා දියණියට නා උයනෙන් වෙන්ව ධම්මික මෙහෙණි ආරාමය බලා යන්නට කාලය එළඹියේය.

වසර 16කට පෙර අතිනත ගෙන ජීවිතය ඇති තුරා එක්ව සිටින්නට පැතූ බිරිය සිය සැමියාට වැඳ වෙන්ව යන්නට අවසර ගත්තාය. ඒ අනුවම යමින් දියණියද පියාගේ පාමුල දණ තැබුවාය.  පියා ගිහි දිවියේ හැඟුම් පාලනය කරගෙන දරුවාට සමු දුන්නේය.

පුංචි පුතුද මව ඉදිරියේ දණ නමා වැඳ සමුගෙන සොයුරිය ඉදිරියේද දණ නැමුවේය.

අවසානයේ අම්මාත් දියණියත් නාඋයන ආරණ්‍ය සේනාසනයෙන් නික්මුනා. ඔවුන් පියෙන්  පිය අෑතට යන විට පුංචි සදීප ඒ දසුන දෙස බලා සිටියේ තවමත් තමා ළඟ සිටින සිය පියාගේ සුළැඟිල්ලේ දැවටීගෙනය.

සටහන හා ඡායාරූප / පොල්පිතිගම නන්දන කැලේගම