දකුණේ ඉපිද ජීවන මාර්ගයක් සොයා ඇඳුමක් දෙකක් ගෙන කොළඹට ඒමට මඟ වියදම පමණක් හොයාගෙන බස් එකකට නැඟ ආ මිනිසුන් ගැන මෙන්ම ලොරියක එල්ලී කොළඹට ආ මිනිසුන් ගැනද අප අසා ඇත. දකුණින් එසේ ආ බොහෝ මිනිස්සු අද කෝටිපතියෝ වී සිටිති. ඇතැමෙක් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන තීරකයන් බවට පත්වී සිටිති.

ඩී.එස්. චන්ද්‍රසෝම නැත්නම් දේවේන්ද්‍ර ආරච්චිලාගේ චන්ද්‍රසෝමද එවැනි මිනිසෙකි. “අ” යන්නෙන් පටන් ගත් ඔහු අද පර්යේෂණ කරමින් අත්හදා බලමින් ජපන් තාක්ෂණය අබිබවා යන නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් සිටියි.

හොණ්ඩා යතුරුපැදි සඳහා ශ්‍රී  ලංකා සයිලන්සරය නිපදවූයේ ඔහුය. ජපන් සයිලන්සරයේ සහ මෙහි නිමාවේ වෙනසක් නැත. හඬ එක හා සමානය. ඔහුට දැන් මේ නිෂ්පාදනය ලංකාවටම දිය හැකිය. ලංකාවට විදේශ විනිමය ගෙන එන්න රජයට තම හැකියාව ලබා දෙන්නට චන්ද්‍රසෝම සූදානමින් සිටී.

ගාල්ලේ හබරාදූව, තිත්තගල්ලේ ගොවි පවුලක උපන් චන්ද්‍රසෝම කතළුව විදුහලෙන් අධ්‍යාපනය හදාරා යතුරුපැදි කාර්මිකයකු ලෙස පුහුණුව ලද අයෙකි. සහෝදරයන් තුන්දෙනකු සිටි පවුලේ මද්දුමයා වූයේ ඔහුය.

ජපානයෙන් යතුරුපැදි ගෙන්වා බෙදාහරින කුරුණෑගල ප්‍රදේශයේ කීර්තිමත් ආයතනයක්ව පැවැති ධර්මසිරි ඇන්ඩ් සිසිර සමාගමට යතුරුපැදි කාර්මිකයන් ඉල්ලා දැන්වීමක් පළවී තිබිණි.

ඒ දැන්වීම දුටු චන්ද්‍රසෝම දෙවරක් නොසිතා තීරණයකට එළැඹුණේය. නමුත් ඔහු අත තිබුණේ රුපියල් 50ක් පමණි.

ඔහු ඇ¾දුම් කෑලි දෙකකුත් ඔතාගෙන ගාල්ලේ සිට කොළඹ හරහා කුරුණෑගලට පැමිණියේ 1983දීය.

ඔහුගේ දක්ෂතාව ගැන ධර්මසිරි ඇන්ඩ් සිසිර සමාගම පැහැදුණේය. ඉන්පසු ඔහු ජීවිතය අලුතින් පටන් ගත්තේය. ගතවූයේ මාස හයක පමණ කාලයකි. පාලනාධිකාරියේ විශ්වාසය දිනා ගත් චන්ද්‍රසෝම “ෆෝමන්” තනතුරට උසස් කෙරිණි.

දිගටම සමාගමේ ෆෝමන්වරයා ලෙස සේවය කළ ඔහුට 1989දී සමාගමෙන් ජපානයේ රැකියා අවස්ථාවක් සැලසිණි.

චන්ද්‍රසෝමට ජපානයේ දිගටම ඉන්නට හැකියාව තිබිණි. නමුත් කාලයක සිට පැවැති ආශාව මුදුන් පමුණුවා ගන්නට නම් තමා ලංකාවට යා යුතු යැයි ඔහු සිතුවේය. තමන්ගේම කියා ව්‍යාපාරයක් කිරීමට තරුණ විය ඉක්මවා නොසිටි චන්ද්‍රසෝම  සිතුවේය. ජපානයේ වැඩ කළ කාලයේදී ඔහු දැනුම මුවහත් කර ගත්තේය.

දීර්ඝ කාලයක් යතුරුපැදි සමඟ ජීවත් වීම නිසා යම්කිසි නිර්මාණාත්මක සිතුවිල්ලක් ඔහුගේ යටි සිත තුළ තැන්පත් වී තිබිණි. විය යුත්තේ එය නිර්මාණයක් බවට පත්කර ගැනීම පමණි. ඒ සඳහා පසුබිම සහ පරිසරය සැකසෙමින්ද තිබිණි.

චන්ද්‍රසෝම කියන නමට වඩා චන්ද්‍ර‍පාල කියන නම බොහෝ අය අතර ප්‍රසිද්ධ විය. බොහෝ අය ඔහු ආමන්ත්‍රණය කළේ චන්ද්‍රපාල අයියා නමිනි. අදත් එසේමය. ඔහු ජපානයේ ගත කළේ අවුරුද්දකුත් මාස හයක් පමණි.

චන්ද්‍රසෝමගේ විවාහය සිදුවූයේද වයඹින්ය. උහුමීය ප්‍රදේශයේ රම්‍යා කුසුම්ගේ අත ගත් ඔහු කුරුණෑගල – පුත්තලම් පාරේ මාවීදළුපොත පදිංචි වූයේය. දැන් ඔහු දියණිකගේ සහ පුතකුගේ පියෙකි.

චන්ද්‍රසෝම හොණ්ඩා 125 යතුරුපැදියට සයිලන්සරයක් නිර්මාණය කිරීමේ කාර්යය ඇරැඹුවේ 1992දීය. චන්ද්‍රසෝම යතුරුපැදි කාර්මිකයකු වශයෙන් ජීවිතය ඇරඹූදා පටන් නිකල් ප්ලේටින් පිළිබඳ විශේෂ අවධානයකින් පසුවිය. ඔහුගේ යටි සිතේ තැන්පත් වී තිබූ සිහිනයද එයය.

“නිකල් ප්ලේටින් කියන්නේ මෝටර් සයිකලයකට අත්‍යවශ්‍යම දෙයක්. මම ඒ ගැන වෙනම පුහුණුවක් ලැබුවා. රට රටවල ප්‍රදර්ශනවලටත් මම සහභාගි වුණා. හැම තැනකින්ම මට අවශ්‍ය තාක්ෂණය එකතු කර ගෙන එය අත්හදා බැලුවා. මම දැන් මගේම බාත් එකක නිකල් ප්ලේටින් කරනවා.” චන්ද්‍රසෝම එසේ කියන්නේ අභිමානයෙනි.

ඩ්ර්ණීව්ච්ඒ 125 යතුරුපැදි සයිලන්සරය අත්හදා බලමින්, නැවත ගලවමින්, හදමින් වසර ගණනාවක් තිස්සේ අමාරුවෙන් කළ කැපකිරීමේ ප්‍රතිඵලය ඔහු අද සැනසිල්ලෙන් භුක්ති විඳිමින් සිටී. දැන් ඔහු ජපන් යතුරුපැදි සඳහා ජපන් තාක්ෂණයට සමාන සයිලන්සරයක් හැදීමේ විශේෂඥයෙකි.

“දැනුම තිබුණට මට යන්ත්‍ර තිබුණේ නැහැ. එකින් එක ගත්තා. මුලින්ම තැනින් තැන ගිහින් කෑලි කපා ගත්ත. පාස්ස ගන්න තව තැනකට ගියා. මටම කියලා මැෂින් එකක් තිබුණෙ නැහැ. වෙනත් වැඩපොළවල රස්තියාදු වෙන්න සිද්ධ වුණා. හැබැයි මට තරගයක් තිබුණේ නැහැ. මට රජයෙන් සහාය දෙනවා නම් ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම ජපන් යතුරුපැදි අමතර කොටස් දෙන්න පුළුවන්.

මම ඊළඟට යතුරුපැදියට මඩ්ගාර්ඩ් දෙකයි, ෂොක් ඇබ් ෂෝබර්වල කොටසුයි හදනවා. ඊළඟට පවර් ස්ටියරින් වීල් එකත් හදනවා. ජපානයෙන් ගෙන්වන අවුරුදු 25 විතර පරණ එකක් රුපියල් 35,000ක් විතර වෙනවා. අලුත්ම එකක් ඒ වගේ දෙගුණයක් විතර වෙනවා. මට පවර් ස්ටියරින් එකක් රුපියල් 5,500කට දෙන්න පුළුවන්, අවුරුදු 2ක වගකීමකුත් එක්ක. මේ අමතර කොටස් පිටරටින් ආනයනය කරන්න එපා. රට ඇතුළේ සල්ලි ඉතුරු කර ගන්න පුළුවන් කියලයි මං බලධාරීන්ට කියන්නේ” යැයි චන්ද්‍රසෝම කියයි.

දැන් කුරුණෑගල “ගෝල්ඩ් එන්ටර්ප්‍රයිසස්”  කීවිට ලංකාවම දනියි. යතුරුපැදි හදන කවුරුත් ඔහුගේ සයිලන්සරය ගැනද දනිති. ඔහු තමන් හැදූ සයිලන්සරය රැගෙන නගර පුරා ඇවිද්දේ ජපන් යතුරුපැදි හදන ගරාජ්වලට එය හඳුන්වා දෙනු පිණිසය. තම නිෂ්පාදනයට ඉහළ පිළිගැනීමක් ලැබුණු බව ඔහු පවසයි.

“නිකල් ප්ලේටින් කියන වචන දෙක අහන්න ලැබෙන්නේ කලාතුරකින්. තිබුණත් නිවැරැදි තාක්ෂණය ඒ තැන්වල නැහැ. ඉස්සර නුවර,  කොළඹ වගේ තැන්වල තිබුණා. නමුත් තාත්තලගෙන් පස්සේ පුතාලා මේවා කරන්න දන්නෙ නැහැ. මට හිතෙන්නේ ජපන් සයිලන්සර් පිළිබඳ ලංකාවේ තියෙන ඉහළම තාක්ෂණික දැනුම මා ළඟ තියෙනවා. මේ තාක්ෂණය ජපානයේ තාක්ෂණයට සමානයි. මම නිකල් ප්ලේටින් ගැන ඉගෙන ගත්තා. අත්දැකීම් ලැබුවා. පර්යේෂණ කළා. මේ සයිලන්සරය ඕනෑම කෙනෙක් අරන් බලන්න. බර, නිමාව සහ හඬ අතින් ජපන් සයිලන්සරයට සමානයි.”

චන්ද්‍රසෝමට තම හැකියාව සහ දක්ෂතා ගැන පෙන්වීමට සහතික, සම්මාන නැත. නමුත් ඔහු නිෂ්පාදනය කළ සයිලන්සරය ලංකාව පුරා ප්‍රසිද්ධය. දැන් ඔහුට ඉල්ලීම සැපිරීමටද නොහැකිය. නිෂ්පාදනය කඩිනම් කිරීමට සුදුසු යන්ත්‍ර සූත්‍රද නැත. කාර්ය මණ්ඩලයක් නැත. ඔහුට දිනකට හදන්න පුළුවන් සයිලන්සර ජෝඩු දහයක් පමණයි. සේවකයන් 25ක් 30ක් සිටී. ඔහුගේ ආයතනය පසුගිය වසර තුනක සිට වසා දමා ඇත. ඉන්දියාවෙන් යතුරුපැදි ගෙන්වීමට පටන් ගත් පසු බොහෝ යතුරුපැදි වෙළෙඳසල්වල සේවකයන්ට අත්වූ ඉරණම එයය. නිකල් ප්ලේටින්, විදුලි කාර්මික, කාර්මික, බැටරි කාර්මික, ටයර් කාර්මික ආදී විවිධ කාර්මිකයන් අවශ්‍ය වූයේ ජපන් යතුරුපැදි අලෙවිසල්වලටය. ඉන්දියන් යතුරුපැදි ලංකාවට ඒමත් සමඟම මේ අයට වැඩ නැති විය. දැන් කිරීමට ඇත්තේ බැටරිය සවි කිරීම පමණය. යතුරුපැදියම ප්ලාස්ටික්ය.

“ජනාධිපතිතුමාගේ උපන් දිනය වෙනුවෙන් කරපු වැඩසටහනක මම දැක්කා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්තුමත් ඉන්නවා. මටත් නැවත වැඩ කරන්න හිතුණා. ජනාධිපතිතුමා නව නිපැයුම් අගය කරන බවත් ඒ සඳහා අතහිත දෙන බවත් දැන ගන්න ලැබුණා. ඒ අනුව මම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමා හමුවුණා.”

ලෝකයේ තියෙන කෘෂිකාර්මික රටවල් පවා කාර්මික අංශයෙන් දියුණුයි. ලංකාවේ එහෙම නැහැ. අපි පිටරටින් ගේන එක නවත්තන්න ඕනෑ. චීන බඩු ලංකාවේ ගොඩගැහිලා. ගෙදරක් ගත්තම උපකරණ විසිපහක් තිහක් තියෙනවා. ජපන් යන්ත්‍ර සූත්‍ර ලංකාවේ කඩවල පාරවල ගොඩගැහිලා. ට්‍රැක්ටරය රටින් ගෙනාවට    කමක් නැහැ. මෙහෙ හදන්න ඕනෑ නගුල.

හොණ්ඩා යතුරුපැදියට ජපන් අමතර කොටස් නැහැ. තිබුණත් මිල අධිකයි. මම හදන සයිලන්සර් එකට අවුරුදු 05ක වගකීම් සහතිකයක් දෙනවා. ඩ්ර්ණීව්ච්ඒ වර්ගයේ ඛ්ච් 125, 185, 200 ඩිලුක්ෂ්,  ට්ව්, ර්ච් 90, ඛ්ච් 90, ඛ්ච් 50, ඛ් 50,  ඛ් 70  ආදී හැම යතුරුපැදියකටම සයිලන්සර් හදනවා. යතුරුපැදි වර්ගය අනුව සයිලන්සරයේ මිල වෙනස් වෙනවා. වැඩිම මිල අවුරුදු පහක වගකීම් සහතිකයත් සමඟ රුපියල් තිස් පන්දහසයි.” ඔහු කියයි.

මේ වනවිට ලංකාව පුරා මේ සයිලන්සරයට හොඳ ඉල්ලුමක් ඇත. ඒ නිසා ඔහු ජපන් යතුරුපැදි සඳහා අමතර කොටස් ගෙන්වීම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටී. ජපන් යතුරුපැදි සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් ලංකාවේ නිෂ්පාදනය කළ හැකිය. ජපානය පමණක් නොව ලෝකයේ ඕනෑම රටකට යවන්න තරම් තාක්ෂණය තමන් සතුව තිබෙන බව චන්ද්‍රසෝම පවසයි. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම නිෂ්පාදන වැඩිදියුණු කිරීමට අදාළ සහයෝගයයි. මේ කර්මාන්තය වැඩිදියුණු කිරීමෙන් රැකියා අවස්ථා 500ක් අලුතින් නිර්මාණය කළ හැකි බවද ඔහු කියයි. ඉදිරියේදී කරන්නට අදහස් කර ඇති නිෂ්පාදන වෙනුවෙන් සහනදායී ක්‍රමයකට ණයක් ලබාගැනීමේ අවශ්‍යතාවද ඔහුට ඇත.

ඒ අනුව තහඩු කපන ලේෂර් යන්ත්‍රයක්, පෑස්සුම් රොබෝ යන්ත්‍රයක්, තහඩු නවන යන්ත්‍රයක් මිලදී ගැනීමට ඔහු අපේක්ෂා කරයි.

රජයකට මෙවැනි ඉල්ලීමක් ඉටු කිරීම එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවන බව අපගේ විශ්වාසයයි. කළ යුත්තේ මෙම නිෂ්පාදනය පිළිබඳ සොයා බලා තීරණයකට පැමිණීමය. ඔහු අපේක්ෂා කරන ණය මුදල හෝ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමය. රටක වාසනාවට බිහිවන මෙවැනි සම්පත් නිවැරැදිව කළමනාකරණය කරගන්න බලධාරීන්ට ප්‍රඥාව පහළ වේවා!

ඩී.ඒ. චන්ද්‍රසෝම මහතාගේ දුරකථන අංක 0766622082 / 0723580505