ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසු බොහෝ දෙනාගේ කතා බහට ලක්වූයේ ආබාධයන් ගැනය. ඉන්පසු මාතෘකාව වූයේ කුසල් මෙන්ඩිස්ය. දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් ඉනිම හතරකදී ඔහු පිටපිටම බින්දු තුනක් ලැබීමත් සමඟ ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි දෙනකු හා සමාජ මාධ්‍ය තුළ කුසල් මෙන්ඩිස් හඳුන්වන ලද්දේ බින්දුසාර ලෙසය. වැඩිපුරම දක්නට ලැබුණේ ඔහු උපහාසයට ලක් කෙරුණු පෝස්ටුය.

මීට පෙරද මෙලෙසම පිට පිට බින්දු ලැබීම නිසා මෙවැනි තත්ත්වයකට ඔහු මුහුණ දුන්නේය. එවර පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ කළේ කුසල් දිගින් දිගටම කණ්ඩායමේ තබා ගැනීමය. සමාජ මාධ්‍ය හා ප්‍රේක්‍ෂකයන්ගෙන් එල්ල වූ අපහාස උපහාර මැද ලකුණු රැස් කරන්නට පිටියට ගිය කුසල් නැවත නැවතත් අසාර්ථක වී ශතකයක් රැස් කළේය.

එදින මාධ්‍ය ඇමතූ කුසල් තමන්ට අපහාස උපහාස කළ වුන්ට පහරදීමට එය අවස්ථාවක් කර ගැනීම නිසා නැවතත් අප්‍රසාදයට පත්විය. මෙය කුසල්ට පමණක් නොව අද කාලයේ බොහෝ ක්‍රීඩකයන්ට නිසි කළමනාකාරිත්වයක් නොමැති බවට හොඳ නිදර්ශනයක් විය.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවකුට සෑම ඉනිමකදීම අර්ධ ශතක හෝ ශතක රැස් කළ නොහැකිය. කලින් තරගයේ ශතකයක් රැස් කර තිබුණත් ඊළඟ තරගයේ මුල් පන්දුවෙන්ම දැවී යා හැකිය. ක්‍රීඩාවේ ස්වභාවය එයයි. එහෙත් දිගින් දිගටම අසාර්ථක වන්නේ නම් සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ එම ක්‍රීඩකයා තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් කොට වෙනත් අයකුට එම ස්ථානය ලබාදී අදාළ ක්‍රීඩකයා අසාර්ථකත්වයට හේතු වූ දෙය හදා ගන්නට අවස්ථාවක් ලබාදීමය. යම්කිසි අන්දමකට මානසික පසුබෑමකට ගොදුරු වී ඇත්නම් ඔහු ඒ සඳහා මානසික විශේෂඥයකුගෙන් උපදෙස් ලබා සුළු කලක විවේකයක් ලබා ගනී. තාක්‍ෂණයේ දුර්වල කමක් ඇත්නම් ඒ පිළිබඳ විශේෂඥ පුහුණුකරුවකු සමඟ කටයුතු කර දේශීය තරගවලට සහභාගි වී තම විශ්වසනීයත්වය ගොඩනඟා ගත යුතුය.

කුසල් මෙන්ඩිස් දැන් නැවතත් පත්ව ඇත්තේ මුලින් මුහුණ දුන් තත්ත්වයටමය. දැන් කුසල් කණ්ඩායමෙන් ඉවත් කර වෙනත් අයකුට අවස්ථාව නොදෙන්නේ ඇයි දැයි සමහරු අසති. තව සමහරුන් කියන්නේ ඔහු වැනි කුසලතා පූර්ණ පිතිකරුවකු තාවකාලික පසුබෑමකට ලක්ව ඇති බැවින් ඔහුගේ විශ්වසනීයත්වය ගොඩනැඟෙනතුරු අවස්ථාව දිය යුතු බවයි. එම තර්ක දෙකේම සත්‍යයක් ඇත.

කුසල්ව තවදුරටත් ක්‍රීඩා කිරීමෙන් ඔහුගේ ස්ථානයට දෙවැන්නකු නිර්මාණය නොවන බවද කිව යුතුය. ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ එංගලන්තයේ පරිදි අපේ ක්‍රිකට්වල ජේ‍යෂ්ඨයන් සඳහා ආදේශකයන් පෙළ ගස්වා නොමැත. එය ක්‍රිකට් පරිපාලකයන්ගේ හා තේරීම් කමිටුවේ බරපතළ වැරැද්දකි. අන්තර් ක්‍රීඩා සමාජ තරගවල මට්ටම අද පහත වැටී ඇති පසුබිමක ප්‍රමුඛ පෙළ ලකුණු රැස් කළ පමණින් ක්‍රීඩකයකු එක්වරම ජාත්‍යන්තර ක්‍රිකට් මට්ටමට ගත නොහැකිය. එය යම්තම් ගොඩ පිහිනමින් සිටින්නකු රැගෙන ගොස් ගැඹුරු මුහුදට දැමීමක් වැනිය.

මේ අතර අපේ ක්‍රීඩකයන් ඔවුන්ගේ පෞරුෂත්ව වර්ධනයට වඩා පෞරුෂය බිඳ දමා ගැනීමට වඩා සමතුන් වේ. සමාජ මාධ්‍ය පරිශීලනයේදීද මේ බොහෝ දෙනකු කටයුතු කරන්නේ වෘත්තීයමය ආකාරයට නොවේ. එක් එක් ක්‍රීඩකයා උලුප්පාලීමට හිතවතුන් ලවා පේජයන් හදා ගැනීමෙන් මෙය සිදු නොවන බව බොහෝ දෙනා නොදනිති.

සංගක්කාර හා මහේලගේ නික්මයෑමෙන් පසු ශ්‍රී ලංකාව සොයා ගත් දක්‍ෂතම තරුණ පිතිකරු කුසල් මෙන්ඩිස් බවට තර්කයක් නොමැත. 2015 දී විසි හැවිරිදි ගැටවරයකු ලෙස ටෙස්ට් වරම් ලැබූ කුසල් දැන් 25 හැවිරිදිය. මේ දක්වා ටෙස්ට් තරග 46කදී ලකුණු 3007ක් රැස් කර ඇත. සාමාන්‍යය 35.37කි. ශතක 7ක්ද අර්ධ ශතක 11ක්ද රැස් කර ඇති කුසල් ඒ අතර වාරයේ ඉනිම 10ක් ලකුණු නොලබාම දැවී ගොස් ඇත. පන්දුවට පහරදීමේ දළ වේගයද ඉහළ මට්ටමක රඳවාගෙන සිටින කුසල් මේ අතරවාරයේ හතරේ පහර 371ක්ද හයේ පහරවල් 28ක්ද රැස් කර තිබීම විශේෂත්වයකි. මෙම වසර 5 තුළ කුසල් එක්දින තරග 76කට හා විස්සයි 20 තරග 26කට සහභාගි වී තිබේ.

මේ තොරතුරු හා දත්ත මත කුසල් යනු එක්වරම බැහැර කළ හැකි ක්‍රීඩකයකු නොවේ. අද ෆේස් බුකිය පුරාම ක්‍රිකට් විශ්ලේෂකයන්, පුහුණුකරුවන්, විශේෂඥයන් එමටය. මේ ඇතැමුන් ජීවිතයටම ලෙදර් පන්දුවක් හෝ අල්ලා නැති අයවලුන්ය. ඔවුන්ට අවශ්‍ය පරිදි රොබෝවරුන්ටවත් ක්‍රීඩා කළ නොහැකිය. එනිසා කුසල් වැනි ක්‍රීඩකයන් කළ යුත්තේ ෆේස් බුකියේ ක්‍රිකට ඔස්තාර්ලාට නිහඬවම පිත්තෙන් පිළිතුරු දීමය. මේ සඳහා ඉවසීමක් හා බුද්ධිමත් බවක් ලබාගත යුත්තේ නිසි කළමනාකාරිත්වයකිනි.

ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩකයන් නිසි පරිදි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් හෝ අනාගතය සඳහා ක්‍රීඩකයන් පෙළ ගැස්වීමේ වැඩපිළිවෙළක් නැත. අද කණ්ඩායමේ සිටින ක්‍රීඩකයෙක් හදිසියේ ආබාධයකට ගොදුරු වුවහොත් හෝ අසාර්ථක වුවහොත් ආදේශකයන් සූදානම් කොට නැත.

මෙම තත්ත්වය නිසා කණ්ඩායමේ සිටින ජේ‍යෂ්ඨයන්ද කණ්ඩායම තුළ හැකි තරම් කාලයක් රැඳී සිටීමට කටයුතු කරනු ලබයි.

කලකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පවත්වා ගෙනගිය මැක්ස් ඇකඩමියද අද නැත. “ඒ” කණ්ඩායමට හෝ ඇකඩමි පිලකට එසේත් නැතහොත් 19න් පහළ කණ්ඩායමකට ඉදිරියේ සංචාරයක්වත් නොමැත. දේශීය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියද ඇනහිට තිබේ. LPL තරගාවලියක් ගැසූ පමණින් ටෙස්ට් ක්‍රීඩකයන් බිහි වන්නේ නැත.

බින්දු ගැසූ පමණින් කුසල් වැනි ක්‍රීඩකයකු එකවරම කණ්ඩායමෙන් ඉවතට දැමීමටද නොහැකිය. එහෙත් ඔහු වැනි ක්‍රීඩකයන්ට තාවකාලික  විවේකයක් ලබාදී නැවත කණ්ඩායමට ගෙන ඒමේ නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇත. ඒ අතර තවත් කුසල්ලා සොයා ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළ යුතුය. මෙතරම් ලකුණු සංඛ්‍යාවක්, මෙතරම් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර වසර 5ක ජාත්‍යන්තර අත්දැකීම් ලබා තවමත් 25 හැවිරිදි වියේ පසුවන කුසල් වැනි පිතිකරුවකු පාන්දර ජාමයේ පාරේ මිනිසුන් යට කර දමන මට්ටමින් මුදා ගැනීමෙන් තවත් වසර 10කට මහේල වැනි ක්‍රීඩකයකු බිහි කරගත හැකිය.

සහන් රවිඳු