අවුරුද්දකුත් ගෙවිලා ඉවරයි ආණ්ඩුව ගැන තෘප්තිමත් ද?

අපිට වගේම මුළු ලෝකෙටම බලාපොරොත්තු නොවුණු ආකාරයේ වසංගතයකට මුහුණ දෙන්න සිදුවුණා. රටක් වශයෙන් එවැනි ගෝලීය ආපදාවකට මුහුණ දුන්න ආකාරය ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. මෙවැනි තත්ත්වයකදී රටක ආර්ථිකය කඩාවැටීමත් සාමාන්‍යයෙන් සිදුවෙනවා. නමුත් එවැනි තත්ත්වයකට පත් නොවී රට ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙනුත් අපිට සතුටු වෙන්න පුළුවන්.

ඵරඵබඥථ ජඩචදඨඥ එකක් බලාපොරොත්තුවෙන් ජනතාව ආණ්ඩුව බලයට ගෙනාවේ. නමුත් ඒ වෙනස සිදුවෙලා නැහැ කියලා ඔවුන් අද කියනවා?

මේක සමස්තයම කියන කතාවක් කියලා නම් මම පිළිගන්නේ නැහැ. බොහොමයක් සමාජ මාධ්‍ය තුළ තමයි එවැනි මතයක් ගොඩනඟන්න හදන්නේ. අද සමාජ මාධ්‍ය හසුරුවන්න පුළුවන් මුදල් මත. ඡන්දය දුන්න ජනතාව කලකිරිලා කියන මතය ගොඩනැඟෙන්නෙත් එහෙමයි. ඡන්දය දුන්න ජනතාව කලකිරිලද නැද්ද බලන්න ඔහොම බැහැ. ඒකට තියෙන හොඳම මිනුම් දණ්ඩ තමයි මැතිවරණ. එහෙම නැතිව කාටවත් කියන්න බෑ පැතූ වෙනස සිදුවුණේ නෑ කියලා.

ඔබ කියන්නේ විපක්ෂය සැලසුම් සහගතව මේ මත සමාජගත කරනවා කියලාද?

විපක්ෂය හදන එව්වා තමයි බොහොමයක්ම තිබෙන්නේ. නමුත් අපිට වැඩ කරපු, අපි එක්ක හිටපු සමහර අය ගත්තොත් අපිට ඒ හැමෝගෙම බලාපොරොත්තු 100ම ඉෂ්ට කරන්නත් බෑනේ.

යම් යම් තැන්වල එහෙම අඩුපාඩුකම් පේනවා. සමහර අයට තනතුරක් නොලැබුණාමත් ප්‍රශ්න, තව අයට වෙනත් ජාතික ප්‍රශ්න, තවත් අයට තව වෙන වෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනා කියලා හිතලා කරන ඒවා නෙවෙයි. ගෙවල් ඇතුළෙත් නෝනලා මහත්තුරු රණ්ඩු වෙන්නේ. හැබැයි රණ්ඩු වුණා කියලා හැමෝම දික්කසාද වෙන්නේ නෑනේ. අපි අවශ්‍ය තැනදි සාමූහිකව කටයුතු කරනවා.

ශ්‍රී .ල.නි.ප.යේ අය කතා කරන විධිය බැලුවම නම් එහෙම සාමූහිකව වැඩ කරන බවක් නම් පේන්න නෑ. ඔවුන් කියන්නේ පො.ජ.පෙ. අය කෙනෙහිලිකම් කරනවා කියලයි?

එහෙම කෙනෙහිලිකම් කිරීමක් නම් නැහැ. සන්ධානයක් ඇතුළෙනේ අපි කටයුතු කරන්නේ. එතකොට ඒකෙ ප්‍රධාන පාර්ශ්වකරුවෝ වෙන්නේ අපි. ශ්‍රී ල.නි.ප.ය ඉල්ලපු නාම යෝජනා අපි දුන්නනේ. ඒ අයගෙන් මන්ත්‍රිවරු යම් ප්‍රමාණයකුත් තේරීපත් වුණා.

ඔවුන්ගෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉල්ලපු අය පරාදයි. බොහොමයක් දිස්ත්‍රික්කවල තුනක් ඉල්ලුවම එකක් වගේ තමා දිනුවේ. ඉතින් ඔවුන්ට මන්ත්‍රිකම් නොලැබුණේ අපේ වරදින් නෙවෙයිනේ. එයාලා අපි එක්ක සන්ධානගත වීම තුළ හොඳ මන්ත්‍රි ආසන ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයෙත් දෙන්නෙක් ඉන්නවා. රාජ්‍ය ඇමැතිවරුත් ඉන්නවා. ආසනවල සම්බන්ධීකරණ තනතුරුත් දී තිබෙනවා. ඉතින් මීටත් වඩා තව මොනවාද?

ඔවුන් ආණ්ඩුව ඇතුළේ ඉඳලා ඩබල් ගේම් එකක් ප්ලේ කරනවා කියලා පො.ජ.පෙ. සමහරු කියනවා?

එහෙම එකට ඉඳලා ගේම් එකක් හෝ කුමන්ත්‍රණයක් කරනවා නම් ඉතින් ඒක හරිම වැරදියි. හැබැයි දැන් ශ්‍රී ල.පො.ජ.පෙ.ත් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. කුමන හෝ කුමන්ත්‍රණයක් වෙනවා නම් ඒකටත් අපි මුහුණ දෙන්න දන්නවා. මර්දනය වෙච්ච විපක්ෂයක වසර 5ක් වැඩ කරලා අපි දැන් හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ.

ඔවුන් ප්‍රසිද්ධියේ විවිධ ප්‍රකාශ, විවේචන කරනවිට ඔවුන් සමඟ සන්ධානගතවීමට ගත්තු තීන්දුව ගැන පසුතැවීමක් ඇති වෙනවාද?

මෙහෙමයි දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නෑ සතුරොත් නැහැනේ. අපි බොහොම පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යනවිට අපි සමඟ අත්වැල් බැඳගන්න කැමැති අයට අපි ආරාධනා කළා. ඉතින් ඔවුන් අපි සමඟ එකතු වුණා. අපි දන්නවා ඒ ගමන යන්න ප්‍රශ්නයක් තිබෙනවා නම් සාකච්ඡා කරලා විසඳගන්න අපි සූදානම්.

මේ වෙද්දී ශ්‍රී ල.නි.ප.යට ස.ජ.බ. ආරාධනාවකුත් තියෙනවා නේද? එහෙම එක්වීමක් වුණොත් ඉදිරිය ප්‍රශ්නකාරී වෙයි නේද?

ශ්‍රී ලනිපය එක වතාවක් වරද්දගත්තු පක්ෂයක්. ප්‍රභල පක්ෂයක ඡන්ද පදනම අඩු වෙන්න ඒ වැරදි තීරණය හේතු වුණා. ඔවුන් දන්නවා ඒ තීරණය නිසා මොනවද වුණේ කියලා. ගමේ කතාවක් තියෙනවා ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කියලා. ඉතින් ඒ වරද ආයෙ පාරක් කළොත් පක්ෂයට මොකක්ද වෙන්නෙ කියන එක ඔවුන් දන්නවා ඇතිනේ.

ඇමැතිවරයෙක් විධිහට ගෙවුණු කාලය ඇතුළත හොඳට වැඩ කළා කියලා හිතනවාද?

2020 වසරේ සැප්තැම්බර් 12 තමයි අපි දිවුරුම් දුන්නේ. තවම මාස තුනක් වගේ තමයි ගෙවුණේ්. නමුත් ඒ කෙටි කාලය තුළ ඉලක්ක හදලා ලොකු ප්‍රගතියක් පෙන්නුම් කළා. ඒ වගේම පසුගිය වසර 5 සිදුවුණු වැරදි නිවැරදි කරන මාවතකට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි හදලා තිබෙනවා. ඒ ගත්තු ඉලක්ක අරමුණු ජයග්‍රහණ බවට අපි පත්කරනවා. ඒක අනිවාර්යයෙන්.

ඔබ ඔහොම කිව්වට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නම් කියන්නේ ගතවුණු අවුරුද්දේ වැඩක් කළේ ඔහුයි, ජනාධිපතිවරයයි, හමුදාපතියි විතරයි කියලයි?

මම නම් දැක්කේ නෑ එහෙම කියනවා. ඇමැතිවරු පත්වෙලා මාස තුන හතරනේ. ඔය කියන කාලේ ඇමැතිවරු හිටියේ නෑනේ. පරිවාස කාලයක් තිබුණනේ. ජනාධිපතිතුමා සිටියා. කොවිඩ් එකත් සමඟ එයට මුහුණ දීමට හමුදාපතිගෙ සහාය අවශ්‍ය වුණා. ඒ නිසා ඒ අය එක්ක වැඩ කළා. එහෙම නැතිව ඇමැතිවරුන්ව තළා පෙළා ඔවුන්ට අසාධාරණයක් කරන්න නෙමෙයි ඔහු එහෙම කියන්න ඇත්තේ.

අමාත්‍යාංශ සේරම අඩපණ වෙලා කියලා වෙනම අතිරේක ලේකම් සංවර්ධන වරයෙක් පත් කරන්න යන කතාවකුත් කියනවා නේද?

එහෙම පත්කිරීමක් නම් කරලා නෑ. වෘත්තීය සමිතිවලට වෘත්තීය සමිති නියෝජනය කරන සහකාර ලේකම්වරයෙක් නම් පත්කරලා තියෙනවා. එච්චර තමයි.

ආණ්ඩුව බලයට ගේන්න විශාල උදේ‍යාගයකින් වැඩ කරපු ස්වාමීන් වහන්සේලාටත් දැන් ආණ්ඩුව එපා වෙලා කියලා සමහරු කියනවා?

අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තමයි අපේ පළමු කඳවුර හදන්න උදවු කළේ. ඒකේ කිසිම විවාදයක් නෑ. මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේව මම ගිය සතියෙත් බැහැදැක්කා. උන්වහන්සේ බොහොම පැහැදිලිව අපි සමඟ ඉන්නවා. යම් යම් තැන්වල යම් යම් සිදුවීම් දැක්කට පස්සේ ඒවා ගැන උන්වහන්සේලා කියනවා. ඒව කියන්නේ ආණ්ඩුව ගෙදර යවන චේතනාවෙන් නෙවෙයි.

හාමුදුරුවෝ මටම කිව්ව කතාවක් මම දැන් කියන්නම්. උන්වහන්සේ කිව්වා, අපි මේ පොඩි වරදක් දැකලා ගල් ගහනකොට සමහරු හිතනවා අපි මේ වෙන අයට අඹ අහුලගන්න ගල් ගහනවා කියලා. උන්වහන්සේලා වෙන අයට අඹ අහුලන්න ගල් ගැහුවේ නෑ කිව්වා. අනික මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් විවේචනවලට ඉඩක් තිබීමම සුවිශේෂීයිනේ. යහපාලන කාලේ මොකද වුණේ. 67 නමක් අරගෙන ගිහින් හිරගෙවල්වල දැම්මා. පාරවල් ගාණේ සිවුරෙන් ඇදන් ගියේ ඔය යහපාලන උන්නැහේලා. අපි මේ රටේ ගරුතර සංඝරත්නයට ඇහුම්කන් දෙනවා. ඒක අපි අනිවාර්යයෙන් කරනවා.

දිස්ත්‍රික්කයේ වැඩ කටයුතුවලට යනකොට මිනිස්සු චෝදනා කරන්නෙ නැද්ද ජීවත් වෙන්න අමාරුය. බඩු මිල ඉහළයි කියලා?

බඩු මිල වැඩියි කියන එක මම පිළිගන්නවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනනේ. හැමදේටම මේ කොවිඩ් එක බලපාලා තියෙන්නෙ. අපි ඒකත් තේරුම් ගන්න ඕනා. දේශීය නිෂ්පාදන සහ අන් සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නෙ බාධා මැද. මොන බාධා මැද්දෙ වුවත් රාජ්‍ය යාන්ත්‍රණය දුවවන්න වෙනවා. අපි ඉදිරියේදි බලනවා මේ බඩු මිල, විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ස්ථාවර මිලකට ලබා දෙන්න.

බඩු මිල ඉහළ යනවා කියලා පාලන මිලක් දැම්මට ඒ මිලට බඩු ගන්න නැහැ නේද ඇමැතිතුමා?

ඒක තමයි ස්ථාවර මිලක් හදනවාත් සමඟම අපි දැනගන්න ඕනා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් සමහර අයට නොයෙකුත් සිදුරුවලින් රිංගන්න පුළුවන් කියලත්. එහෙම වුණාම ඒකෙ බලපෑම තියෙන්නෙ රටේ ජනතාවට. රජය බදු සහනයක් දෙනවා නම් ඒ බදු සහනය නිසියාකාරව ලැබෙන්න ඕනා ජනතාවට. ගම්වල ජනතාව සමඟ සාකච්ඡා කරලා ඒ අයට අත්‍යවශ්‍යම භාණ්ඩ මොනාද කියලා.

තෝරගෙන ඒවාට ස්ථාවර මිලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් ඉන්නවා.

ගැසට් ගැහුවත් මොනවා කළත් වෙළෙඳ ඒකාධිකාරයට පිළියමක් යොදන්නෙ නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ නේද?

පැහැදිලිවම. අපිට සතොස සහ ලක් සතොස සමුපකාර ටික ඉස්සර තිබුණා. මේවා අපිට අහිමි කළා. ඒ අහිමි කිරීමේ ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. මේවා රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රශ්නවලට මූණපාන්න වෙන්නෙ නැහැ. කළුකඩ මුදලාලිට අතමිට සරුවෙන යුගයක් හදලා දුන්නෙ අපි නෙවෙයි. ඒගොල්ලො. දැන් අපි මේ උත්සාහ ගනිමින් ඉන්නේ මේ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක කිරීමට.

මේ සම්බන්ධයෙන් බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමා නම් කියන්නෙ වෙන කතාවක් නේද? ඇතැම් නිලධාරීන් නිසත් මේ දේවල් හරියට කරන්න බැහැ කියලයි ඔහු පැවැසුවේ?

මොකක් හෝ සිදුවීමක් වෙලා තිබෙනවා නම් ඒ ගැන කතා කිරීම සාධාරණයි. නමුත් ඒක සමස්තය විධියට ගන්න බැහැ.

නමුත් පාර්ලිමේන්තුව තුළයි ඒ ප්‍රකාශය කරන්නේ?

ඔව් ඇත්ත. නමුත් මේක සමස්තයටම අදාළ කරන්න බෑනේ. හැම රාජ්‍ය ආයතනයකම ඉන්න නිලධාරීන් එහෙමයි කියලා කියන එක සාධාරණ නැහැනේ. හොඳ අය අතර වැරැදි තීන්දු ගන්න නිලධාරීන් ඉන්න පුළුවන්. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විස¼දාගන්න පුළුවන්. ඇමැතිවරු විධියට අපිට යම් බලතල ටිකක් තිබෙනවානේ. ජනතාව වෙනුවෙන් අපිට ඒ බලතල භාවිත කරන්න පුළුවන්.

ඔහු කියන ආකාරයට ඔබත් පුලන්නෙක්ද?

රෝහිත අබේගුණවර්ධන නම් රජෙක් වගේ ඉන්නවා.

මුකුත් ප්‍රශ්නයක් නැහැ.

සීනි සම්බන්ධයෙන් පැනවූ බදු මිල කිහිපවතාවක්ම සංශෝධනය කිරීම තුළ එක්තරා වෙළෙඳ සමාගමක් අධික ලාභයක් උපයා ගත් බවටත් ආණ්ඩුවට විශාල පාඩුවක් සිදුවූ බවටත් ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා?

වරදක් වෙලා තිබෙනවා නම් වරද නිවැරදි වෙන්න ඕනා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි වරදක් වුණා කියලා ඔප්පු කරන්න වෙනවා.

ඔප්පු කරන්න සාක්ෂි තියෙන බව පවසමින් තමයි ජවිපෙ සී.අයි.ඩී.ය වෙත ගියේ?

සීනි ගැන කතා කරන්න ගිය ඔය උන්නැහේලා ටික පසුගිය කාලෙ කරපුවා අපි දැක්කනේ. වරදක් වුණා නම් ඒක නිවැරැදි කරන්න ඕනා. ඒත් මේ කවුද සී.අයි.ඩී. එකට පැමිණිලි කරන්නෙ. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු අය තමයි මේ දඟලන්නේ. එහෙම උන්නැහේලා තමයි දැන් මේ සීනිවලට කූඹි වහලද හොයන්න යන්නෙ. මෙතැන වරදක් වෙලා තිබෙනවා නම් කරුණාකරලා සාක්ෂි සහිතව පෙන්නන්න. අරහේ මෙහෙ වුණා කිය කිය ඉන්නෙ නැතිව. මේක නිකන් අර ළිඳ ළඟ ගෑනු කතා කරනවා වගේනේ. එහෙම නැතිව හරියට ඔප්පු කරලා පෙන්නුවොත් අපි බලන්නම් කොහෙද වරද වෙලා තියෙන්නෙ කියලා.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙනුත් ආණ්ඩුව ඇතුළෙම මත දෙකක් පළමුවන බව පේන. ඔබේ ස්ථාවරය කුමක්ද?

පළාත් සභා අහෝසි කරනවාද කියන එක කාටවත් තනිව තීරණය කරන්න බැහැ. ඒක ජනතාවගෙනුත් අහලා නව ව්‍යවස්ථාවටත් යෝජනාවක් විධියට දාලයි බලන්න වෙන්නෙ.

නමුත් මේ පළාත් සභාවේ නැත්තෙ කවුද? ඇත්තටම මහජන නියෝජිතයෝ විතරයි නැත්තෙ. මහජන නියෝජිතයෝ නැතිව අනෙක් සේරම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තිබෙනවා. සාමාන්‍යයෙන් ගමක ජීවත් වෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්නයකදී ඇහුන්කම් දෙන්නෙ ගමේ ඉන්න මහජන නියෝජිතයෝ. නමුත් මහජන නියෝජිතයෝ නැතිව අද පළාත් සභා ක්‍රියාත්මක වෙනවා.

මෙතැනදී මගේ තර්කය මේකයි. මේක යහපාලන ආණ්ඩුව රටට අහිමි කරපු මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය අයිතියක්. ඒ අයිතිය නැති කරන්න ඔවුන් 2017 සැප්තැම්බර් 22දා රෑ 10 වෙනකන් ඔවුන් මොනවාද කළේ කියන්න රටම දන්නවා. ඒකෙ ප්‍රතිඵල තමයි මේ. දැන් බස් එක යනවා ඩ්‍රයිවර් නැහැ. ඒ නිසා මම කියන්නෙ මේ ගැන කල්පනා කරලා තීන්දු ගත යුතු දෙයක්.

දැන් ඔබ ඉන්නෙ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කළ යුතුයි කියලාද?

මේ වෙලාවේ මේ වසංගත තත්ත්වයත් එක්ක ඒක පවත්වන්න වෙලාවක් නැහැ සහ පවත්වන්න ඉඩ දෙන එකකුත් නැහැ. මම කියන්නෙ ඇයි මේ යාන්ත්‍රණය ගැන කතා කරන්න බැරි කියලයි. මේ යාන්ත්‍රණය තිබෙන්නේ මහජන නියෝජිතයෝ නැතිව. ඒක අසාධාරණයි කියලයි මම කියන්නෙ.

ආණ්ඩුව එක්‍ක‍ ගිවිසුම අස්සන් කළේ නෑනේ?

නැහැ.

මේක අස්සන් නොකළාට ඇමෙරිකාවට අවශ්‍ය පරිදි අත යටින් දේවල් සිදුවෙනවා කියලත් චෝදනාවක් නැඟෙනවා?

සම්පූර්ණයෙන් පදනම් විරහිත චෝදනාවක්.

ඉඩම් ආඥා පනතට සංශෝධන එක් කරන්න හදන්නෙ, ඉඩම්වල තොරතුරු අරන් දත්ත බැංකුවක් හදන්නෙ ඒකට දකුණු කොරියාවෙන් ණය ගන්න හදන්නේ, මේ සැලසුමේම කොටසක් විධියටයි කියලයි චෝදනා එල්ල වෙන්නෙ?

ඔය චෝදනා කරන අය හිතන් ඉන්නෙ ආණ්ඩුවක් කරනවා කියන්නෙ හැංගිමුත්තන් කරනවා වගේ වැඩක් කියලා. අපි බොහොම පැහැදිලිව කිව්වා ඒ ගිවිසුම අස්සන් කරන්නෙ නෑ කියලා. ඒක අස්සන් කරන්නෙ නැතිව ඒකෙ තියෙන අර කෑල්ලයි මේ කෑල්ලයි මෙහෙ ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවක් නැහැ. අපි නැහැයි කියන එක නැහැයි කියලාම කියනවා. අපි දන්නවා මේක අපේ රටට ගැළපෙන්නෙ නැහැ කියලා. ඒ නිසා තමයි පැහැදිලිව මේක වෙන්නෙ නැහැ කියලා රටට කිව්වේ.

ඇමැතිතුමාගෙ වරාය අමාත්‍යාංශයේත් හරි ප්‍රශ්න නේද?

ගැටලු නම් තියෙනවා. ඒවා විසඳගෙන රටේ ආර්ථිකයට ශක්තියක් වෙන එක තමා අරමුණ.

මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් ඕනෑ. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට විකුණනවාද? නැද්ද?

මම පිළිතුරක් දෙන්නම්. හැබැයි මට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මෙහෙමයි අපි අපේ රටේ සම්පතක් කිසිම කෙනෙක්ට දෙන්නෙ නැහැ. රටේ සම්පතක් වෙනුවෙන් ආයෝජකයෝ ඇවිත් ආයෝජනය කරලා ඒ ලබන ලාභයත් එක්ක පුළුවන් යමක් හම්බ කරලා ඒකෙන් යමක් ඉටු කරගන්න.

ආයෝජනය කිරීමට දෙනවා කියන්නෙ මේක ඔවුන්ට පවරනවා කියන එක නෙවෙයිද?

විකුණනවා කියන්නෙ එකක්. බදු දෙනවා කියන්නෙ තව එකක්. ආයෝජනය කරනවා කියන්නෙ තවත් එකක්. මේ තුන තුනක්. ණය ගන්නවා කියන්නෙ තව වෙනමම එකක්. පහුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දුන්නා. අපිට ලැබෙන්නෙ හම්බන්තොට වරායෙන් මුළු අවුරුද්දටම ඩොලර් ලක්ෂයයි. වෙන කිසි දෙයක් නෑ.

හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලෙ අපි වරායත් හැදුවා දිය කඩනයත් හැදුවා. මේකෙ පර්යන්තයට අපි වියදම් කළේ නැහැ. සී.අයි.සී. සමාගම තමයි ඩොලර් මිලියන 500ක් වියදම් කළේ. අපි රුපියලක් වියදම් කළේ නැහැ. ඒකෙන් අපිට ඩොලර් මිලියන 10%ට ආසන්න මුදලක් වාර්ෂිකව ඉපැයුවා. සාධාරණයිනේ. අයිතිය අවුරුදු 35 නැවත අපිට ලැබෙනවා.

ණය අරගෙන මේක හදන්න කියලා නේද බොහෝ දෙනෙක් ඔබට යෝජනා කරන්නෙ?

ඔව්. කට්ටිය කියන්නෙ ණය අරන් කරන්න කියලානෙ. මම මගේ රටේ අනාගත පරපුර             ණයකාරයෝ කරන්න සූදානම් නැහැ. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයා 1988දී කොළඹ වරාය හදන්න ජපානෙන් ණයක් ගත්තා යෙන්වලින්. එදා යෙන් එක ශත 16යි. අද 1.87 යි. ණය ගෙවලා අවසන් වෙන්නෙ 2044.

ඒ කාලෙ වෙද්දි ඒ ණය වෙලා ගත්තු කේ්‍රන් ටික, ග්රැන්ටි ටික දිරලා යකඩවලට විකුණලාත් ඉවරයි. මෙන්න ඇත්ත තත්ත්වෙ. ඒ නිසා මම පැහැදිලිව කියනවා අපේ රජය ණය ගන්නෙ නැහැ. කිසිම කෙනෙක්ට රටේ වත්කම අයිතිය බදු දෙන්නෙ නැහැ. හැබැයි ආයෝජකයෙක්ට එන්න පුළුවන්. ඇවිත් වියදම් කරලා එයාට පුළුවන් ඒ ලාබෙන් කොටසක් අපිටත් දීලා එයාටත් කොටසක් ගන්න. සාධාරණයිනේ.

නැඟෙනහිර පර්යන්තයේ ග්රැන්ටි ‍ෙදාඹකර ටික හදලා රට ඇතුළෙම ලාභ ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?

මම කැමතියි ‘මව්බිම’ පත්තරෙන් මාත් එක්ක මේ විෂය ගැන විතරක්ම ඉන්ටර්වීව් එකක් කරනවා නම්. එහෙම නම් මට මේක සවිස්තරාත්මකව ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙන්න පුළුවන්. මේ වරාය  2005ට පෙර තිබුණේ කොහොමද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලේ මේක දියුණු කළේ කොහොමද? වරාය ක්‍ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් සියල්ලම අපි ගත්තා. මේ වරායේ නැඟෙනහිර පර්යන්තය කියන එක සම්පූර්ණයෙන් හදලා ඉවර එකක් නෙවෙයි. මේකෙ දිග මීටර් 1320ක් තවම මීටර් 420යි  හදලා ඉවර කරලා තිබෙන්නෙ. මේකට අවශ්‍ය එක ‍ෙදාඹකරයක්වත් නැහැ. අපි කලින් මේකට ‍ෙදාඹකර තුනක් ඕඩර් කරාම පහුගිය රජය ඒවා අවලංගු කළා.

අවුරුදු 5ක් තිස්සෙ මේකෙන් සත පහක් හම්බ කළේ නැහැ. මම පත්වෙලා ආවට පස්සෙ තමයි වෙන තැනකට ගෙනාපු ‍ෙදාඹකර තුනකින් මේ වෙද්දි මෙහෙයුමක් ආරම්භ කළේ. තව ඩොලර් මිලියන 600 ක් ඕනා මේ පර්යන්තයේ වැඩ අවසන් කිරීමට. හරියටම තව මාස 24 න් මේක අවසන් නොවුණොත් අපි එක්ක ඉන්න නැව් සමාගම් අපිට අහිමි වෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. මේ නැව් සමාගම් ටික රැකගන්න නම් ආයෝජකයෙක් ගෙනත් ඩොලර් මිලියන 600ක් වියදම් කරලා මාස 24න් හදලා ඉවර කරන්න වෙනවා.

නැඟෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. එවැනි ගැඹුරු තටාකාංගවලට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නෙ. එසේ තිබියදී මේක වෙන රටක ආයෝජකයෙක්ට ලබාදීම තුළ අපිට වෙන්නෙ අවාසියක් සහ අහිමිවීමක් නෙවෙයිද?

මම කැමැතියි එහෙම පාඩුවක් වෙනවා කියලා කියන ඕනෑම කෙනෙක් එක්ක, ඕනෑම ආර්ථික විශේෂඥයෙක් එක්ක මේ ගැන මුහුණට මුහුණ සාකච්ඡා කරන්න. මම ඒ අයට පෙන්වන්න ලෑස්තියි ඉතිහාසයේ වුණු දේවලුයි, වෙච්ච පාඩුවයි, දැන් වෙන දේවලුයි. සාක්ෂි සාධක සහිතව, ගණන් මිනුම් ඇතිව මම පෙන්වන්න ලෑස්තියි සේරම.

මම මේක පාර්ලිමේන්තුව ඇතුළෙත් කරලා පෙන්වනවා. හම්බන්තොට වරාය විකුණනකන් ඔය කෑගහන ජ.වි.පෙ. දන්නෙත් නෑ. එයාලා එතකොට යහපාලන ආණ්ඩුව අස්සෙනෙ හිටියේ. දැන් බබාලා වුණාට. එයාලටත් හොරෙන්නෙ ඒවා වුණේ. හැබැයි අපි එහෙම නැහැ. අපි කරන හැම වැඩක් ගැනම පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයත්, රටත්, ජනතාවත් දැනුවත් කරනවා.

කොවිඩ් දෙවැනි රැල්ල පාලනයේදී ආණ්ඩුව ඇත්තටම අසමත්ද?

අපිට කොවිඩ් එකත් එක්ක තව ටික කාලයක් ජීවත් වෙන්න වෙනවානෙ. ඒකනේ ඇත්ත. හැබැයි ඇත්ත ටිකක් තිත්තයි. විපක්ෂය කියනවා රට වහන්නලු. සංචාරකයෝ ගෙන්නන්න එපාලු. එයාලා ඒවා කියන්නෙ මේ රටට, ජනතාවට ආදරේටද? නැහැ. ඔවුන්ට ඕනා රට වැහුවම ආර්ථිකය කඩා වැටෙනවා දකින්න. එතකොට මිනිස්සු පාරට බහිනවා. පාරට බහිනකොට විපක්ෂයට හරි චූන්. එයාලා මේ හදන්නේ කොරෝනා උඩින් වේදිකාවක් හදාගන්න. ඒකට අපි ඉඩක් දෙන්නෙ නෑ.

අපි ලෝකයේ අනික් රටවලටත් වඩා එහාට ගිහින් බලනවා කොහොමද මේකත් එක්ක ජීවත් වෙන්නෙ, කොහොමද රට කරන්නෙ කියන එක ගැන. මේක ගැන ලංකාව දිහාම බලාගෙන හොයන්නෙ නැතිව ලෝකයේ අනික් රටවල් දිහාත් බලන්න. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න. ලෝකයේ බලවත් ඇමෙරිකාව දිහාත් බලන්න. මෙයාලට ඕන වෙලා තිබුණෙ රට වහගන්න. අපි ඒක නොකරපු නිසා තමයි මෙයාලා මේ කෑගහන්නෙ.

සංචාරක නියමු ව්‍යාපෘතියත් ආණ්ඩුව කියන තරම් සාර්ථක නෑ වගේ නේද. මේකෙන් වෙන්නෙ යුක්රේනය හරහා නව ප්‍රභේදය මෙහෙට කැඳවා ගැනීමක් කියලයි බොහෝ දෙනෙක් මත පළකරන්නෙ?

සංචාරක කර්මාන්තයත් එක්ක මේ රටේ ජීවිත ගණනාවක්ම ගැට ගැහිලා තිබෙනවා. සෘජු සහ වක්‍ර රැකියා රාශියක් මේකත් එක්ක ගැට ගැහිලා තියෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක ඒ හැමෝගේම ආර්ථිකය කඩාගෙන වැටිලා. එදා වේල හොයාගන්න යන එන මං නැති වුණු මිනිස්සු රාශියක් ඉන්නවා. මේ නිසා තමයි අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. හැබැයි මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක්.

ඒ කියන්නෙ අඩුපාඩු හදාගෙන අත්හදා බැලීම් කරගෙන යන වැඩක්. මේක කරන්නෙ අඩුපාඩු සහ අසාර්ථක තැන් හොයාගන්න. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්දේසියක් තිබෙනවා.  ඒ තමයි අපෙන් ඔවුන්ට කොවිඩ් බෝවෙන්නත් බෑ ඔවුන්ගෙන් අපිට කොවිඩ් බෝවෙන්නත් බෑ කියන එක. සංචාරකයෝ ගුවත් තොටුපළෙන් ආව තැන සිට නැවත යන තැන දක්වා සොයා බැලීමක් අපි කරනවා. මේ හැම දේම සිද්ධ වෙන්නෙ බබ්ල් එකක් ඇතුළේ.

අරුණි මල්ලවආරච්චි