ජනපති ධුරයෙන් තමා එළැඹෙන ජනවාරි 20 වැනිදා ඉල්ලා අස්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඊයේ (07 වැනිදා) පස්වරු 2.17ට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරයේ ජනාධිපතිවරණ ප්‍රකාශක ඩෑන් ස්කැවිනෝ (Dan Scavino) ට්‍රම්ප්ගේ ඉවත්වීම නිවේදනය කර තිබේ.

ජනපති ට්‍රම්ප් මෙලෙස සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදී තරගකරුවා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය එරට කොංග්‍රස් මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කිරීමෙන් සුළුවේලාවකට පසුවය. එසේම පෙරදින රාත්‍රියේ (06 වැනිදා) එක්සත් ජනපදයේ අගනුවර වන වොෂිංටන් — ඇති වූ අපකීර්තිමත් කැරැල්ලේදී කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මරණයට පත්වීමෙන් අනතුරුවය.

එක්සත් ජනපද අගනුවර මෙම ගැටුම උද්ගත වූයේ පෙරේදා (6 වැනිදා) පස්වරු 1.00ට පමණය. ඒ වන විට අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ ඇමරිකානු කොංග්‍රස් සභිකයෝ පසුගිය ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විද්‍යාලවල ඡන්ද ප්‍රතිඵල අවසන් වශයෙන් ගණනය කිරීමේ කටයුතුවල නිරතව සිටියහ. එසේම කථානායකවරිය මෙන්ම සෙනෙට් මණ්ඩල සභිකයන් රැසක්ද එහි රැඳී සිටියහ. සිය රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතමින් ඡන්ද ප්‍රතිඵල වංචනික බවත්, කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කරන ලෙසත් කරන ලද ප්‍රකාශත් සමග ආණ්ඩු පිරිස් ගොඩනැගිල්ලට පහර දුන්හ. එහිදී ට්‍රම්ප්ගේ ආධාරකරුවන්​ කැපිටල් ගොඩනැගිල්ල වටකොට ඊට කඩාවැදුණු අතර ඒ වන විට නියෝජ්‍ය ජනපති මයික් පෙන්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ රැසක් ගොඩනැගිල්ලේ රැඳී සිටියහ.

ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශවලට වෙඩි තැබීමට සිදු වූ අතර ඊයේ (07 වැනිදා) පෙරවරුව වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ගැටුමට එක්ව සිටි ට්‍රම්ප් හිතවාදීන් සිව්දෙනකු මරණයට පත්වී තවත් 52 දෙනකු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබිණි. කෙසේ වෙතත් පෙරේදා (6 වැනිදා) පස්වරුවේදී විටින් විට ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සිය ආධාරකරුවන්ට පසුබසින ලෙස ජනාධිපති ට්‍රම්ප් ආයාචනා කර තිබුණද පසුව ඒවායින් ඇතැම් පණිවුඩ මකා දමා තිබිණි.

ගැටුම පාලනය කිරීමෙන් අනතුරුව කොංග්‍රසය විසින් නැවත මැතිවරණ ප්‍රතිඵල ගණනය ආරම්භ කළ අතර ඊයේ (7 වැනිදා) දහවලේදී අවසන් ප්‍රතිඵලය නිවේදනය කරමින් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කළේය. ඒ වන විට වොෂිංටනය මධ්‍යම ජාතික ආරක්ෂක බළකායද කැඳවා තිබිණි. ඊට මඳ වේලාවකට පසු එළැඹෙන ජනවාරි 20 වැනිදා තමා ධුරයෙන් ඉවත්වන බව ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රකාශකයා හරහා නිවේදනය කළේය. බල හුවමාරුව සිදුකිරීමට තමා එකඟවන නමුත් මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව තමා මුළුමනින්ම එකඟ නොවන බවද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ජනපති ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් වොෂිංටනයේ සිදුවූ මෙම අපකීර්තිමත් කැරැල්ල ලෝක නායකයන් රැසක්ම හෙළා දැක තිබේ. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ‘‘නින්දිත දර්ශන හෙළා දකිමි එක්සත් ජනපදය ලොවපුරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අතර සාමකාමී සහ විධිමත් ලෙස බලය පැවරීම අත්‍යවශ්‍ය වේ’’ යනුවෙනි. මීට අමතරව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල්, ස්කොට්ලන්ත අගමැතිනි නිකොලා ස්ටර්වින්, චීන විදේශ කටයුතු අමාත්‍යාංශය, ස්පාඤ්ඤ අගමැති, ප්‍රංශ ජනාධිති, ස්විඩන් අගමැති යන පාර්ශ්ව රැසක් විසින් මම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දැක තිබිණි.