ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය නිවෙස් තුළ සිරවී සිටින දරුවන් සැලකිය යුතු ලෙස කායික හා මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වෙමින් සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතී. විශේෂයෙන්ම දරුවන්ගේ ක්‍රියාශීලීත්වය නතර වීම මෙයට ප්‍රධාන හේතුව බව ඔවුහු පෙන්වා දෙන අතරම ළමා අපචාරයන්ද ඉහළ යමින් පවතින බව හෙළිව තිබේ. දරුවන් අද මුහුණ දෙන මෙම කායික හා මානසික ව්‍යාධීන් ගැන අප රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සමග පැවැත්වූ සංවාදයයි මේ.

කොවිඩ් වසංගතය දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ඇතිකර තියෙන බලපෑම කොයි වගේද?

කොවිඩ් වසංගත තත්ත්වය අපේ දරුවන්ට පමණක් නොවෙයි මුළු ලෝකයේම දරුවන්ට මේ වන විට ඇතිකරලා තියෙන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. දරුවන්ට කායික මෙන්ම මානසික රෝග ගණනාවක්ම වක්‍රව ඇතිකරන්න කොවිඩ් වසංගතය අද හේතුවක් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා ඇතැම් දරුවන් තුළ තිබූ රෝග තත්ත්වයන් උත්සන්න වෙලා තියෙනවා. ඒ වගේමයි නිරෝගි දරුවන්ගෙන් ඇතමෙක් රෝගීන් බවට පත්කරලා තියනවා.

දරුවන් තුළ තිබූ ඇතැම් රෝග උත්සන්න වන්නත් නිරෝගි දරුවන් රෝගීන් බවට පත්වෙන්නත් හේතුව කොරෝනා වයිරසය කියලද ඔබ කියන්නේ?

කොරෝනා වයිරසය දරුවන්ගේ ජීවිතයට සෘජු බලපෑමක් එල්ල නොකළත් වක්‍ර අන්දමින් බලපෑමක් එල්ල කරලා තියෙනවා. මේ වන විට දරුවන්ගේ පාසල් ගමන මුළුමනින්ම නතර වෙලා තියෙනවා. පාසැල් ගමන දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට විශාල පිටිවහලක්. දරුවන් පාසල තුළ විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේමයි හැමෝම බෙදා හදාගෙන තමයි කෑම කෑවේත් සෙල්ලම් කළෙත්. මොනයම් හරි ප්‍රශ්නයක් පැන නැගුණහොත් ඒ ගැන තමන්ගේ හොඳම යාළුවත් එක්ක කතා කරලා විසඳුමක් සොයා ගන්න උත්සහ කළා. අද පාසල් වහලා දරුවන්ට ඒ අත්දැකීම් ලබා ගන්න විදිහක් නැහැ. තමන් වඩාත්ම කැමැති යාළුවන් එක්ක ගෙන ගිය ජීවිතය නතර වෙලා, ගෙවල්වල හිරවෙලා දරුවන්ට මේ වගේ දේවල් දරා ගන්න බැහැ. මේ හැම දේකම මූලාරම්භය කොරෝනා රෝගය වුණාට ඒක දරුවන්ගේ ජීවිතවලට දැනෙන්නේ වක්‍රවයි‍.

කොරෝනා වසංගත හේතුවෙන් මේ වන විට දරුවන් අතර උත්සන්න වෙලා තිබෙන රෝගයන් මොනවාද?

වසරකට දරුවන් සිය දෙනකු පමණ දියවැඩියාවට ගොදුරුවෙන බව වාර්තා වෙනවා. ඒ වගේම පිළිකාවට ගොදුරුවන දරුවන් 500–750 අතර දෙනා වසරකට රෝහල්ගත කරනවා. කොරෝනා වසංගතය එන්නට පෙර සිටම අපේ රටේ දරුවන් අතර තිබුණ බෝනොවන රෝගවල ස්වාභාවය මෙයයි. රටේ දැන් උද්ගතවෙලා තිබෙන කොරෝනා රෝග තත්ත්වය හමුවේ මේ සංඛ්‍යාව තව තවත් වර්ධනය වෙන්න පුළුවන්. මේක ඉතා භයානක තත්ත්වයක්‍්.

බෝවන රෝගයකින් (කොරෝනා) බෝනොවන රෝග (දියවැඩියා, පිළිකා) වැනි රෝග වැඩිවීමට පදනම වැටෙන්නේ කොහොමද කියලා පැහැදිලි කළොත්?

කොරෝනා රෝගය හේතුවෙන් වසරකට ආසන්නව දරුවන්ගේ පාසල් ගමන මුළුමනින්ම නතර වෙලා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඇනහිටලා. එදා දුව පැන සෙල්ලම් කරපු ළමයි දැන් නිවෙස් තුළ. ඒ කියන්නේ රූපවාහිනියක් හෝ ස්මාට් ෆෝන් එකක් ළඟ නතර වෙලා. බඩ පිරෙන්න ආහාර ගන්නවා. ඒත් ක්‍රියාශීලීත්වයක් නැහැ. අවුරුදු 8–10 වයසේ දරුවන් කීපදෙනෙකුම මගේ ළඟට ආවා ප්‍රතිකාර සඳහා. ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 100 දක්වා වැඩිවෙලා. මේ වගේ පුංචි වයසකදී ශරීරයේ බර මේ ආකාරයෙන් වැඩිවෙනවා කියන්නේ ඔහු රෝග ගණනාවකට අත වනනවා කියන එකයි. දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕනේ තමයි. හැබැයි ඔවුන්ට දෙන කෑම ගැන දෙමාපියන් හොඳ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. මේ වනකොට විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයේ දරුවන් අතර ස්ථූලභාවය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වය පාලනය නොකළහොත් දරුවන් සදාකාලික රෝගීන් බවට පත්වීම නතර කරන්න බැහැ.

දරුවන්ට ආහාර ලබා දීමේදී දෙමාපියන් වශයෙන් සලකා බැලිය යුතු විශේෂ කරුණු කියලා ඔබ අදහස් කරන්නේ කුමක්ද?

විශේෂයෙන්ම දරුවන්ගේ ආහාර පිඟාන තුළ තෙල්, සීනි, ලුණු, පිෂ්ටය හැකි පමණ අඩු කරන්න කියලයි පෝෂණ විශේෂඥවරුන් කියන්නේ. මොකද ඔය වගේ ආහාර නිතර නිතර ගැනීමත් දරුවන් ක්‍රියාශීලී නොවීමත් මත රුධිරයේ තෙල් ප්‍රමාණය වැඩිවී ඒවා අක්මාවේ තැන්පත්වීමට පටන් ගන්නවා. ඒ වගේම රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ ගොස් දියවැඩියාවට ගොදුරුවෙනවා. දියවැඩියාවට ගොදුරු වෙනවා කියන්නේ වකුගඩු රෝග හෘද රෝග, අස්ථි රෝග ඇතුළු රෝග ගණනාවකට කුඩා වයසේදීම පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව පවතිනවා කියන එකයි. ඒ විතරක් නෙවෙයි දරුවන් නිවෙස් තුළ රැඳී සිටිනවා කියලා අපේ වැඩිහිටියන් දරුවන්ට කටට රහට කන්න දෙන්න ඕනේ කියලා විවිධ රසකාරක එකතු කරලා ආහාර පිළියෙල කර දෙනවා. දරුවොත් එ්වා රස කර කර කනවා විතරක් නෙවෙයි ඊට අබ්බැහි වෙනවා. කොහොමත් රසකාරක කියන්නේ අැබ්බැහිවීමේ කාරකයක්. අම්මලා මේක දන්නේ නැතිව දරුවා අද බත් පිඟානම කෑවා කියලා හෙටත් රසකාරක යොදලා ආහාර පිළියෙල කරනවා. දන්නේම නැතිව දරුවා පිළිකා රෝගියෙක් වෙන්න පුළුවන්. වසරකට පිළිකා රෝගී දරුවන් 750ක් පමණ වාර්තා වෙන්නේ මේ හේතුව වෙන්නත් පුළුවන්. තරුණ වයසට පැමිණෙන විට රටේ ශ්‍රම බළකාය රෝගීන් බවට පත්වෙලා. මේක පුද්ගලයාගේ ජීවිතයට පමණක් නෙවෙයි රටේ සංවර්ධනයටත් සෘජුවම බලපෑම් ඇති කරන්නක්.

කොරෝනා වයිරසයෙන් බේරෙන්න කියලා දරුවන් නිවෙස් තුළ රඳවා දෙමාපියන් කරන්නේ ඔවුන්ව ආරක්ෂා කරන එකයි. නමුත් සිදුවෙන්නේ නිවෙස් තුළ රෝගී දරුවන් පිරිසක් බිහිවීම. මේ තත්ත්වය නිවැරදි කිරීමට නම් ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්ද?

මේ දේ සිදුවෙන්නේ දෙමාපියන් නොදැනුවත්මයි. දැන් බලන්න කොරෝනා වයිරසයට බිය නිසා දරුවන්ව නිවස තුළ සිරකරුවන් බවට පත් කරලා. ඔවුන්ට නිවසින් එළියට පහළියටවත් බහින්න දෙන්නේ නැහැ‍. හිරු එළිය වැටෙන්නවත් පිරිසුදු වාතය වදින්නවත් දෙන්නේ නැහැ. කොරෝනා රෝගයට දෙමාපියන්ගේ හිතේ තියන බිය නිසාම අද දරුවන් විටමින් ඩී ඌනතාවයෙන් පෙළෙනවා. මේ නිසාම අස්ථිවල වේදනාව, කොන්දේ වේදනාව තිබෙන දරුවන් විශාල සංඛ්‍යාවක් මේ වන විට රෝහල කරා පැමිණෙනවා‍‍. ඒ නිසා අපි දෙමාපියන්‌ට කියන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරමින් තමන්ගේ දරුවන්ව එළියට පහළියට දාන්න. හිරුඑළියට නිරාවරණය කරන්න. සෙල්ලම් කරන්න යොමු කරන්න කියලයි.

තවත් දෙයක් තමයි මව්වරුන්ගේ සිතේ හටගෙන තියෙන බිය නිසා කුඩා දරුවන්ට ලබාදීමට තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නත් නිසි වේලාවට ලබාදී නොමැති බව වාර්තා වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසිලෙස අනුගමනය කරමින් තමන්ගේ දරුවාව සායනයට රැගෙන ගොස් අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු කරන්න.

කොරෝනා වසංගතය හමුවේ දරුවන් සැලකිය යුතු පිරිසක් විවිධ මානසික ගැටලුවලට ගොදුරු වී තිබෙන බවට වාර්තා පළවෙනවා නේද? රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මෙවැනි දරුවන් ප්‍රතිකාර සඳහා පැමිණෙනවාද?

රෝහලේ විතරක් නොවෙයි අපිට විවිධ රෝහල් සහ ආයතනවලින් දැනගන්නට ලැබිලා තියෙනවා දරුවන් තුළ විවිධ මානසික ගැටලු පැන නැගල තියෙනවා කියලා. හුඟාක් දරුවන් කොරෝනා මරණත් එක්ක බියට පත්වීමක් දක්නට ලැබෙනවා. මගේ ළඟට ප්‍රතිකාර ගන්න ආව දරුවෙක් කිව්වා එයා මැරෙනවා නම් මැරෙන්නේ අයියත් එක්ක විතරයි කියලා. මේ කොරෝනා භීතිකාව දරුවන්ට මරණ බය තදින්ම ඇතිකරලා තියනවා.

ඒ විතරක් නෙවෙයි. නිවෙස් තුළ සිරවී සිටින සමහර දරුවන් මේ වන විට විවිධ ලිංගික අපයෝජනවලට ගොදුරුවෙලා. ඉතා අවාසනාවන්තම තත්ත්වය වන්නේ දරුවාට ඉහළින්ම රැකවරණ තිබෙන නිවස දරුවාගේ ජීවිතය විනාශ කරන තරමටට පත්වෙලා. දරුවාට ආදරය කරපු නිවසේම සිටින වැඩිහිටියෙකු අතින් තමයි මේ අපරාධය සිදුවෙන්නේ. මේක අද ලෝකයේ බොහෝ රටවල දරුවන් මුහුණ දෙන ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ දරුවන්ට දරා ගැනීම ඉතාමත් අපහසුයි. අනික මේ වගේ අවාසනාවන්ත දෙයක් වුණාම දරුවන් ඒ දේ කියන්න තෝරා ගත්තේ හොඳම යාළුවාව. අද ඒ අයත් ඈත්වෙලා. දරුවාට සිදුවුණ මේ සිදුවීම කියන්න කෙනෙක් නැතිව හිතේ හිරකරගෙන ඉන්නවා. මේක බරපතළ මානසික ගැටලුවක් කරා දරුවාව ගෙන යන්න සමත් වෙන්න පුළුවන්.

අනික දරුවන්ගේ ක්‍රියාශීලීත්වය බිඳ වැටී නිවස තුළ සිරවීම හේතුවෙන් මේ වන විට මානසික ආතතිය බොහෝ සේ ඉහළ ගිහිල්ල තිබෙන බවට වාර්තා වෙනවා. කායික රෝග වගේ නෙවෙයි මානසික රෝගයක් හඳුනා ගන්නත් ඒවාට ප්‍රතිකාර කරන්නත් කාලයක් ගතවේවි. මොකද එක පාරටමට මානසික රෝගයක් හඳුනා ගන්න අමාරුයි. දරුවා ළඟින් ඉඳගෙන ඔහුව හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. හොඳට දුව පැන සෙල්ලම් කරමින් සිටිය දරුවා එකවරම බලාගත් අත බලාගෙන ඉන්නවා නම්, කල්පනා කරනවා නම්, වෙනදා මෙන් කෑම කන්නේ නැතිනම්, කොටින්ම වෙනදා වගේ වැඩ කටයුතු කරන්නේ නැතිනම් ඒ වගේ දරුවන් ගැන වැඩිහිටියන් වැඩි අවධානයක් යොමුකරන්න. ඔවුන්ට ළංවෙලා ආදරයෙන් කතාබහ කරලා පැන නැගී ඇති ගැටලුව හඳුනා ගන්න‍. දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්වීම හඳුනා ගන්න පුළුවන්නම් වෛද්‍යවරයාට වුණත් ප්‍රතිකාර කරන්න පහසු වෙනවා.

දරුවන්ට ලබා දෙන දුරස්ථ අධ්‍යාපන රටාව ළමා රෝග විශේෂඥවරයෙක් ලෙස ඔබ දකින්නේ කොහොමද?

පාසල් වසා තැබීම තුළ වෙනත් විකල්පයක් නැති නිසා දුරස්ථ අධ්‍යාපනය හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් දුරස්ථ අධ්‍යාපනය මගින් දරුවන්ට දැනුම ලබා දෙනවාට වඩා සිදුවන හානිය වැඩියි කියලත් හිතෙනවා. මොකද දරුවන් තනිවමයි අධ්‍යාපනය ලබා ගන්නේ. මේ නිසා ඔවුන් තුළ තිබුණු සාමුහිකත්ව හැඟීම නැතිවෙලා යනවා. හැම විටම ආත්මාර්ථකාමීව සිතන්න පුරුදු පුහුණු වෙනවා. පන්ති කාමරයක් තුළ ‌ඉගෙන ගන්න කොට එහෙම වෙන්නේ නැහැ. යාළුවන් අතර අදහස් හුවමාරු කරගන්නවා. එකිනෙකාට උදව් උපකාර කර ගන්නවා. මේ ක්‍රමය තුළින් අනාගතයේ ආත්මාර්ථකාමී පිරිසක් තමයි බිහිවෙන්නේ. අනෙකාගේ දුක හඳුනන්නේ නැති, දුකට පිහිට නොවන දරුවන් බිහිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම තමයි දරුවන් අන්තර්ජාලය සමග කටයුතු කිරීමට පුරුදු වීමත් සමග ඔවුන්ගේ වයසට නොගැළපෙන විවිධ දේවල් සොයාගෙන යන්න පුරුදු වෙනවා. මේ තත්ත්වය ඉතාමත් භයානකයි. මෙහිදී විශේෂයෙන්ම නිවසේ සිටින වැඩිහිටියන් දරුවන්ගේ පිටුපසින්ම ඉඳලා ඔවුන් කරන කියන දේවල් ගැන සොයා බැලීම ඉතාමත් අත්‍යවශ්‍ය කටයුත්තක්. අන්තර්ජාලයේ සමහර දේවල්වලට දරුවන් අැබ්බැහි වෙන්න පටන් ගන්නවා. මෙයත් පසුකාලීනව එක්තරා මානසික රෝගයක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනේ දරුවන්ට නොගැළපෙන දේවල් අන්තර්ජාලයෙන් සොයා ගෙන ඒවා යාළුවත් අතර හුවමාරු කර ගැනීමට පවා දරුවන් පෙලඹිලා තියෙනවා. මොකද ස්මාට් ෆෝන් එක දරුවන්ට එදා තහනම් භාණ්ඩයක් වුණාට කොරෝනා වසංගතය හමුවේ දුරස්ථ අධ්‍යාපනය හඳුන්වා දීමත් සමගම මෙය දරුවන්ට අයිති භාණ්ඩයක් බවට පත්වෙලා‍‍.

දරුවන්ගේ මානසික පැතිකඩ එහෙම කතා කරනවා වගේම කායික ගැටලුත් ගණනාවක්ම මතුවෙලා තියෙනවා. දරුවන් දිගු වේලාවක් ස්මාට් ෆෝන් එක දිහා හෝ ලැප්ටොප් එක දිහා බලාගෙන ඉඳීමෙන් ඇස්වල පෙනීමේ දුර්වලතා මතුවෙලා තියෙනවා‍. ඒ වගේමයි හිසරදය, කරකැවිල්ල වැනි රෝග ලක්ෂණයන් සහිතව ප්‍රතිකාර සඳහා දරුවන් පැමිණෙමින් තිබෙනවා.

ඒකයි මම කියන්නේ කොවිඩ් වසංගතය වක්‍රාකාරයෙන් අපගේ දරුවන්ගේ ජීවිතවලට පහර දෙමින් සිටිනවා කියලා.

සංවාදය – ශ්‍රියානි විජේසිංහ