අප සැමට ගෞරවනීය මරණයක් හිමිවිය යුතු බව ලෝකයම පිළිගනී. එහෙත්, මරණයේ ගෞරවය රැඳී ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය අනුව නොවේ. මරණය ගෞරවනීය වන්නේ හෝ නොවන්නේ අප ජීවත්ව සිටින කාලයේ කළ කී දේ අනුවය. සැබැවින්ම, මරණයේ ගෞරවය තීරණය කෙරෙන්නේ මියගිය ආකාරය හෝ මරණ මොහොත නොව අප ජීවත්ව සිටි කාලයයි.

රටක සියලු තීරණ දේශපාලනඥයන් විසින් ගත යුතු නැත. නිලධාරීන් විසින් ගතයුතු තීරණ ඇත. කලාකරුවන් විසින් ගතයුතු තීරණ ඇත. ආගමික නායකයන් විසින් ගතයුතු තීරණ ඇත. එසේම ඇතැම් තීරණ ජනතාව විසින් ගත යුතුය. රටක සියලු තීරණ දේශපාලනඥයන් විසින් ගැනීමට යාමෙන් එරට සියල්ල අවුල් වියවුල් වී යයි. මෙරට කොරෝනා ආසාදිතව මියගිය අයගේ මරණ ආදාහනය කිරීම පිළිබඳ ගැටලුව විසඳීම සඳහා රජය සාකච්ඡා කළ යුතු වන්නේ දේශපාලනඥයන් සමග නොවේ. ඒ සඳහා රජය කළ යුත්තේ ඒ පිළිබඳ ගැටලු උද්ගත වී තිබෙන මුස්ලිම් ජාතිකයන් අදහන ඉස්ලාම් ආගමේ නායකයන් වන ප්‍රධාන මවුලවිවරුන් සමග සාකච්ඡා කිරීමය. ඔවුන් සවිබල ගැන්විය යුතුය.

රටක, සමාජයක සියලු දේ නීතියෙන් පාලනය නොවේ. ආගම-දහම, සංස්කෘතිය, සදාචාරය, සම්ප්‍රදාය ආදී නේකවිධ විචල්‍යයන් රටක පාලනය හසුරවයි. කොරෝනා මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටලුව ආගමික ගැටලුවක් නම් ඊට විසඳුම් ආගම තුළින්ම සොයා ගත යුතුය. එය සංස්කෘතික ගැටලුවක් නම් ඊට විසඳුම් සංස්කෘතිය තුළින් සොයා ගත යුතුය.

මරණයට පත්වීම ජීව විද්‍යාත්මක කරුණකි. එසේම, මරණය ආගමික සංස්කෘතික සමාජීය සංසිද්ධියකි. එනිසා, මරණය වටා බැඳුණු ආගමික, ජාතික, සමාජයීය සහ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර රාශියක් පවතී. ඒවා ඒ ඒ ජාතීන් අනුව ඒ ඒ ආගම් අනුව ඒ ඒ සංස්කෘතීන් අනුව ආවේණික වන බව අපි දනිමු. ඒ කවර ආකාරයේ චාරිත්‍ර-වාරිත්‍ර වුවත් ඒවා සකස් වී ඇත්තේ ජීවත්ව සිටින අයගේ යහපත සහ සංයමය වෙනුවෙන් බව සමාජ විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක පර්‌යේෂණවලින් පෙන්වා දෙයි.

ආගම දහම අප දුසිරිතෙන් වළකයි: යහපතෙහි පිහිටුවයි. ආගම දහම මානව නිදහස සීමා නොකරයි; මානව චින්තනය පුබුදු කරවයි. එනිසා, අප තීන්දු තීරණ ගත යුත්තේ, මිනිසා, ආගම දහම වෙනුවෙන් නොව, ආගම දහම ඇත්තේ මිනිසා වෙනුවෙන්ය යන්න මත පිහිටමිනි.

කොරෝනා ආදාහනය තහනම් වන්නේ දෙවියන් වහන්සේගේ නියමය අනුව නම් මේ මොහොතේ කළ යුත්තේ රටේ පොදු නීතිය වෙනස් කිරීම නොව දෙවියන් වහන්සේගේ අවසරය අයැදීමයි.

යම් කෙනෙකු මරණයට පත් වූ පසු ඔහුත් මෙලොවත් අතර කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවත්, ඔහුට පිටුපසින් ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන අති විශාල තිරයක් දමනු ලබන බවත් ශුද්ධ වූ කුරානයේ 23:100 වැකිය පවසයි. මළවුන් හා මෙලොව අතර තිරයක් දැමීමෙන් මෙලොව සිටින අය කරන කිසිවක් මළවුන්ට කිසිසේත්ම දැනගත නොහැකි වනවා ඇත. එනිසා මළවුනට මෙලොව සිටිනවුන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකිය. මළවුන් සවන් නොදෙති. මළවුන්ට කිසිවක් දැනගත නොහැකිය. මළවුන් කිසිවිටෙක පිළිතුරු නොදෙති. තමන් වෙත ප්‍රාර්ථනා කරනු ලැබීම ගැන මළවුන් නොදනිති (කුරානයේ 7:194 සහ 46:5 වැකි). ඉන් පෙනී යන්නේ ආගමානුකූලව මළවුන් සුවපත් කිරීම සහ මළවුන්ගේ ශාන්තිය වෙනුවෙන් කටයුතු සිදුකළ යුතු වුවත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ ජීවත්ව සිටින අය වෙත බවයි.

ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය අනුව මියගිය අයෙකුගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු මිය ගිය මොහොතේ සිට පැය 24ක් ඉක්මයාමට ප්‍රථම කළ යුතුය. එකී ආගමික සම්ප්‍රදාය සහ දේව නියමය අතික්‍රමණය කරමින් කොරෝනා මෘතදේහ දින ගණන්, සති ගණන් අධිශීතාගාර තුළ තැන්පත් කර තබා ගැනීම සඳහා අවැසි දේව අවසරය ගැනීමට එම ආගමික නායකයන් සහ බැතිමතුන් සමත්ව ඇති බව පෙනේ. එනිසා, දෙවියන් වහන්සේ සමග සන්නිවේදනයේ යෙදෙන ආගමික නායකයන් හට කොරෝනා මෘතදේහ ආදාහනය කිරීමට අවැසි දේව අවසරය ගැනීමද පහසු කාර්යයක් වනු ඇත.

නැතහොත්, මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ශුද්ධ වූ කුරානයේ අන්තර්ගත ඉගැන්වීම් අනුව ඔවුන් විසඳුමක් සොයා ගත යුතුය. ඒ අනුව, අප දැන් මුහුණ දී සිටින්නේ අදාළ ආගමේ සහ දර්ශනයේ විද්‍යානුකූලභාවය හෝ අවිද්‍යානුකූලභාවය උරගා බැලෙන අමුතුම ආකාරයේ පරීක්ෂණයකටය.

ඉස්ලාමයේ පාරිශුද්ධ වූ ආගමික ග්‍රන්ථය වන අල්-කුරානයේ සඳහන්, මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී ගුරු කොට ගත හැකි ආගමික නිර්දේශයන් කිහිපයක් පහත පරිදි උපුටා දැක්විය හැකිය.

අල්ලාහ් දෙවියන්ටද ඔහුගේ දූතයාටද අවනත වන්න යන්නත් සමග බලය තිබෙන අයටද අවනත වන්නැයි ශුද්ධ වූ අල්-කුරානයේ 4:59 වැකියෙන් කියවේ. අල්ලාහ්ට අවනත වන්න, දූතයාටද අවනත වන්න යන්නත් සමග ‘උලුල් අම්රු’ ටද අවනත වන්නැයි මෙම වැකිය පවසයි. ‘උලුල්’ යන්නෙහි අර්ථය හිමිකරුවන් යන්නයි. ‘අම්රු’ යනු බලය හෝ අධිකාරියයි. ඒ අනුව ‘උලුල් අම්රු’ යන්නෙහි අර්ථය බලය හිමි අය යන්නයි. ධාර්මික නීතිරීතිවලදී අල්ලාහ් දෙවියන්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත විය යුතුය. නමුත් ධර්මයට සම්බන්ධ නොවන පරිපාලනයට සම්බන්ධ කාරණාවලදී බලය හිමි අයටද අවනත විය යුතුය. ඒ අනුව රටක ජනාධිපතිවරු, විවිධ ක්ෂේත්‍රවල සිටින අධිකාරිවරුන්, විනිශ්චයකරුවන් සහ විශේෂඥයන් වැනි අය විසින් පනවනු ලබන විධිවිධාන පිළිගෙන ක්‍රියාත්මක කිරීම ඉස්ලාමයට පටහැනි නොවන බව පෙනේ. ඒ බව ‘බලය තිබෙන අයටද අවනත වන්න’ යැයි කියවෙන ශුද්ධ වූ කුරානයේ ඇතුළත් මෙම වැකියෙන් සනාථ වේ.

අල්ලාහ් දෙවියන්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වන විට, අවනත විය යුතු දේවල් සහ අවනත නොවිය යුතු දේවල් යනුවෙන් තත්ත්වයන් දෙකක් තිබිය නොහැකිය. නමුත්, බලය හිමි අයට අවනත වන විට ශුද්ධ වූ කුරානයට පටහැනි නොවන දේවල් හි පමණක් අවනත විය යුතු බවද මෙම වැකිය අවසානයේ කියැවේ. එසේම, බලය තිබෙන අයට අවනත වීමේදී යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වූයේ නම් එය අල්ලාහ් දෙවියන් වෙතද ඔහුගේ ධර්ම දූතයා වෙතද රැගෙන එන්නැයි එම වැකියේ වැඩිදුරටත් සඳහන් වේ. එපමණක්ද නොව මිනිසුන් අතර ප්‍රශ්න පැන නගින විට අනෙක් මිනිසුන් මැදිහත්වී විනිශ්චය දෙමින් ප්‍රශ්න විසඳීමත් අල්ලාහ් දෙවියන් විසින් අනුමත කරනු ලැබ ඇති බව කුරානයේ සඳහන් වේ.

තමන් කෙරෙහි ජනතාව තබන පිළිගැනීම හා සීමාව ඉක්මවන විශ්වාසය පදනම් කරගෙන ඇතැම් දේශපාලනඥයෝ ජනතාව මුළා කරමින් නොමග යවමින් සිටින මෙවන් අවස්ථාවක එවැන්නවුන්ගෙන් ජනතාව ආරක්ෂා කරගන්නටත් පිබිදීමක් ඇති කරන්නටත් මෙම වැකිය බෙහෙවින් උපකාරී වේ. කොරෝනා මරණ ආදාහනය හෝ භූමිදානය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය දෙවියන් වහන්සේ වෙත සන්නිවේදනය කර ආගමානුකූලව විසඳාගැනීමට අදාළ පාර්ශ්ව සවිබල ගැන්විය යුතු බව අප පවසන්නේ එබැවිනි.

ශුද්ධවූ කුරානයේ සඳහන් වන පරිදි නැමඳුම් කටයුතු හැර අනෙකුත් කාරණාවලදී මිනිසුන්ට නීති සම්පාදනය කිරීමේ බලය පිරිනැමී ඇත. එම බලය උපයෝගී කරගෙන මිනිසා සම්පාදනය කරන නීති රීති ධර්මයට පටහැනි නොවේනම් ඒවාට අවනත වීම ධර්මානුකූලව කිසිදු වරදක් නැත. නමුත් එම නීති රීති ධර්මය සමග ගැටෙන්නේ නම් එවැනි අවස්ථාවකදී ඒ බව දෙවියන් වහන්සේ වෙත සන්නිවේදනය කර විසඳා ගත යුතුය.

මුස්ලිම්වරු සුළුතරයක්ව සිටින රටවල ඉස්ලාම් ධර්මයේ සඳහන් නීති රීති ක්‍රියාත්මක කරන පාලනයක් බිහි කළ නොහැකිය. ඉස්ලාමීය පාලනයක් නොපවතින රටවල්හි ජීවත්වන මුස්ලිම් ජනතාව ඒ පාලනයට අවනත විය යුතු තත්ත්වයකට මුහුණ දෙති. එසේම, එවැනි පාලනයක් යටතේ සේවකයකු ලෙස හෝ නිලධාරියෙකු ලෙස යම් මුස්ලිම්වරයකු පත්කරනු ලැබ ඇති විටෙක ඔහු කටයුතු කළ යුත්තේ ඉස්ලාමීය නීතිය අනුව නොව රටේ නීතිය අනුවය. නිදසුනක් ලෙස විනිශ්චයකාරවරයකු වශයෙන් සිටින මුස්ලිම්වරයෙකු වෙත යම් කෙනෙකුගේ අපරාධ වරදක් ඔප්පු කරනු ලැබුවේ නම් එය විනිශ්චය කළ යුත්තේ සහ ඊට දඬුවම් කළ යුත්තේ එරට නීතිය අනුවයි. මෙසේ කටයුතු කිරීම ධර්මානුකූල වරදක් නොවන බව අල් කුරානයේ 12:74 සහ 12:76 වැකිවල සඳහන් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වාසය කරන සහෝදර මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ නීතියට අවනත වීම ආගමානුකූලව වරදක් නොවේ. එය ඉස්ලාමීය නීතියට විරුද්ධ වීමක්ද නොවේ.

ඉස්ලාමීය නීතිය ගැන අල්ලාහ් දෙවියන් ප්‍රශ්න කරන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් තුළ පමණි. ඉස්ලාමීය පාලනයක් නොමැති රටවල්හි ඒ රටේ පවතින නීතියට අවනත වීම හෝ ඒවා ක්‍රියාත්මක කිරීම හෝ ධර්මානුකූලව වරදක් නොවේ. එබැවින් මුස්ලිම් නොවන අය පාලනය කරන රටවල්හි ධර්මය, නැමදීම සම්බන්ධ කාරණා හැර අනෙකුත් නීතිවලදී ඒ පාලකයාට අවනත වීමත් එය ක්‍රියාත්මක කිරීමත් වරදක් නොවන බව මෙම කුරානයේ සඳහන් ආගමික නිර්දේශ අනුව පෙනේ. කොරෝනා මරණ ආදාහනය පිළිබඳ තීන්දු සෞඛ්‍ය බලධාරීන්ගේ වීම දෙවියන්ගේ කැමැත්තට පටහැනි හෝ ආගමික ඉගැන්වීම් නොසලකා හැරීමක් නොවන්නේ එනිසාය.

කොරෝනා මෘතදේහ ආදාහනය හෝ භූමිදානය පිළිබඳ තීරණය ලෝකයට පොදු තීරණයක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය වන්නේද එය ඒ ඒ රට විසින් වෙන් වෙන්ව ගත යුතු නිශ්චිත තීරණයක් බවයි.

මේ අප පරිසර සංරක්ෂණය පිළිබඳව වඩ වඩාත් සිතිය යුතු කාලයයි. පරිසරය සහ පාරිසරික සම්පත් අධිපරිභෝජනයේ විපාක මිනිසා විසින්ම භුක්ති විඳින කාලයයි. අප දැන් එළඹ සිටින්නේ දෙකෙන් එකක් තෝරා ගතයුතු අවස්ථාවකටය. එක්කෝ මරණය තෝරා ගත යුතුය. නැතහොත් ජීවිතය තෝරා ගත යුතුය. මේ කවරක් වුවත් තීරණය වන්නේ පරිසර සංරක්ෂණයේ ප්‍රමාණය මතයි. මේ අනුව ලොව බොහෝ රටවල් පරිසර සංරක්ෂණය ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තබා ඇති බව පෙනේ. අප මිය ගියත් ජීවත් වුවත් පරිසරය ගැන සිතිය යුතු ම ය. අපේ ජීවිතය පරිසරයට වදයක් වී හමාරය. අපේ මරණය ද පරිසරයට හානියක් විය යුතු නැත.

2014 වසරේ පැවැති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ආදිවාසී වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තන් විසින් කළ ඓතිහාසික දේශනයෙන් කොටසක් මීට ගළපන්නට සිතේ.

“…පහු වෙන්න පහු වෙන්න ඉපදුණු පරම්පරා සිරිත් විරිත් අමතක කෙරුවා. සතුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන්, සුළඟින් ලැබුණු දේවල් මගේ මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහපොළොව වැටකොටු බැඳලා සීමා හදාගත්තා. ඉවක් බවක් නැතුව ගස්කොළන් කපලා දැම්මා. එක දවසකට ඇහැට පෙනෙන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවට මිනිස්සු කියන්නේ දියුණුව කියලා.

මේ දේවල්වලින් මිනිස්සුන්ගෙ ඔළුව විකාර වෙන්න කලින්, නිසි කලට වැසි වැස්සා. නිසි කලට පෑව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි පරිසරය දිහා බලලා අනාවැකි කිව්වා. ඒ අනුව අපේ ජීවිත සකස් කර ගත්තා. ඒත් අද? වහින්න ඕන කාලෙට පායනවා. පායන්න ඕන කාලෙට වහිනවා. එක එක විදිහේ හුළං එනවා. කඳු කඩා පාත්වෙනවා. මුහුද ගොඩ ගලනවා. ගංගා ඇළ දොළ උතුරනවා. දන්නෙවත් නැති ලෙඩ හැදෙනවා. මේවා පුදුම වෙන්න දේවල් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු විනාසෙට හම්බවෙන උත්තර තමයි මේවා…”

කොරෝනා මරණ හමුවේ ක්‍රියාත්මක කළ යුතු න්‍යාය පත්‍රයේද පරිසර සංරක්ෂණය පිළිබඳ අවධානය ඉහළින්ම තිබිය යුතුය. කොරෝනා මෘතදේහ භූමිදානය කිරීමෙන් මෙරට භූගත ජල ස්ථරයට සිදුවන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුත්තේ ඒ පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කළ විශේෂඥයන්ගේ මතය අනුවයි. දේශපාලන සහ ආගමික මතවාද දෙස හෝ වෙනත් රටවල් සිදු කරන දේ දෙස බලා එය තීරණය කළ නොහැකියි.

කොරෝනා මෘත දේහ භූමිදානය කිරීමෙන් මෙරට භූගත ජල ස්ථරය විනාශ වන්නේ නම් එය දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ බිලි දීමකි. සැබැවින්ම දෙවියන් වහන්සේ යනු ස්වභාව ධර්මයයි; එතුළ ඇති නොනැසිය හැකි විස්මිත මහා බලයයි. ජලය දෙවියන් වහන්සේ වන්නේය. දෙවියන් වහන්සේ ද ජලය වන්නේය.

අදාළ පරිදි ආගමික නායකයන් ඔවුන්ගේ දෙවියන් වහන්සේට යාඥා කර මියගිය අයගේ මෘතදේහ ආදාහනය කිරීම සඳහා දේව අවසරය ගැනීම වඩාත් පහසුම විසඳුමයි. ආදරයේ සහ කරුණාවේ ප්‍රතිමූර්තිය වන දෙවියන් වහන්සේගෙන් මෘතදේහ ආදාහනය කිරීම සඳහා අවැසි දේව අවසරය නිසැකවම ලැබෙනු ඇත.

අප දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ බිලි නොදිය යුතුය.