ආසියානු කලාපයේ ධනවත් ම මිනිසා වූ ඉන්දියාවේ මුකේෂ් අම්බානි අභිබවා නව ධනවතෙකු මේ වසරේදී පෙරමුණට පැමිණ තිබේ.

Bloomberg Billionaires දර්ශකය අනුව ඔහු ආසියාවේ ධනවත් ම මිනිසා බවට පත්ව ඇත්තේ, ඔහුට අයත් එන්නත් නිෂ්පාදන සමාගම සහ බෝතල් කළ ජලය බෙදා හැරීමේ ආයතනය ලැබූ ආදායම් හේතුවෙනි.

චීන ජාතික සොං ෂාන්ෂාන් නමැති මෙම ව්‍යාපාරිකයාගේ  වත්කම මේ වසරේදී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඔහුට ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා අභිබවා යාමට හැකිවී තිබේ.

ඔහුගේ සමස්ත වත්කම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 77.8 හේතුවෙන් ලෝකයේ ම ධනවතුන් අතර 11 වන ස්ථානයට පත්ව ඇතැයි Bloomberg Billionaires දර්ශකය පවසයි.

“lone wolf” යනුවෙන් හැඳින්වෙන ඔහුගේ වෘත්තීය ජීවිතය මාධ්‍ය, බිම්මල් වගාව සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර රැසක් කරා විහිදී තිබේ.

ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඇතුළු ලෝකයේ ධනවතුන් විශාල පිරිසකගේ වත්කම් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වර්ධනය විය.

ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ මේ වසරේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 18.3කින් ඉහළ ගිය අතර ඔහුගේ සමස්ත වත්කම  ඇමෙරිකානු ඩොලර් බිලියන 76.9ක් ලෙස සටහන් වී තිබේ.

කෙසේ වෙතත්, ජැක් මාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 61.7 සිට 51.2ක් දක්වා පහත වැටී තිබේ.