කටුගස්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු පාසල් සිසුවියක හා ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇති අතර එම සිසුවාගේ මිතුරෙක් ඔහුගේ පෙම්වතියට ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ එවන බව සිසුවිය පෙම්වතාට පවසා තිබේ.

පසුව මේ පිළිබඳව විමසන්නට පෙම්වතා තව අයෙකු සමග මිතුරා හමුවීමට ගොස් ඇත. මෙම ගමනට පෙම්වතා සමග තවත් තරුණයන් පිරිසක් එකතුවී ඇති අතර පසුව කෙටි පණිවුඩ යැවූ තරුණයා හා ඔහුගේ ඥාතින් සමග පෙම්වතා ඇතුළු පිරිස ආරවුලක් ඇතිකරගෙන තිබේ.

එම අවස්ථාවේ පෙම්වතා ඇතුළු පිරිස සිදු කළ පහරදීමකින් එක් අයකු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. පසුව පහර කෑමට ලක් වූ පිරිස කටුගස්තොට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පහර දුන් බව පැවසෙන පෙම්වතාගේ මිතුරන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අය අතුරින් දෙදෙනකු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පහරදීමට මුල් වූ බව පැවසෙන පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.