අත්අඩංගුවට ගැනීමට යන බව සැලවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මාදම්පේ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පෙරේදා (13 වැනිදා) පුත්තලමේ අවමංගල්‍යයකට ගොස් කොළඹ බලා එද්දී ජීප් රථයේ ගුවන් විදුලියේ ප්‍රවෘත්තියක් ලෙස ඔහු අත්අඩංගුවට ගන්න යන බව ප්‍රචාරය වීමත් සමග එම රථයෙන් බැස ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් ඔහුගේ රියැදුරු හා තවත් රියැදුරකු පවසා ඇත.

වැල්ලවත්තේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා සමග රිෂාඩ් බදියුදීන් භාවිත කළ වාහනය හා තවත් වාහනයක් පිස්තෝල දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (13 වැනිදා) රාත්‍රියේදීය.

එහිදී රිෂාඩ් බදියුදීන් රියැදුරු හා සේවකයකු සතුව තිබී මෙම පිස්තෝල දෙක සොයාගෙන ඇත. පසුව කළ විමර්ශනයකදී ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි ඇමැති ආරක්ෂක ඒකකයට අයත් සැරයන්වරයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි තවත් ඇමැති ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන ආරම්භ කර ඇත. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී ඔහුගේ ගණකාධිකාරිවරයා ලෙස සිටි අලගරත්නම් නමැති පුද්ගලයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිරුළපනදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 26වැනිදා තෙක් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

අත්අඩංගුවට ගත් පිස්තෝල ගිනි අවි දෙක සමග මැගසින් 4ක් සහ උණ්ඩ 48ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් වාහන දෙකෙහි රියැදුරන් දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පැවසේ.

ප්‍රභූවරයකුට ආරක්ෂාව සැපයුවද එම ප්‍රභූවරයා වරදක් කර ඇත්නම් ඔහුට පැනයාමට සහ නීතියෙන් මගහැරීමට ආධාර අනුබල ලබා දෙන්නේ නම් එම ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයා ද වරදක් සිදුකර ඇති බව හෙතෙම පැවසීය.

චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් හිටපු ඇමැතිවරයා හා මොහොමඩ් යාසිම් නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන සිදු කරන බවද මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පවසා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (14 වැනිදා) නියෝගයක් නිකුත්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY