යුද හමුදා බුද්ධි නිලධාරීන් රඳවා තබාගැනීමේ නියෝග සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අත්සන හොරට යොදා ඇති බව ඊයේ (14 වැනිදා) අනාවරණය විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් කළ රැඳවුම් නියෝගයේ ඇති එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අත්සන හොරට යොදා ඇති බව මෙලෙස අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය කැබිනට් පත්‍රිකාවල හා ප්‍රතිපත්ති ප්‍රකාශවල සහ පොදුවේ යොදන අත්සන්වලට හාත්පසින්ම වෙනස් අත්සන් රැඳවුම් නියෝගවලට යොදා ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ විනිසුරු මඩුල්ල හා නීතිඥවරුන් ඉකුත් දා නිරීක්ෂණය කර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සැබෑ අත්සන හා අදාළ රැඳවුම් නියෝගවල ඇති අත්සන් අතර බරපතළ වෙනසක් තිබෙන බව ප්‍රකාශ කළ සභාපති විනිසුරු උපාලි අබේරත්න එය නිවැරදිව තහවුරු කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (14 වැනිදා) කැඳවා තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (14 වැනිදා) පෙනී සිටියේය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න, පැමිණිලිකාර යුද හමුදා බුද්ධි නිලධාරීන් රඳවා තබාගැනීම යොදාගෙන තිබූ රැඳවුම් නියෝගවල පිටපත් හිටපු ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්නට පෙන්වා එම අත්සන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අත්සන්දැයි විමසා සිටියේය.

එම රැඳවුම් නියෝගවල තිබෙන අත්සන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නොවන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න එහිදී පිළිගත්තේය.

LEAVE A REPLY