මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාර් රාජ්‍යයේ නීති විරෝධී සංවිධානයකින් අන්තවාදී ක්‍රියා සඳහා රුපියල් මිලියන දහ තුනක මුදලක් ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23දා) කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙසේ  දැනුම් දුන්නේය.

දැනට රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය විසින් පවත්වාගෙන යන “සේව් ද පර්ල්” නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපඩ් නමැති නීති විරෝධී සංවිධානයෙන් අන්තවාදී ක්‍රියා සඳහා මෙම මුදල ලැබී ඇති බවට අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

බැංකු ගිණුම් වාර්තා විමර්ශනය කර බැලීමේදී පසුගිය වසර කිහිපය තුළදී එම මුදල් ලැබී ඇති බැව් තහවුරු වන බවත් එම මුදල් අන්තවාදී ක්‍රියා සඳහා යොදා ගෙන තිබේ දැයි යන්න පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම එම මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන ආරම්භ කර ඇති බවද එසේම ‘සේව් ද පර්ල්’ සංවිධානය විසින් පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන යන මද්‍රසා පාසලක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ‘නවරසම්’ නමැති ග්‍රන්ථය පිළිබඳ මනෝ විද්‍යාත්මක වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් නමැති බෝම්බකරුට ආධාර අනුබල දුන්නෙ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා පිළිබඳව සිදුකරන ලද විමර්ශන අවසන් බවත් එහි උද්ධෘත නීතිපතිවරයා වෙත පසුගිය 17 වැන දින යොමු කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවැසීය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 07 වැනි දින නැවත කැඳවීමට නියෝග කළේය. මද්‍රසා පාසලක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ‘නවරසම්’ නමැති ග්‍රන්ථයේ සිංහල පිටපත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

LEAVE A REPLY