“අද උදෑසනම ඡන්ද පොළට ගොස් ඔබ, ඔබගේ යුතුකම ඉටු කරන්න. ඊළඟට මම මගේ යුතුකම ඉටු කරන්නම්” යනුවෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ලක්වාසී ජනතාව අමතා ප්‍රකාශ කළේය.

කොවිඩ් -19 පිළිබඳව කිසිදු අවදානමක් නොමැතිව සමස්ත රට වැසියන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට හැකි පරිසරයක් ගොඩනඟා තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අනුව නිදහසේ සැමටම ඡන්දය භාවිත කිරීමට සියලු විධිවිධාන යොදා ඇතැයිද පැවැසීය.

කොවිඩ් -19 රෝගය මර්දනයේදී ලොව අන් කිසිදු රටකට නොදෙවැනි අන්දමින් එය සාර්ථකව මැඬපවත්වන්නට අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ ක්‍රියාන්විතය අවසානයේ මුළු ලොවටම ආදර්ශයක් වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම පසුගිය වකවානුවේ රට වෙළාගෙන සිටි පාතාලය මෙන්ම කුඩු ජාවාරම්, දූෂණ හා වංචා මැඬලීමට මේ වනවිටත් සියලු පියවර ගෙන තිබෙන බවත් ඒවායේ ප්‍රතිඵල දැනටමත් ඇස්පනාපිටම දකින්නට ලැබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර දළදා පෙරහර අවසානයේ පැවැති එහි සමාප්ති උළෙලේදී ජනාධිපතිවරයා ඊයේ මෙසේද ප්‍රකාශ කළේය.

“පසුගිය දවස්වල මම ලංකාව පුරාම සංචාරය කළා. විවිධාකාරයේ ජන කොටස් මට මුණගැහුණා. ඒ අයගේ අවශ්‍යතා මට දැනගන්නට ලැබුණා. නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථීර නිවෙසක් සාදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල් මෙන්ම පානීය ජලයටද ජනතාවගේ ඉල්ලීම් තිබුණා.

එම අවශ්‍යතා මම අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රිවරුන් අතරින් දක්ෂ පිරිසක් කැබිනට් මණ්ඩලයට තෝරා පත් කරනවා. නැවත මේ ප්‍රශ්න අහන්න නොතබන රටක් මම ගොඩනඟනවා.” යැයිද ජනාධිපතිවරයා තවදුරටත් එහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.

දළදා හාමුරුවන්ගේ ආශීර්වාදයට සුදුසු රටක්, අපෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. විනයගරුක රටක් ගොඩනැඟීමෙන් පමණයි අපිට ඒ ජනතා අපේක්ෂාව මුදුන්පත් කරන්න පුළුවන් වෙන්නේ.

“සෞභාග්‍යයේ දැක්මේ’ දස වැදෑරුම් වැඩපිළිවෙළේදී ගුණගරුක සමාජයක් ගොඩනඟන්න අපි ජනතාවට පොරොන්දු වුණේ ඒ නිසයි. සැමට සාධාරණය ඉටුකරන්න පුළුවන් සමාජයක් අපට අවශ්‍යයි.

අපේ රටෙන් නිවුණු, සැනසුණු සමාජයක් දැකීමයි ඔබ අප සැමගේ අධිෂ්ඨානය. ඒ සඳහා මඟ පෙන්වීමට වගේම ආශීර්වාදය ලබාගැනීමට මම බෞද්ධ උපදේශක සභාව පත් කළා.

අපේ මහ නායක, අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහ සංඝරත්නය සෑම මසකම තුන්වැනි සිකුරාදා දිනයේ ජනාධිපති කාර්යාලයට වැඩම කරලා මේ රට සුවපත් කරන්න අවශ්‍ය අනුශාසනා අපට ලබාදෙනවා.

උන්වහන්සේලාගේ අනුශාසනා අනුව මේ රට ගොඩනඟන්න, මේ රටේ උරුමය රකින්න මම කැපවී සිටිනවා. භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරයට, අතීත සම්ප්‍රදායට ඉඩකඩ සැලසීම මගේ රජයේ වගකීමක්.

පෙරහර අපේ අගනාම සංස්කෘතික මංගල්‍යයක්. දේශීය කලාකරුවන්ගේ දක්ෂතා වගේම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන කලා අංග පුරාතනයේ පටන් අපි මේ තුළින් රැකගෙන තියෙනවා. මේ උරුමය රැකගැනීමට වගේම ප්‍රවර්ධනයට රජය කටයුතු කරනවා.

පසුගිය කාලවල වෙහෙර විහාරස්ථානවල, දේවාලවල පෙරහර මංගල්‍යයට, රැකබලාගත් හීලෑ අලි ඇතුන් ලබාදීමත් ගැටලු සහගත වුණා. නැවත එවැනි තත්ත්වයක් උදාවන්නේ නැහැ. හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ අපේ සංස්කෘතියේ, අපේ උරුමයේ කොටසක් හැටියටයි.

අපි නැඟෙනහිර පුරාවස්තු රැකගැනීමට භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම මත ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටෙව්වා. උන්වහන්සේලා වදාරනවා වගේම මේ රටේ පුරාවස්තුවලින් 99%ක් තියෙන්නේ බෞද්ධ පුරාවස්තු.

එහි පුරාවිද්‍යාත්මක වටිනාකම වගේම ආගමික අගනාකමටත් ඉඩකඩ සැලසෙන්න ඕනෑ. පුරාවිද්‍යා  පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරන්නේ මේ රටට ගැළපෙන පනතක් සම්මත කර ගැනීමටයි.

ඒ විතරක් නෙවෙයි මේ රට දීර්ඝ කාලයක් බලාගෙන සිටි, විද්වතුන්ගේ ඉල්ලීමක් වුණු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් දැනටමත් කෙටුම්පත් කර අවසන්. කෘෂිකර්මය, සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ජාතික ප්‍රතිපත්ති ඉදිරියේදී සම්පාදනය වන විට බෞද්ධ උපදේශක සභාවේ අනුශාසනා අපි ඉවහල් කරගන්නවා.

අනාගතයේ මේ රට භාරගන්න ඕනෑම කෙනකුට ඒ ප්‍රතිපත්ති අනුව රට ඉදිරියට ගන්න පුළුවන්. රජයන්ට අනුව වෙනස් වන සමහර ප්‍රතිපත්ති නිසා අපේ රටට එල්ල වුණු පසුබෑම අපි නිවැරැදිව අවබෝධ කරගෙන තිබෙනවා.”

“රාජ්‍ය සේවකයා අකාර්යක්ෂම නම් රට ඉස්සරහට යන්නේ නෑ. අල්ලස, දූෂණය නැති රටක සංවර්ධන ඉලක්ක පහසු කරන බව ඔබ දන්නවා. ඒ වගේම පාතාලය, මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ විරෝධී ක්‍රියාවලට අපි මේ සමාජය විනාශ කරන්න ඉඩ තියන්නේ නැහැ.

අපේ සංස්කෘතිය, සභ්‍යත්වය වසර දහස් ගණනක් රැකගත් අපේ උරුමය ගැන අපට නියම අවබෝධයක් ඕනෑ. පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් හදන සමාජය මුදල්වලින් ගොඩනඟන්න බැහැ.

අතීතයේ රජ දරුවන් ගත් මඟ ගනිමින් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කළ හැකි ගරු බුහුමන් කිරීමට රටේ නායකයා හැටියට මම බැඳී සිටිනවා. උන්වහන්සේ වැඩ සිටින භූමිය නිදහස්, සාධාරණ, සාමකාමී එකක් බවට පත්කිරීමට අතීත සම්ප්‍රදාය අමතක නොකර මම වැඩ කරනවා. ඒක මගේ වගකීම.

ඒ නිසා දළදා හාමුදුරුවෝ වෙනුවෙන් පැවරිලා තියෙන ඓතිහාසික වගකීම වගේම රජයක යුතුකම ඉටු කරන්න මම සූදානම්. අපේ අභිමානය, අපේ උරුමය රැකුණොත් පමණයි අනාගත පරපුරට රටක් පවතින්නේ.

රජය ගෙවී ගිය කාලපරිච්ඡේදයේ ගත් තීන්දු තීරණ තුළින් ඔබට ඒ දැක්ම අපි පෙන්වලා තියෙනවා. මේ රට සමෘද්ධිමත් කරලා යහපත් පුරවැසියෙක් නිර්මාණය කළාම ජාතික, ආගමික සහජීවනය ඇති කළාම අපේ උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානව ආරක්ෂා වන බව මම විශ්වාස කරනවා” යැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY