අවදානම් ස්ථානවල ඡායාරූප ගැනීමේදී සිදුවන අවාසනාවන්ත පුවත් නිරන්තරයෙන් අසන්න ලැබෙනවා.

අදත් එවැනිම පුවතක් අපිට වාර්තා වුනේ මාතලේ ලග්ගල ප්‍රදේශයෙන්.

නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන මාතලේ “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයක්.

එහි සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීන් බොහොමයක් මෙම ස්ථානය සිය නිර්මාණ සඳහා යොදා ගන්නවා.

කුරුණෑගල පන්සියගම ශිරන්ත සංජය සහ දිල්මි මධූෂිකාත් ඊයේ  සිය ඡායාරූප ශිල්පීන් සහ ඥාතීන් සමග සේර ඇල්ලට එන්නේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප ගැනීමටයි.

කැමරා ශිල්පියාගේ විධානවලට අනුව ඡායාරූප වලට පෙනී සිටින අතුරතුර සංජය – දිල්මි යුවළ සේර ඇල්ලෙහි පහළ ගල් තලාවේ ලිස්සා ගොස් දිය පහරේ ගසා ගෙන ගොස් තිබෙනවා.

සැණෙන් ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස විසින්  දිල්මි බේරා ගැනුණා.

ඒත් දියෙහි අතුරුදන් වූ ශිරන්ත බේරා ගැනීමට කිසිවෙකුටත් හැකි වූයේ නැහැ.

පසුව නාවික හමුදාව දියත් කළ මෙහෙයුමකින් පසු අද පස්වරුවේ ශිරන්තව සොයගත්තා.

ඒ වන විටත් ප්‍රාණය නිරුද්දවී තිබූ ශිරන්තගේ නිසල සිරුර නාවික හමුදාව ගල්තලාව මතට රැගෙන ආවේ මෙලෙසින්

පසුව ඔහුගේ සිරුර දඹුල්ල රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

තමාට පවා නුහුරු පරිසරය පිහිටි අවධානම් සහිත ස්ථානයක සිදුකළ රූගත කිරීමේදී යුවළට දියට බසින ලෙසට විධානය දුන් ඡායාරූප ශිල්පින් අනතුර සිදුවු ආකාරය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.

27 හැවිරිදි ශිරන්ත දිල්මි සමග යුග දිවියට එළඹීමට නියමිතව තිබුණේ  ලබන ජුලි 17 වැනිදායි.

මංගල සිහිනයට නැකැත් ළං වෙමින් තිබියදී, තමන් පෙනී සිටින්නේ සිය අවසන් ඡායාරූපය බව ශිරන්තට නොසිතන්නට ඇති.

මෙවැනි අනාරක්ෂිත තැන්වල ඡායාරූප ගැනීමේදී සැලකිලිමත් වන්නේනම් මෙවන් අවාසනාවන්ත මරණ වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා.