මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් විය.

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පාතාල කල්ලියක් සතුව තිබූ මෙම ගිනි අවි සොයාගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ”ගගන” නැමැත්තාට අයත් බව කියන ගිනි තොගයක් පිළිබඳ තොරතුරක් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය අද පෙරවරුවේ හෝමාගම,පිටිපන ප්‍රදේශයේ දී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පාතාල කල්ලියට අයත් බව කියන ටී-56 වර්ගයේ ගිනි අවි 12ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.

අදාළ ගිනිඅවි සමග ”ගගන” නැමැත්තාගේ ගෝලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙය සැලකෙන්නේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි තොගය ලෙසටය.

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.