2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය ජාතික මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් බවට පත්විය.

ඒ අනුව එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබා දුන් එවකට ජාතික කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා පවසා තිබුණේ අදාල චෝදනාව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්ධන ඒකකය වෙත යොමු කර නිසි පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබූ හිටපු තේරීම් කමිටු සභාපතිවරයා “මෙම කරුණ හෙළි කිරීමට වසර 9කට අධික කාලයක් එතුමා ගත කළේ ඇයිද කියා මම දන්නේ නැහැ. කණ්ඩායමක් තේරීම් කටයුතු සිදු කිරීමේදී එම කාර්යය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි. සියලුදෙනා දන්නවා එම තේරීම් කටයුතු කරන්නේ කෙසේද සිදු කළේ කෙසේද යන්න. කෙසේ නමුත් ඔහු සිදු කර තිබෙන මෙම චෝදනාව අයි.සී.සී. එකට ඔහු ගෙන යා යුතුයි. එහි දූෂණ මර්ධන ඒකකයක් තිබෙනවා. එම චෝදනා ඊට භාරදී ඔවුන්ට (අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයට) ඇවිල්ල මේ සම්බන්ධයෙන් නිදහස් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි. ඒ අනුව මම හිතන්නේ අපි සියලුදෙනා සූදානම් ඕනෑම වෙලාවක සූදානම් ඕනෑම පරීක්ෂණයකට ඕනෑම දෙයකට මුහුණ දෙන්න.” යනුවෙන් පවසා තිබිණි.

තවද අදාල අවසාන මහා තරගයේ තේරීම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද ගැටලු පවතින බව එම සාකච්ඡාවේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබූ අතර, ඊට පිළිතුරු ලබා දුන් අරවින්ද ද සිල්වා මහතා මෙසේ සඳහන් කර තිබිණි. “ඒ අවස්ථාවේදී අපි මුහුණදී තිබූ විශාලම ගැටලුව බවට පත්ව තිබුණේ ඇන්ජිලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව තිබීමයි. ඔහුගේ ආබාධය හුඟක් දුරට කණ්ඩායමේ සමබරතාවයට බලපෑවා. ඒ අනුව මෙහිදී ක්‍රීඩක ආදේශයන් දෙකක් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරනු ලැබුවා. ඒ සියලුම තීරණ ගනු ලැබුවේ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතයේ අනුමැතිය සහිතවයි. එසේ නොමැතිව අපිට එවැනි තරගාවලියක ක්‍රීඩකයින් වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි තරගාවලියක කණ්ඩායමේ වෙනසක් සිදු කරන්නේ නම් අයි.සී.සී.යේ අනුමැතියත් ඒ සඳහා ලබා ගැනීම අනිවාර්යය කරුණක්. ඉතින් කවුරුහරි කියනවා නම් එම අවස්ථාවේදී කණ්ඩායම තේරීම් සිදුකල ආකාරය කිසිවෙක් දන්නේ නැහැ කියා එය විශාල බොරුවක්. එමෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු අවස්ථාවක සංචිතයක් නම් කිරීමේ හැකියාවක් ලංකාවේ නැහැ.”

එමෙන්ම සංචිතයන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දක්වා තිබූ අරවින්ද “නම් කරන ලද ක්‍රිකට් සංචිතය අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීම ශ්‍රී  ලංකාවේ නීතියක්. ඇත්තටම එය ඉවත් කළ යුතු නීතියක්. මොකද ඇමතිවරයා සෑම අවස්ථාවකම ක්‍රිකට් ගැන දන්න කෙනෙක් නොවෙයි. ඔවුන්ට ක්‍රිකට් ගැන මොන දැනුමක්ද තියෙන්නේ කියලා මේ කරන දේවල්වලිනුත් තහවුරු වෙනවා. හිතට එකඟව වැඩ කරන සුදුසු පුද්ගලයන්ගෙන් සමන්විත තේරීම් කමිටුවක් සිටිනවා නම් සහ ඔවුන්ට නිවැරදි දේ කරන්න ඉඩ ලබා දෙනවානම් මම හිතන්නේ ඉදිරියටත් හුඟක් හොඳට ක්‍රීඩාව ගෙනියන්න පුළුවන්.” යනුවෙන් පවසා ඇත.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී  ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංගද තම සමාජ මාධ්‍ය ගිණුමක් වෙත වීඩියෝවක් නිකුත් කර තිබිණි. එහිදී මාලිංග පවසා තිබුණේ මෙම චෝදනා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එම වීඩියෝ පණිවුඩය මඟින් අදහස් දක්වා තිබූ ජාතික විස්සයි-20 නායකයා “2011 ලෝක කුසලානය ක්‍රීඩා කළ ක්‍රීඩකයකු විදිහට එමෙන්ම අදාල අවසාන මහා තරගයේදී පන්දු යවන විට ඉන්දීය පිලේ පළමු කඩුලු දෙක ලබා දුන් පන්දු යවන්නා ලෙස යම්කිසි ප්‍රකාශයක් සිදු කිරීමට කැමැතියි. මෙහිදී මෙම අවසාන තරගය මුදලට පාවාදීමක් සිදු කළා කියා අපට එනම් ශ්‍රී  ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරනු ලැබුවා. ඒ අනුව මුදලට තරග පාවාදීමක් සිදු කර ඇත්නම් ඒවා දන්නවා නම් මේ අවස්ථාව රටක් විදිහට අප විශාල අපකීර්තියකට ලක්වූ අරවස්ථාවක් ලෙස මම සළකනවා. එම නිසා මෙහි සත්‍ය සෙවීමට වැඩි කාලයක් ගතවේ යැයි මම සිතන්නේ නැහැ. ඊට හේතුව සාක්ෂි සියල්ලම තියෙනවානම් එහි සත්‍යය සොයා ගැනීමට විශාල කාලයක් ගතවන්නේ නැහැ. එමෙන්ම ජනතා නියෝජිතයෙක් ලෙස මෙම ප්‍රකාශය සිදුකරනවානම් ජනතාව නොමඟ නොයවා අදාල චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන්ගේ නම් හෙළි කිරීමේ හැකියාවත් ඔවුන්ට අනිවාර්යයෙන් පැවැතිය යුතුයි. එසේ කිරීමේ හැකියාව නොමැතිනම් මෙම බොරු චෝදනා එල්ල කරන පුද්ගලයන්ට අත්විය යුතු ඉරණම ජනතාව තීරණය කළ යුතුයි.” යනුවෙන් සඳහන් කර තිබේ.