ලොව හයවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇති ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමගම රෝහල් ඇඳන් පිරි ඉතිරී යාම නිසා  බොහෝ රෝහල් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් ආපසු හරවා යැවීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වෙනත් නගරවලින් කොරෝනා ආසාදිතයින් හෝ සැක සහිත රෝගීන් පැමිණීම වැළක්වීමේ අරමුණින් නවදිල්ලි නගරයේ සියලු රජයේ රෝහල්  නගරයේ ජනතාවට පමණක් වෙන් කරන බවට දිල්ලි නගරයේ ප්‍රධාන මහ ඇමති අර්වින්ද්  කෙජ්රිවාල් මෙම තත්ත්වයත් සමගම නිවේදනය කර තිබේ. නවදිල්ලි නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසු ගිය දින කිහිපයේ සිට වැඩි වෙමින් පවතින අතර මේ වන විට නගරයෙන් කොරෝනා ආසාදිතයින් 27,000 ක් හා කොරෝනා මරණ 761 ක් වාර්තා වී තිබේ.

මේ යන ආකාරයට කොරෝනා ආසාදිතයින් වාර්තා වුවහොත් ජුනි මස අවසන් වන විට නවදිල්ලියෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ යනු ඇති බවට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත  විද්වත් කමිටුවක් විසින් මාධ්‍යට පවසා තිබේ. නවදිල්ලියේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැම දින 14-15කට වරක්ම දෙගුණ වන බව ඔවුහු කියා තිබේ.

බොහෝ දිල්ලි නගරවාසින් පවා ප්‍රකාශ කර ඇත්තේ තම පවුල්වල තද උණ ,ශ්වසන අපහසුතාවන් ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන  සාමාජිකයින් ඇතැම් රෝහල් මගින් භාර නොගෙන හරවා යවා ඇති බවයි. එක්  නගර වැසියෙකු පවසා ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණ සහිත තම මව නවදිල්ලියේ රෝහල් හතරක් මගින් භාර නොගෙන හරවා යැවූ බවයි.     මේ අතර අද දිනයේ ඉන්දියාවේ බොහෝ නගරවල හෝටල් හා සාප්පු පවා කොරෝනා මර්දනය කිරීමේ නීති රීතිවලට යටත්ව විවෘත කෙරුනද නවදිල්ලියේ හෝටල් හා උත්සව ශාලා විවෘත නොකෙරෙන බව නවදිල්ලියේ මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ. එම මධ්‍යස්ථාන  විවෘත නොකරනුයේ අවශ්‍ය වුවහොත් ඒවා රෝහල් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නිසා බව ඔහු සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ