ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන ප්‍රබල පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ ආරක්ෂක සැලසුමක් රජය සකස්කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දැනටමත් එරට සිටින ශ්‍රී ලංකා තානාපති මාර්ගයෙන් එහි සැඟව සිටින ප්‍රබල අපරාධකරුවන්ගේ නාමලේඛනය ඩුබායි ආණ්ඩුවට භාරදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන මත්කුඩු ජාවාරම, මහා පරිමාණ කප්පම් ලබාගැනීම්, පුද්ගල ඝාතන ඇතුළු අපරාධ බොහොමයක් සැලසුම් කෙරෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අතින් සහ බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයන් අතින් බව රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු ලැබි තිබේ.

ඒ අනුව රජය දැනටමත් මෙම කටයුතු සැලසුම් කිරීමට විදේශ රටකින් අධි තාක්ෂණික උපකරණ සපයා ගැනීමට කටයුතු සැලසුම් කර ඇත. වෙනම කාර්යසාධන බළකායක් හා විශේෂ පොලිස් ඒකකයක්ද පාතාල මර්දන කටයුතු සඳහා ස්ථාපිත කර තිබේ.

එසේම පාතාල මර්දන මෙහෙයුම් දැඩිකර ඇත. පසුගිය දිනවල සිදුවූ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සියල්ලන්ම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපතිවරයා විසින් මෙම කටයුතු පෞද්ගලිකවම අධීක්ෂණය කෙරේ.