ඔබ මහමෙව්නාව අසපුව කෙරෙහි අපැහැදුන අයෙකු නම් මෙම ලිපිය හොදින් කියවන්න…

පූජ්ය කළුතර සෝමරතන නායක ස්ථවිර

මෙම ලිපිය ලියන මම ශ්රී ලංකාවේ රාමඤ්ඤ නිකායේ දඹදෙනිය ප්රාදේශීය සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරී හා සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්ය ලේඛකාධීකාරී හා ත්රීකුණමල දිස්ත්රික් බලමණ්ඩලයේ ප්රධාන ලේඛකාධීකාරී හා අලව්ව සිරිවිජය පරිවේණාධ්යකෂක හිමියන් වෙමි.

මෑත භාගයේ සිට ලක්දිව ඇතම් භික්ෂූන් වහන්සේලා වෙතින් කිසියම් දෝෂාරෝපණ ස්වභාවයකින් මාධ්ය තුලින් වරින් වර ගැරහුමට ලක්වන එක්තරා ප්රධාන ආයතනයකට යන්නට මට අවස්ථාව ලැබුණි.ඒ පොල්ගහවෙල මහමෙව්නාව භාවන අසපුවටය. එමෙන්ම එහි නිර්මතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්වද ඇසුරු කරන්නටද අවස්ථාව ලැබුණි.මෙතෙක් මා ඇසූ විරූ සියල්ලෙහි ඇති අසත්ය මට පසක් වූයේ මහමෙව්නාව ඇසුරිනි.

ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති අසපු දෙකක අධිපති වීමට සැලසුම් කළ භික්ෂූන් දෙනමක් විසින් ඉතා කුමන්ත්රණකාරී ලෙස ඤාණානන්ද හිමියන්ට එරෙහිව චරිත ඝාතන රැල්ලක් නිර්මාණය කරන ලදි. එම හේතුව නිසාම ඒ දෙනමට අසපු සංචිතයෙන් ඉවත් වීමට සිදු විය. ඉන් පසු දරාගත නොහැකි කෝප ස්වභාවයෙන් යුක්තව ඔවුන් විසින් කරන ලද්දේ නොයෙක් අභූත චෝදනා කරමින් කලෑ පත්තර සහ පොත් පත් ලියමින් ඒවා සංඝයාට බෙදා හැර සංඝයා සහ මහමෙව්නාව අතර ඇති සම්බන්ධතාවය විනාශ කිරීමයි.

මා පවා කලින් එම චෝදනා වරින් වර විශ්වාස කළ නමුත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ව අසුරු කිරීමේදී මට වැටහී ගියේ ඉතාම ශාසන ගෞරවයෙන් යුතුව සුපේශල ශික්ෂාකාමී සඟ පිරිසක් බිහි කොට ලක්ෂ සංඛ්යාත සැදැහවත් බෞද්ධ ජනතාවක් බිහිකොට උදාර ශාසනික මෙහෙවරක යෙදෙමින් සිටින උතුම් භික්ෂුවක් බවයි.

භික්ෂූන් වහන්සේලා වශයෙන් සතර අගතියෙන් තොරව සිටීමට අප දක්ෂ විය යුතුයි. එසේ නොවුනහොත් හැබෑම ශාසනික සේවයෙහි යෙදෙන භික්ෂුව අපට හඳුනා ගත නොහැකි වනු ඇත.ඤාණානන්ද හිමියන් අයත් වන්නේ මා සිටින නිකායට ද නොවේ.උන්වහන්සේගේ දායකයින්ගෙන් මා ලබා ගත් ප්රයෝජනයක් ද නැත. පෞද්ගලිකව උන්වහන්සේගෙන් මා ලද ප්රයෝජනයක් ද නැත.නමුත් ගෞතම බුදු සසුනෙහි දියුණුවට මම කැමති වෙමි. අද ලංකාවේ දේශපාලනයෙන් හා නොයෙක් දේශපාලන අතකොළු වීමෙන් භික්ෂූන් වහන්සේලා විනාශ වී යන අයුරු පැහැදිලිව පෙනෙමින් තිබේ. නමුත් මහතෙරුන් වහන්සේලාට ඒවා නොපෙනේ. මහමෙව්නාවත් එහි සඝ පිරිසත් එහි නිර්මාතෘ හිමියනුත් නම් උන් වහන්සේලාගෙන් ඇති තරම් බැටකති. මෙය නොසිදුවිය යුතු දෙයකි. මෙය මට මහත් සිත් වේදනාවට කරුණකි. ඒ නිසාම මෙහි ඇත්ත තත්වය රටට හෙළි කිරීමට මා කල්පනා කළේය.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ගැඹුරු දහම සරල සිංහලෙන් පැවසීමට අතිශයින්ම දක්ෂ බව මට පසක් වූයේ ත්රීකුණාමල දිස්ත්රික්කයේ මොරවැව පිහිටි අපගේ විහරස්ථානයට නොබෝදා වැඩම කොට කළ දෙසුමට සවන් දීමෙනි. එදා රැස්ව සිටි දහස් සංඛ්යාත ජනයා නිසොල්මනේ එම දහමට සවන් දී සිටියේ වශීකෘත වූ සිතිනි. අවසානයෙහි උන්වහන්සේ ඉල්ලා සිටියේ එකල බෞද්ධ සමාජයේ භාවිතා වූ “නමෝ බුද්ධාය” යන්න යළි භාවිතයට ගන්නා ලෙසයි.සැදැහැවතුන් පිරිස කොතරම් අමන්දානන්දයට පත්වූවාද යත් දම් දෙසුම අවසානයෙහි මා ලඟට පැමිණ දෑත් එක්කොට “නමෝ බුද්ධාය” ස්වාමිනී කියා මහත් ප්රීතියෙන් නික්ම යනු බලා සිටි මම ද විශ්මයට පත් වුණෙමි.

සිංහලෙන් පිරිත් කීම අකැප දෙයක් නොවේ. සරල සිංහලෙන් ධර්මය කතා කිරීමද අකැප දෙයක් නොවේ.ගෞතම ශාසනයෙහි ධර්මය අවබෝධ කිරීමට කතා කිරීම ද අකැප දෙයක් නොවේ.සූත්ර දේශනා පරිහරණය කිරීම ද අකැප දෙයක් නොවේ. අභිධර්මය කතා නොකළ පමණින් සූත්රයට ගැරහීම වරදකි. උන්වහන්සේ අභිධර්මයට ගරහන කෙනෙක් නොවේ. නමුත් අභිධර්මය ඉස්මතු කිරීමට වෙර දරන ඇතැම් භික්ෂූන් සූත්ර දෙසුම් වලටත් ගරහති. මහමෙව්නාවටත් ගරහති. අභිධර්මයට අනුකූල චිත්ත විභාගය තුලින් බලන විට අනුන්ට ගැරහීමට පළමු ඔවුන් කල යුත්තේ තම චිත්තය පිලිබඳ විග්රහයකට පැමිණීමයි.

කොටින්ම අප මහත් ඉහලින් සැමරූ 2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් ඉස්මතු කළ සංකල්පයකි. එම සංකල්පය ඉස්මතු වූ තැනට ගරහා එය සමරන්නට යෑම තුලින් අප අකෘතඥ බවට පත් විය යුතුද?

2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ඤාණානන්ද හිමියන් විසින් එළි දක්වන ලද පොතක් මට කියවන්නට ලැබුණි. එහි ජයන්ති තුනක් පෙන්වා දී තිබේ. එනම් මෙම වසරේ වෙසක් පොහොයට 2600 වැනි ශ්රෙ සම්බුද්ධත්ව ජයන්තියත්,මෙම වසරේ ඇසල පොහොයට 2600 වැනි ධර්මචක්ර ජයන්තියත්, 2600 වැනි ආර්ය සංඝ ජයන්තියත් යෙදෙන බවයි.මේවා උතුම් අදහස් නොවේද? අප මෙතෙක් නොදැන සිටි සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීමෙන්ම උන්වහන්සේ බුදු සසුනට යහපතක් කොට නොතිබේද?
එනිසා සංඝ බේදය කොට එසේ භේද බින්න වූ සංඝයාගෙන් යැපීමට මහන්සි ගන්න පරපුටු භික්ෂූන්ගෙන් බේරීමට අපට කාලය පැමිණ තිබේ. එසේ නොවුන හොත් මහමෙව්නාවෙන් පැන ගිය දෙනමක් විසින් සිදු කරන මෙම විනාශය හේතුවෙන් බොහෝ දෙනෙක් අකුසල් රැස් කර ගනු නොඅනුමානයි.

දිනක් භාග්යවතුන් වහන්සේ වෙත භික්ෂුවක් පැමිණ මෙසේ විචාලේය. ස්වාමීනී , භාග්යවතුන් වහන්ස සංඝ බේදය කළ විට එහි විපාක කවරේද? භික්ෂුව සංඝ බේදය කළ තැනැත්තා කල්පයක් නිරයෙහි පැහේ.

ස්වාමීනී සංඝ සාමග්රිය කළ විට එහි විපාකය කවරේද?
භික්ෂුව බිදුන සංඝයා සමගි කළ විට කල්පයක් සුගතියේ සැප ලබයි.

ධර්මය වනාහී මෙයයි.එසේ නැතිව ධර්මය පැවසීමේ නාමයෙන් මහමෙව්නාවේ සදහම් සේවය හෝ එහි නිර්මාතෘවරයා හෝ ගැරහුමට ලක් වන අයුරින් භික්ෂූන් වහන්සේලා වශයෙන් අප ධර්ම කතාවෙහි යෙදෙන්න්ට ගියොත් එයින් පිරිහෙන්නේ අපම මිස මහමෙව්නාව හෝ ඤාණානන්ද හිමියන් නොවේ.

ඤාණානන්ද හිමියන් වටා ලක්ෂ සංඛ්යාත පිරිසක් රැස්ව සිටී නම් ඒ ගැන අප ඊර්ෂ්යා කළ යුතුද?

උන් වහන්සේට පුද පූජාවල් පවත් වනවා නම් එයටද ඊර්ෂ්යා කළ යුතුද?
තව කෙනෙක් ලබන ලාබ සත්කාර කීර්ති ප්රශංසා දෙස මුදිතාවෙන් බැලීමට අප දක්ෂ විය යුතු නොවේද?

පසුගිය පෙබරවාරී 6 වෙනි දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේහි 2600 ශ්රී සම්බුද්ධත්වය සමරනු වස් ශ්රී සම්බුද්ධ රාජ මාළිඟය නමින් දාවන්ත විහාර කර්මාන්තයක් ඉදි කරනු පිණිස මුල් ගල් තබන ලදි.මටද එම අවස්ථාවට සහභාගි වීමට ලැබුණි.එහිදී මා හට එහි වැඩපිළිවෙල අධ්යනය කරන්නට ද අවස්ථාව ලැබුණි. සිය ගණන් සංවරශීලී භික්ෂූ පිරිසක් හ විසිපන්දාහකට අධික සැදැහැවතුන් පිරිසක් එහි මුල් ගල් තැබීමේ කටයුතු සිදු කළ අයුරු ඉතා රමණීය ය. ශාසනික ගෞරවයත් බුද්ධ භක්තියත් ඉස්මතු වන අයුරින් ඉතා ශාන්ත ලීලාවෙන් සිදු වූ එම කටයුතු වලට සහය ලැබීම නිතැතින්ම සිදුවන්නකි.මමද එයට මුළු හදවතින්ම ආශිර්වාද කරමි.

එනිසා උන්වහන්සේ දැක කතා බස් කිරීමක් හෝ නොකොට මහමෙව්නාව ඇසුරු කිරීමක් හෝ නොකොට මහමෙව්නාවෙන් පැන ගොස් කෝන්තර බැඳ ගෙන සංඝ බේදය කළ දෙනමකගේ බස් අසා මෙතෙක් අපට ඇති වූ පාඩුව අතිමහත් ය. රැස් වූ කුසලයක් ද නැත. මහමෙව්නාවට වැදුන පහරක් ද නැත ඤාණානන්ද හිමියන්ට සිදු වූ හානියක් ද නැත. සැබවින්ම සොයා බැලුව හොත්, හානි වී ඇත්තේ අපටමය. ඒ නිසා අප දැන් වත් සතර අගතියෙන් තොරව විමසා බලන්නට පුරුදු වෙමු.

“නමෝ බුද්ධාය”

උපුටා ගැනීම දිවයින-ලක්බිම-සිළුමිණ-දිනමිණ-රිවිර පුවත්පත් ඇසුරින්

ගෞතම බුදුරජුන් වදාළ
පිරිසිදු ශ්රී සද්ධර්මය දැනගැනීමට පිවිසෙන්න► http://www.mahamevnawa.lk/