ශ්‍රී ලංකාවට එරෙහි කිසිදු යුද අපරාධ චෝදනාවක් ඔප්පු කර නැතැයි ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට ලිපියකින් දැනුම් දී ඇත. පසුගිය මැයි 20 වැනිදා ‘ද හින්දු’ පුවත්පත පළකර තිබූ ‘Sri lanka will not tolarating of war heroes’ (රණවිරුවන් ඉලක්ක කිරීම ශ්‍රී ලංකාව ඉවසන්නේ නැත) යන ලිපියේ අන්තර්ගතයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය මෙම ලිපිය යොමුකර තිබේ.

හමුදාවේ ඉහළ නිලධාරීන් යුද්ධය පැවැති සමයේ හා ඉන් ඉක්බිති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇතැයි එම ලිපියේ සඳහන් කර ඇත. එම කරුණ පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ ‘ඕනෑම සන්නද්ධ ගැටුමකදී මානව හිමිකම් ආරක්ෂා කිරීම, වැසි කාලයේදී මඩවළවල් ඇතිවීම වැළැක්වීමට සමාන වේ’ යනුවෙනි.

එසේම දෙමළ වැසියන් අටදෙනකු ඝානය කිරීමට වරදකරු වූ සොල්දාදුවකුට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමාව ලබාදීම පිළිබඳව එම ලිපියේ සඳහන් කර ඇත. එම කරුණ පැහැදිලි කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ නඩු විභාගයකින් තොරව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 14,500කට ශ්‍රී ලංකා රජය සමාව ලබාදී ඇතැයි ජනාධිපති සමාව ලද සොල්දාදුවා පැටලී සිටින්නේද ඒ හා සමාන ක්‍රියාවකට බවද, ඔහුට සමාව ලබාදීම සදාචාරයට පටහැණි නොවන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට අමතරව අදාළ ලිපිය ඔස්සේ ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාව ‘යුද අපරාධ සම්බන්ධයෙන් චූදිතයකු’ ලෙස සඳහන් කිරීමද ඉතා අසාධාරණ, පදනම් විරහිත සහ අත්තනෝමතික ප්‍රකාශයක් බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත.