ලොවම දණ ගස්සා ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනතුරු අඟවද්දි කිසිදු රටක නායකයකු එය ගණනකට නොගත් බව ලොව බොහෝ දෙනාගේ මතය වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිජිටල් මාධ්‍ය සමාගමක් වන ‘වොක්ස්’ සමාගම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටය ආරම්භයේදීද ලෝක නායකයෝ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කරන අනතුරු ඇඟවීම් නොසලකා හරින රූපරාමු පෙන්වයි.

ලොව පළමු රාජ්‍ය නායිකාව බිහිකළේ ශ්‍රී ලංකාවය. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ දියණියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙරට සිවුවැනි විධායක ජනාධිපතිවරයා ය. වර්තමානයේ මෙරට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ ද කාන්තාවකි.

අප්‍රේල් 1 වැනිදා සින්ට් මාර්ටින් හි අග්‍රාමාත්‍යවරිය එරට 41,500ක් වන ජනතාව ඇමතුවාය. සින්ට් මාර්ටින් යනු නෙදර්ලන්ත රාජධානියට අයත් කැරිබියානු දූපත්වල ඇති රටකි. කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් පැවැතුණි. වසරකට සංචාරකයන් 500,000ක් පැමිණෙන රට අවදානමේ ඇති බව එරට අග්‍රාමාත්‍ය සිල්වරියා ජේකෝබ්ස් දැන සිටියාය. රටටම ඇත්තේ දැඩි සත්කාර ඒකක, ඇඳන් දෙකක් පමණි.

රටම වසා දමන ‘ලොක්ඩවුන්’ පන්නයේ දැඩි සීමා පැනවීමට ඇයට අවශ්‍ය නොවූවාය. එහෙත් කායික දුරස්ථභාවය පවත්වාගැනීම ඇයට අවශ්‍ය විය. ඒ නිසා ඇය රටේ ජනතාවට ඒ බව කීවාය. ‘‘මෙච්චරයි, කොහේවත් යන්න එපා’’ ඇය කීවාය. ‘‘සාමාන්‍යයෙන් වෙනදා වගේ ගෙදර පාන් නැත්නං, බිස්කට් කන්න. විස්කෝතු කන්න. ධාන්‍ය වර්ග කරන්න. ඕට්ස් කන්න……කන්න… සාඩින්’’ යැයි ඇය රටේ ජනතාවගෙන් ඉල්ලුවාය.

51 හැවිරිදි වියේ පසුවන සින්ටි මාර්ටින්හි අග්‍රාමාත්‍යවරිය ඇන්ගෙලා මර්කල් හෝ ජසින්ඩා ආඩෙන් පන්නයේ ගෝලීය රාජ්‍ය නායිකාවක නොවන්නීය. එහෙත් ඇගේ අවංක හා ඍජු පණිවුඩය, ආදර්ශමත් හැසිරීම රටටම උදාහරණයක් විය. එමෙන්ම සාර්ථක ක්‍රියාමාර්ග මෙන්ම පලදායී සන්නිවේදනය හේතුවෙන් ඇය ද කොරෝනා සාර්ථකව පාලනය කළ නායිකාවන් ගොන්නට ඇතුළත් විය.

ජර්මනියේ සිට නවසීලන්තය දක්වාත් ඩෙන්මාර්කයේ සිට තායිවානය දක්වාත් කාන්තාවෝ මහත් ධෛර්යෙන් සහ නිර්භීතකමෙන් කොරෝනා අර්බුදය සාර්ථකව කළමනාකරණය කර ගෙන ඇත. වියට්නාමය, චෙක් ජනරජය, ග්‍රීසිය, ඔස්ට්‍රේලියාව ‘නායකයෝ’ සිටින රටවල් ද සාර්ථකව කොරෝනා තර්ජනය පාලනය කර ඇත. එහෙත් ‘නායිකාවෝ’ ඔවුන් සියලු දෙනාටම වඩා සාර්ථක වී ඇත.

39 හැවිරිදි වියේ පසුවන නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය දිගින් දිගටම තම ජනතාව ඇමතුවාය. සිය ප්‍රියතම මාධ්‍ය වන සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ නිකුත් කළාය. ඇතැම් අවස්ථාවකදී ‘ලොක්ඩවුන්’ නියෝග නොතනක පිරිස් මෝඩයන් යැයි ද කීවාය. එහෙත් ඇය සිය නිවසේ කවිච්චියේ සිට සිය ජනතාවට සානුකම්පිත ඉල්ලීම් කළාය. ‘‘ගෙදර ඉන්න, ජීවිත බේරාගන්න’’ ඇය නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියාය. ඒ අතරවාරයේදී මාධ්‍ය හමුවලට පැමිණ නිල ප්‍රකාශ ද නිකුත් කළාය.

ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් ඇය දැක්වූ ප්‍රවේශයත් කාරුණික බවත් නිසා නවසීලන්ත වැසියෝ අසල්වැසියෝ ගැන බැලූහ. අවදානමේ පසු වූ පිරිස රැක බලාගත්හ. පොදු යහපත වෙනුවෙන් විශාල කැපකිරීම් කළහ. මේ හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගේ ජනප්‍රියත්වය ද ඉහළ ගොස් ඇත. ඇය සියලු දෙනා සමඟ එක්ව වගකීම් බෙදාගැනීම නිසා රට එකමුතු වී ඇත.

‘‘සටන් කරන්න, ඉක්මනින් ගෙදර යන්න’’ යන තේමාව යටතේ රටට පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය. මාර්තු 14 වැනිදා එම ක්‍රියාමාර්ගය ගත් අතර ඉන් සති දෙකකට පසු දැඩි ලොක්ඩවුන් සීමා පැනවීය. ඒ වනවිට එරටින් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 150කටත් අඩු සංඛ්‍යාවකි. ඒ වනවිට එරටින් කිසිදු මරණයක් වාර්තා වී තිබුණේ නැත. අඟහරුවාදා වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,497ක් වූ අතර මරණ සංඛ්‍යාව 19කට සීමා වී තිබිණි. මේ තත්ත්වයත් සමඟ ජසින්ඩා ආඩෙන්ගේ ආණ්ඩුව කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය සියයට 80ත් ඉක්මවා ගොස් ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
‘ද ගාඩියන්’ ඇසුරිනි