මංගල සමරවීර දිගටම බුද්ධාගමට අගෞරව වන ආකාරයෙන් කටයුතු කරන ලද කෙනෙක්. ආණ්ඩුව තියෙද්දී ආණ්ඩු බලය පාවිච්චි කරල මහා සංඝරත්නයට අපහාස වන අන්දමින් කටයුතු කරන්න වැඩ කළා. දැනුත් මහා සංඝරත්නයට එක වතාවක් නෙවෙයි දෙවැනි වතාවටත් සංඝ කල්ලිය කියල කිව්වා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කොට අපිට කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට ඇහුම්කන් නොදී හිටිය කියලා.

හැබැයි දැන් තව නායකයෙක් ඇවිත් ඉන්නවා. එයා නිකන් මේ බෞද්ධයෙක් කියා ගන්නා කෙනෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත්ගේ නායකත්වයේ ඉන්නකොට මංගල සමරවීරගේ කට වහන්න බැරිනම් සජිත් ප්‍රේමදාසත් මේකට සම්බන්ධයි. යනුවෙන් අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කීය.

හිටපු අමාත්‍යවරයා ඇඹිලිපිටියේදී මෙම අදහස් ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍යවරයා මෙසේද කීය.

අපි නම් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය අපේ නායකයන් ආරක්ෂා වන ආකාරයට තමයි වචනයක් පිට කරන්නේ. අපිට හිතුමතේට වචන පිට කරන්න බැහැ. අපිට යම් කිසි කෙනෙකුට වචනයක් කියන්න තිබුණත් අපි එහෙම කියන්නේ නැහැ. මේක තමයි අප ළඟ තියෙන නායකත්ව ගෞරවය. මංගල සමරවීර මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයටවත් හදාගන්න බැහැ. ඒ කියන්නේ මේකට සජිත් ප්‍රේමදාස මහතාත් සම්බන්ධද?

මංගල සමරවීර එහෙම කියනකොට සජිත් ප්‍රේමදාස මහත්තයට තිබුණා කියන්න මහා සංඝරත්නයට මේ විදියට අපහාස කරන්න එපා කියලා. එදා ජනාධිපති මැතිවරණය පැරදෙද්දී එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා මංගල සමරවීර වැනි අය මහා සංඝරත්නයට අපහාස කිරීම හේතුවෙන් තමයි සිංහල බෞද්ධ ඡන්ද ගන්න බැරි වුණේ කියලා.

මේ මහ මැතිවරණ සමයේ මේ විදියට මංගල සමරවීර මහා සංඝරත්නයට අපහාස කරනවා නම් මේක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අනුදැනුම මත වෙන්නේ කියල අපිට හිතන්න පුළුවන්. උතුරේ ජනතාවගේ ඡන්දය බලා පොරොත්තුවෙන් මේක එදත් කළා. දැන් අදත් කරනවා. හැබැයි අපි කිසිම ආගමකට අපහාස වන අන්දමට කටයුතු කරල නැහැ.

අපි මේ රටේ පුරවැසියන් හැටියට සියලුම ආගම් අදහන්න ඉඩ දෙන්න ඕන. හැබැයි අපි බුද්ධාගමට මුල්තැන දෙනවා. ඒක මම බෞද්ධයෙක් හැටියට එදත් පාර්ලිමේන්තුවේදී කිව්වා. අපි අපේ ආගමට මුල්තැන දීල කටයුතු කරනවා. හැබැයි අනෙක් කිසිම ආගමකට අගෞරව කරලා කටයුතු කරලා නැහැ. මංගල සමරවීර වැනි පුද්ගලයෝ තවත් සමගි ජනබලවේගේ පක්ෂයේ තියාගන්නවා නම් සමගි ජනබලවේගේ මතය තමයි අද මේ මංගල සමරවීර පෙන්වන්නේ.’