සංවර්ධිත රටවල් ඇතුළුව ලෝකයේ බොහොමයක් රටවල් කොවිඩ් 19 ගෝලීය වසංගතය ඉදිරියේ අසමර්ථ වෙද්දී නව කොරොනා වෛරසය පාලනය කිරීමට ගත් සාර්ථක ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකාව පැසසුමට ලක් වෙමින් පැවතීම සතුටුදායක තත්ත්වයකි. මේ තත්ත්වය දෙස ධනාත්මකව සිතා බලන විට පවතින තත්ත්වය යටතේ වුවද දියුණු කළ හැකි ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කිරීම රටක් වශයෙන් අපේ ඉදිරි ගමනට ඉතා වැදගත් වනු ඇත. උසස් අධ්‍යාපනය එවන් එක් ක්ෂේත්‍රයකි.

ශ්‍රී ලංකාව මේ වන විට දශකයක පමණ කාලයක් පුරා කලාපයේ දැනුම කේන්ද්‍රය බවට පත් වීමට උත්සාහ කරමින් සිටී. මේ ඒ සම්බන්ධයෙන් දැවැන්ත පියවර ගත හැකි කාලයකි. ඒ අනුව රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන් පරිවර්ථනයකට ලක් කිරීම තුළින් අවම වශයෙන් අසල්වැසි රටවලින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ හරහා රටට වැදගත් විදේශය විනිමය ඉපැයීමටත් රටේ ආර්ථිකය සවිමත් කිරීමටත් හැකිවනු ඇත. මේ අරමුණ සාක්ෂාත් කර ගත හැකි ආකාරය පිළිබඳව මාගේ අදහස් සහ විසඳුම් මෙසේය.

 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය

රටේ උසස් අධ්‍යාපන අංශය සමස්තයක් වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආකාරයට ප්‍රධාන අංශ දෙකකට වෙන් කරගත හැකිය. රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ගත් කල, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් විශ්ව විද්‍යාල පහළොවක් දැනට තිබෙන අතර වෛද්‍ය, ඉංජිනේරු සහ නීතිය වැනි විෂය ක්ෂේත්‍ර සඳහා පසුගිය වසරේදී මෙම විශ්ව විද්‍යාල වෙත බඳවා ගත් නවකයින් ප්‍රමාණය 31,000 ක් පමණ වේ. තවත් රාජ්‍ය විශ්ව විද්‍යාල හතරකට අමතරව, කාර්මික විද්‍යාල 38 ක් සහ අනුබද්ධිත විශ්ව විද්‍යාල 8 ක් ඇති අතර ඒ සියල්ල හරහා තවත් නවක සිසුන් 185,000 කට අධික ප්‍රමාණයකට වාර්ෂිකව උසස් අධ්‍යාපන වරම් හිමි වේ. ඒ අනුව වසරකට නොමිලේ උසස් අධ්‍යාපන වරම් හිමිවන නවක සිසුන් සංඛ්‍යාව 216,000 ක් පමණ වේ. එය සෑම වසරකම අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්වන සිසුන් සංඛ්‍යාව වන 150,000- 160,000 ප්‍රමාණය ඉක්මවා ඇත.

මෙම ආයතනවල ප්‍රමිතීන් නඟා සිටුවීමට රජය විසින් දක්වන අව්‍යාජ උනන්දුව නිසා උසස් අධ්‍යාපන අංශය මෑතක සිට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ තිබූ ප්‍රමාදයන්ද මේ වනවිට විසඳෙමින් පවතී. ප්‍රතිපත්ති කාලානුරූපව සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය ඉක්මන් හා ප්‍රතිචාරාත්මක ක්‍රියාවලියක වැදගත් අංගයන් වේ.

පසුගිය වසරවලදී රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය ඉමහත් දායකත්වයක් ලබා දී ඇතත්, එම අංශයේ ඉගැන්වීම් හා පුහුණු වැඩසටහන් වල අනුකූලතාව සහ ගුණාත්මකභාවය නිතිපතා අධීක්ෂණය කිරීම හා පවත්වා ගැනීම සඳහා විධිමත් නියාමනයක් හා ප්‍රමිතිකරණයක් ප්‍රමාණවත් නොවීම ගැටළුවකි. ශ්‍රී ලංකාව නිදහස් වෙළඳපොල ආර්ථිකයකට දොරටු විවර කළ විට බොහෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම මතු විය. සුදුසු යාන්ත්‍රණයන් ඇති නම් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතීන් සහ විශිෂ්ටත්වය ජාත්‍යන්තර මට්ටම දක්වා ඉහළ නැංවීම අසීරු නොවන බව මගේ හැඟීමයි.

 

ගෝලීය වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට බල පා ඇති ආකාරය

ගෝලීය වසංගතයක් දක්වා විකාශනය වී ලොව පුරා රටවල් සියල්ලම පාහේ අකර්මණ්‍යකර ඇති නව කොරෝනා වෛරසය නිසා ශ්‍රී ලංකාවද දැවැන්ත අර්බුධයකට මුහුණ දෙමින් සිටින බවට සැකයක් නැත. රටේ අනෙකුත් කර්මාන්ත අංශ හා සසඳන විට මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අංශයට විශාල වශයෙන් බලපා නොමැති බව පැවසිය හැකිය. කෙසේ වෙතත්රට තුළ ඇඳිරි නීතිය සහ ගමන් තහනම් පැනවීමත් සමඟ සැලසුම් කළ ක්‍රියාකාරකම් හා මුලපිරීම් බොහොමයක් ප්‍රමාද වී ඇති බව සත්‍යයකි. මෙම තත්ත්වය අඛණ්ඩව පවතින්නේ නම්උසස් අධ්‍යාපන අංශයද අනෙක් බොහෝ අංශ මෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට පත් වනු ඇත. විවිධ අධ්‍යයන වැඩසටහන් සහ විභාග මේ වන විට නවතා දමා ඇති නමුත් රට ඉක්මනින් යථා තත්ත්වයට පත් වී මග හැරුණු සියල්ල නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර පාසල්වල බොහෝ ක්‍රියාකාරකම් හා කාලසටහන් ප්‍රමාද වීමත් සමඟ(උදාහරණයක් ලෙස කේම්බ්‍රිජ් සහ පියර්සන් එඩෙක්සෙල් අ.පො.ස. උසස් පෙළ විභාගවල මැයි/ජුනි සැසිවාර කල්ගොස් ඇත) රාජ්‍ය නොවන අංශයේ අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යම් බලපෑමක් ඇති වී ඇත. කෙසේ වෙතත්වෙනත් විකල්ප ක්‍රියාමාර්ග සමඟ රාජ්‍ය නොවන අංශයට ඉක්මනින් මේ තත්ත්වය සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. උදාහරණයක් ලෙස කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් විසින් සිසුන්ගේ ශ්‍රේණි සම්බන්ධයෙන් තමන් සතු දත්ත සහ පාසල්වල දත්ත විශ්ලේෂණය කර විභාග අපේක්ෂකයින්ට සාමාර්ථ පදානය කිරීමට තීරණය කර තිබීම දැක්විය හැකිය. තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සමඟ බොහෝ උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් විද්‍යුත් ඉගෙනුම්මිශ්‍ර ඉගෙනුම් හා දුරස්ථ ඉගෙනුම් ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කරන බව අපට පෙනේ. මෙය අධ්‍යාපනයේ අනාගතය වනු ඇතැයි මා විශ්වාස කරන තත්ත්වයකි.

 

මේ අර්බුදය ශ්‍රී ලංකාවට අගනා අවස්ථාවක් බවට පත් කරගත හැක්කේ කෙසේද ?

සෑම අර්බුදකාරී තත්වයක් සමඟම ධනාත්මක අවස්ථාවන්ද පැමිණෙන බව අප අත්දකින සත්‍යයකි. ශ්‍රී ලංකාව දශකයකට ආසන්න කාලයක් තිස්සේ දැනුම කේන්ද්‍රස්ථානයක් බව පත් වීමට උත්සාහ කරමින් සිටියද, හේතු ගණනාවක් නිසා එය සාක්ෂාත් කර ගැනීම ප්‍රමාද වී ඇති බව පිළිගත යුතුය. බොහෝ සංවර්ධිත රටවල් කාලෝචිත ලෙස ක්‍රියා කිරීමට ප්‍රමාද වීම නිසා නව කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වී ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙමව්පියන් තම දරුවා විදේශගත කළ යුතු දැයි දෙවරක් සිතා බැලීමට පෙළඹී ඇත.

අතීතයේ දී ශ්‍රී ලංකාව සිය අසල්වැසි රටවල් අතර උසස් අධ්‍යාපන අංශය ප්‍රවර්ධනය කර ඇතත්, බොහෝ ශිෂ්‍යයින් සංවර්ධිත රටවල් තමන් අධ්‍යාපනය ලැබීමට කැමති රට වශයෙන් තෝරා ගැනීම නිසා අපට සාර්ථක වීමට තිබූ අවස්ථාවන් අවම විය. නමුත් දැන් උදා වී ඇති තත්ත්වය නිසා ජාත්‍යන්තර ප්‍රමිතියේ අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කළහොත් දේශීය උසස් අධ්‍යාපන ආයතනයකට සිය දරුවන් යොමු කිරීමට දෙමාපියන් කැමැති වනු නොඅනුමානය. එපමණක් නොව කලාපීය මට්ටමින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමටත් මෙය රටට අගනා අවස්ථාවක් විවර කරයි. මේ තත්ත්වය අඛණ්ඩව වර්ධනය කරගෙන පසුකාලීනව ගෝලීය අධ්‍යාපන කේන්ද්‍රයක් බව පත් වීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතුව පවතී.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලදුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් දේශීය අධ්‍යයන වැඩසටහන් පරාසය මෙන්ම විදේශීය උපාධි පිරිනමනු ලබන විවිධ අන්තර්ජාතික අධ්‍යාපන (Transnational Education  – TNE) වැඩසටහන් කලාපීය රටවල ප්‍රවර්ධනය කිරීමටත් මාලදිවයින, මියන්මාරය, පකිස්තානය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ චීනය වැනි රටවල ජාත්‍යන්තර සිසුන් මෙරටට ආකර්ෂණ කරගැනීමටත් මෙය අගනා අවස්ථාවක් විවෘත කරන බව  පැවසිය හැකිය.  

 

දේශීය ශාස්ත්‍රීය වෘත්තිකයින් සතු දැනුම සහ විශේෂඥතාවය

ශ්‍රී ලංකාව විදේශීය විශේෂඥතාවය ලබා ගැනීමට ප්‍රමුඛතාවයක් ලබාදෙන ප්‍රවණතාවයක් අතීතයේ සිටම පවතින නමුත් මෙරට සතුව විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි ඉතා දක්ෂප්‍රවීණබුද්ධිමතුන් රැසක් සිටින බව නොරහසකි. උදාහරණයක් ලෙසවර්තමාන ගෝලීය වසංගතය සළකා බැලුවහොත් විදේශයන්හි සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් එම සටනේ පෙරමුණ ගෙන සිටීම දැක්විය හැකිය. ඕස්ට්‍රේලියාවඑක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල ශ්‍රී ලාංකික පර්යේෂකයින්චින්තන නායකයින් සහ විද්‍යාඥයින් මෙම වසංගතය ඉදිරියේ අතිවිශිෂ්ට උපදෙස් හා විසඳුම් ලබා දෙමින් සිටිති. මේ පිළිබඳ මගේ පෞද්ගලික මතය නම්බොහෝ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අපට දේශීය වශයෙන් ප්‍රමාණවත් විශේෂඥයින් සිටින අතරඅපට ඉතා අළුත් දෙයක් සඳහා මිස විදේශ විශේෂඥයින්ගේ සේවය ලබාගැනීමේ අවශ්‍යතාවයක් අපට නොමැත.

අනෙකුත් බොහෝ රටවල් උසස් අධ්‍යාපනය හා පුහුණුව සඳහා සිය වෘත්තිකයන් පිටරට යවන අතර ඔවුන් ආපසු සිය මව් රටට පැමිණ ඔවුන්ගේ ක්ෂේත්‍රවල දායකත්වය ලබා දෙයි. සමහර රටවල් ඒවාට අනුග්‍රහය දැක්වීමට පවා ඉදිරිපත් වෙයි. අවාසනාවකට මෙන්ශ්‍රී ලංකාවෙන් විදෙස් ගත වන ස්වල්ප දෙනෙක් ආපසු පැමිණීමට මැලිකමක් දක්වන්නේ ඔවුන්ට නැවත මෙරටට පැමිණි විට විදේශයන්හි තරම් පුළුල් අවස්ථාවන්වාසිදායක වාතාවරණයක් හෝ ගැළපෙන තනතුරු ලැබීමට අවස්ථාවක් නොමැති වීම නිසාය. රටක් වශයෙන් අපි උසස් අධ්‍යාපනය සඳහා විද්වත් වෘත්තිකයන් පිටරට යවන විටඔවුන් පිළිබඳව සොයා බැලිය යුතු අතරඔවුන් ආපසු පැමිණි පසු ඔවුන්ගේ විශේෂඥ දැනුමේ ප්‍රයෝජනය ලබාගැනීම සඳහා ඔවුන්ට සුදුසු තනතුරු සහ ප්‍රතිලාභ සහිත දිරිගන්වන පරිසරයක් නිර්මාණය කළ යුතුය.

 

රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන්හි අධ්‍යාපනයේ ගුණාත්මකබව අධීක්ෂණය කිරීම සඳහා නියාමනයන් පැනවීම   

වැඩිවන අධ්‍යාපන ඉල්ලුමට සරිලන ඉහළ ධාරිතාවක් සහිත රාජ්‍ය නොවන අංශය පසුගිය දශකය තුළ    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වශයෙන් දායක වී ඇත. අප කවුරුත් දන්නා පරිදි රාජ්‍ය අංශය සඳහා නියාමන ආයතනයක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවතින අතර රාජ්‍ය නොවන අංශය නියාමනය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ එන රාජ්‍ය නොවන අංශය යටතේය. රට තුළ ලබා දී ඇති සියලුම උසස් අධ්‍යාපන සුදුසුකම් සඳහා ජාතික වශයෙන් ස්ථාවර රාමුවක් වන ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (Sri Lanka Qualifications Framework  – SLQF) හඳුන්වා දීමත් සමඟ මෑත වසරවලදී රාජ්‍ය හා රාජ්‍ය නොවන යන දෙඅංශයන්ම ඊට අනුකූල වීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් අධ්‍යාපන ආයතන එම තත්ත්ව සහතික ක්‍රමයට සැබවින්ම අනුකූලද යන්න නිතිපතා මැනීමට හෝ අධීක්ෂණය කිරීමට අධිකාරියක් නොමැත. එබැවින් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන තත්ත්ව සහතික කිරීමේ කොමිෂන් සභාවක් පිහිටුවා එය සෘජුවම ඉහළම අධිකාරියට අවශ්‍ය නම් ජනාධිපතිවරයාට හෝ සෘජුවම වාර්තා කරන ක්‍රමවේදයක් සකස් විය යුතුය. මෙම කොමිෂන් සභාව වරින් වර, අවම වශයෙන් වසරකට වරක්වත් අධ්‍යාපන ආයතනයවලට ගොස් විගණනයන් හා තත්ත්ව පරීක්ෂාවන් සිදුකර බැලීම අවශ්‍ය වේ. සම්පත්දායකයින්, යටිතල පහසුකම්, විවේක පහසුකම් යනාදී විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් සියලු උසස් අධ්‍යාපන ආයතනවලට අවම ප්‍රමිතීන් හඳුන්වා දිය යුතු අතර, ඔවුන්ගේ සියලු ඉගැන්වීම් හා පුහුණු වැඩසටහන් වලදී ගුණාත්මක ප්‍රමිතීන්වලට අනුකූල වීම අනිවාර්ය කළ යුතුය.

 

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය  තවදුරටත් ශක්තිමත් කළ යුතුය  

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වර්තමානයේ එය සතුව ඇති සම්පත්, හැකියාවන් සහ අවම මිනිස් බලය සමඟින් උපරිම ලෙස ක්‍රියාත්මක වන බව පැවසිය හැකිය. සුදුසු අධීක්ෂණ හා විගණන යාන්ත්‍රණ ස්ථාපිත කිරීමෙන් මෙම අංශය සැබවින්ම ශක්තිමත් කළ හැකි අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන අංශයට ඉහළ සුදුසුකම් ලත් අධ්‍යයන වෘත්තිකයින් පත් කිරීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය. ඒ හරහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය සවිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බොහෝ පියවර පහසුවෙන් ගත හැකිය.

උදාහරණයක් ලෙස මෙරට අන්තර්ජාතික අධ්‍යාපන (TNE) ආයතන අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය  වන්නේ ඒ අදාළ අනුබද්ධ විශ්ව විද්‍යාලවල කීර්තිමත් බව හෝ ඒ හරහා ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ප්‍රමාණවත් හා පිළිගත හැකි මට්ටමක තිබේද යන්න පිළිබඳව කිසිවෙක් නොදන්නා බැවිනි. ශ්‍රී ලංකාව දැනුම කේන්ද්‍රයක් බවට පත්වීමට නම් උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නියාමනය කර ප්‍රමිතිගත කළ යුතුය. උදාහරණයක් ලෙස, MBA උපාධියක් හැදෑරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති විකල්පයන් ඕනෑ තරම් ඇති අතර මෙම වැඩසටහන් මාස 6 ක්, මාස 8 ක් හෝ වසරක් දක්වා විවිධාකාර වේ. එය එසේ නොවිය යුතුය. එයට යම් නිශ්චිත මට්ටමක ගුණාත්මකභාවයක් හා අවම ප්‍රමිතීන්ට අනුකූලතාවක් තිබිය යුතුය. ශ්‍රී ලංකාව දැනුම කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැක්කේ එවිට පමණි.

රාජ්‍ය නොවන අංශය විසින් සිදු කරනු ලබන ආයෝජන හා මෙහෙයුම්වල දැවැන්ත ස්වභාවය නිසා  ඊට අනිවාර්යයෙන්ම රජයෙන් ප්‍රමාණවත් සහායක් හිමි විය යුතු වේ. එම ආයතනවලට අවශ්‍ය විවිධ ණය පහසුකම්, සහනාධාර, ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ආදිය රජය විසින් ලබාදීමට කටයුතු කිරීම එනිසා ඉතා වැදගත් වේ. ඒ සඳහා නියත වශයෙන්ම ආධාරක ව්‍යුහයක් තිබිය යුතු අතර රජය අතින් වැඩි දායකත්වයක් හා මැදිහත් වීමක් සිදුවිය යුතුය. රාජ්‍ය නොවන අංශයෙහි අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවය අනුව පෙළ ගස්වා ඊට ප්‍රතිචාර දැක්වීම තුළින් ක්‍රියාවලීන් පහසු සහ කාර්යක්ෂම කිරීම එහි වැදගත් කොටසකි.

 

සිය`ඵ අධ්‍යාපන අංශ අමාත්‍යාංශ එකක් හෝ දෙකක් යටතට පැමිණිය යුතුය

අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය සඳහා වශයෙන් අමාත්‍යාංශ දෙකක් පැවතිය යුතු බව මගේ විශ්වාසයයි. 13 ශ්‍රේණියෙන් ඔබ්බට ගිය ඕනෑම අධ්‍යයන වැඩසටහනක් හැඳින්වෙන්නේ උසස් අධ්‍යාපනය ලෙසයි. ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා වැනි සුදුසුකම් ලබා දෙන අධ්‍යයන වැඩසටහන් සහ ඒ හා සම්බන්ධ විවිධ වැඩසටහන් වර්තමානයේදී විවිධ අමාත්‍යාංශ යටතේ පවතිනු දැකිය  හැකිය. එය ඉතා ව්‍යාකූල වන අතර ප්‍රතිපත්ති ප්‍රමිතිය ක්‍රියාත්මක කිරීමේදී සීමාවන් ඇති කරයි. රටේ සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉහළින් එක් අමාත්‍යාංශයක් පමණක් තිබිය යුතු බව මගේ යෝජනාවයි. මෙම අමාත්‍යාංශය යටතේ අවශ්‍ය ආකාරයට උප අංශ, ලේකම් කාර්යාල වශයෙන් අනු අංශ පවත්වා ගෙන යා හැකිය.

උදාහරණයක් වශයෙන් ගත් කළ අන්තර්ජාතික අධ්‍යාපන අංශය කිසිදු අධිකාරියක් යටතේ පාලනය නොවීම දැක්විය හැකිය. එයින් අදහස් වන්නේ විදේශීය විශ්ව විද්‍යාලයක අනුමැතිය ඇති ඕනෑම ආයතනයකට ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන් කිසිදු රෙගුලාසියකින් තොරව දේශීයව පැවැත්විය හැකි බවයි. එබැවින් ඔවුන්ගේ සුදුසුකම් කාර්යසාධනය සහ බෙදා හැරීමේ හැකියාව නිරීක්ෂණය කිරීම සඳහා මෙම අධ්‍යාපන ක්ෂේත්‍රය අංශය ද අමාත්‍යාංශයකට යටත් විය යුතු බව මගේ විශ්වාසයයි.

 

ශ්‍රී ලංකාවට දැනුම කේන්ද්‍රයක් වශයෙන් කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වඩා වැඩි පිළිගැනීමක් අත්පත් කරගත හැක්කේ කෙසේද   

ශ්‍රී ලංකාව සැබැවින්ම ඉතා සුන්දර සහ ලෝක සිතියමේ වැදගත් තැනක ස්ථානගත වූ පැහැදිලි ඉදිරි ගමනක් ඇති රටකි. මෙහි නිවර්තන දේශගුණය හා සුවිශේෂී දේශීය සංස්කෘතිය ආගන්තුකයින්ගේ ආදරයට ලක් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව සතුව පවතින සම්පත් ප්‍රමාණය අති මහත්ය. මේ සියල්ල සහ තවත් ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ බොහෝ ලක්ෂණ නිසා අපට පහසුවෙන් උසස් අධ්‍යාපනය සඳහා ජනප්‍රිය කේන්ද්‍රස්ථානයක් බවට පත් විය හැකිය. මේ දක්වා ශ්‍රී ලංකාව අධ්‍යාපනය ලැබීමට සුදුසු රටක් වශයෙන් ප්‍රවර්ධය සිදු කළේ උසස් අධ්‍යාපනය සපයන ආයතන විසින්මය. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වී         ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපන ගමනාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ක්‍රියාකාරීව මැදිහත් විය යුතු කාලය එළඹ ඇති බව මගේ විශ්වාසයයි. මම පෞද්ගලිකවම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උසස් අධ්‍යාපනය ප්‍රවර්ධන අංශය සඳහා උපදේශකයෙක් වශයෙන් කටයුතු කරන්නෙමි. මේ අරමුණ වෙනුවෙන් ‘Study in Sri Lanka’ තේමාව යටතේ දැනටමත් අපි නිපදවා ඇති මිනිත්තු 5 ක  ප්‍රවර්ධන වීඩියෝව ඒ සඳහා ගෙන ඇති එක් උත්සාහයකි. මේ ආකාරයේ තවතවත් වැඩසටහන් සමඟ රජය විසින් ක්‍රියාකාරීව මීට සම්බන්ධ වීම දැන් කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.

 

ඕනෑම දෙමාපිය යුවළක් හෝ ශිෂ්‍යයෙක් තම සුදුසුකම් ලබා ගැනීමට කැමති වන්නේ විශ්ව විද්‍යාලයකින් විනා අධ්‍යාපන ආයතනයකින් නොවේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන අංශයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සත්‍යය මෙයයි. මෙය විසඳීම සඳහා රජය මැදිහත්ව රාජ්‍ය නොවන අංශයේ අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල, අනුබද්ධිත විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන වශයෙන් වර්ගීකරණයක් සිදුකළ යුතු බව මගේ විශ්වාසයයි. මැලේසියාව සහ ඉන්දියාව මේ සඳහා උදාහරණ වේ. එසේ කිරීමට අපොහොසත් වීමෙන් විදේශීය සිසුන් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට මැලිකමක් දක්වනු ඇත. දේශීය උපාධි මෙන්ම අන්තර්ජාතික අධ්‍යාපන උපාධි ද නිදහසේ තෝරා ගැනීමට අවස්ථාව තිබිය යුතු බව මම යෝජනා කරමි.

 

විදේශීය සිසුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව සහ ධාරිතාවය

දැනුම කේන්ද්‍රයක් බවට පත් වීමේ අදහස සාර්ථක කර ගැනීමට සහ විදේශයන්හි සිටින සිසුන් මෙරටට ආකර්ෂණය කරගැනීමට නම් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සහ වීසා බලපත්‍ර සම්බන්ධ සීමාවන් ලිහිල් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය හොඳින් අධ්‍යයනය කර සුදුසුකම් ලත් සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි අදාළ සංශෝධනයන් සිදු කළ යුතුය. වීසා බලපත්‍ර කෙටි කාලීන ඒවා නොවී අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් රට තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා දෙන බලපත්‍ර විය යුතු අතර විවිධ පර්යේෂණ කටයුතු සිදු කිරීමට හා ඒවාට සම්බන්ධ වීමට ඔවුන්ට අවශ්‍ය නිදහස ලබා දිය යුතුය. එමෙන්ම ඔවුන්ට සතියකට නිශ්චිත පැය ගණනක් නීත්‍යානුකූලව වැඩ කිරීමට අවස්ථාව ලබාදෙන රැකියා බලපත්‍රයක් ලබා දීමද ඉතා වැදගත්ය. අද අප රට තුළ පවතින ශ්‍රම හිඟයට මෙය එක්තරා විසඳුමක් වනු ඇති අතර නිසැකවම සිසුන්ව ධෛර්යමත් කරමින් ඔවුන්ට වඩාත් සුවපහසු තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. මේ සම්බන්ධයෙන් අදාළ ඉහළ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී. එමෙන්ම රාජ්‍ය අංශය සහ රාජ්‍ය නොවන අංශය යන දෙඅංශයම විශේෂයෙන්ම සිසුන්ගේ නවාතැන් පහසුකම් ඇතු`ඵ භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන උපකරණ හා තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කළ යුතුය.

උසස් අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් මෙන්ම රටේ ප්‍රතිරූපය හා කීර්තිනාමය දෙමාපියන් සහ සිසුන් විසින් අතිශයින්ම වැදගත් කොට සලකන කාරණා වේ. මේ නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශ පර්යේෂණ හැකියාවන් සහ ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් වැඩි දියුණු කිරීම  සඳහා පුළුල් පරාසයක ආයෝජනයන් සිදු කිරීම ඉතා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කර දෙඅංශයේම සහයෝගීතාවය මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කිරීම කලාපීය හා ගෝලීය මට්ටමින් ඉහළ ශ්‍රේණිගත කිරීම්වලට ළඟා වීමට ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇත.

 

ශ්‍රී ලංකාව නව අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ යුතුයි

 

අප අද ජීවත් වෙන පරිසරය, ඩිජිටල්කරණය හා නව්‍යකරණය අපේ දෛනික ජීවිතයේ වැදගත් කොටසක් බවට පත් වී ඇති නවීන පරිසරයකි. එය අවිවාදයෙන්ම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවලින් වඩා නවීන ක්‍රමවේදයන්ට වෙනස් වීමට අපට බල කරන තත්ත්වයකි. සාම්ප්‍රදායික විෂය ක්ෂේත්‍රවල තවදුරටත් සිර වී සිටිනවා වෙනුවට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත යන විෂය ධාරාවන්හි නව අධ්‍යයන ක්ෂේත්‍රයන්ට යොමු වීම එනිසා අපට ඉතාම වැදගත් වේ. එමෙන්ම ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සුදුසු විෂයමාලා සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් වර්ධනය කළ යුතු බව මගේ විශ්වාසයයි. හුදෙක් එකිනෙකා සමඟ තරඟ කරනවාට වඩා රටක් වශයෙන් උපරිම ධාරිතාවයට ළඟා වීම සඳහා එකිනෙකාගේ  සම්පත් බෙදාහදා ගනිමින් පොදු ආර්ථිකයක් යන සංකල්පයට රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශ දෙකම අනුවර්තනය විය යුතුය.

 

මේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා අප යා යුතු මාර්ගය

මෙහිදී අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ අවම වශයෙන් අසල්වැසි රටවලින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහළ තත්ත්වයේ අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම හා එහි ප්‍රතිඑලයක් වශයෙන් සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීම හරහා ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වීමයි. මේ වෙනුවෙන් මීට පෙර මෙහි සාකච්ඡා කළ සියල්ල සාක්ෂාත් කරගැනීම සඳහා අප පහත ආකාරයට ක්‍රියාත්මක විය යුතුය.

 

  1. ගුණාත්මක ප්‍රමිතීන් හා අධීක්ෂණය සවිමත් විය යුතුය

 

රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ දෙකෙහි ගුණාත්මක බව සහතික කිරීම සඳහා වැඩසටහන් සමාලෝචනය සහ ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට අනුගත කිරීම වැනි දැනට ක්‍රියාත්මක යාන්ත්‍රණයන් තවදුරටත් සවිමත් කළ යුතුය. ඉහළම අධිකාරියට හෝ ජනාධිපතිවරයාට සෘජුවම වාර්තා කරන ස්වාධීන තත්ත්ව සහතික කිරීමේ කොමිෂන් සභාවක් වහාම නිර්මාණය කළ යුතුය.

 

  1. පවතින ප්‍රතිපත්ති වෙනස් කිරීම

 

මැලේසියාව හා ඉන්දියාව වැනි රටවල්වල ආකාරයට නිශ්චිත නිර්ණායක මත පදනම්ව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය ආයතන, අනුබද්ධිත විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාලය ලෙස වර්ගීකරණය කිරීම වැනි නව ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. මේ හරහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයට විනිවිදභාවය, සංගතභාවය සහ පාලනය අතින් වඩා සාර්ථක වීමට අවස්ථාව හිමි වේ.

 

  1. රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර සහයෝගීතාවය වර්ධනය කිරීම

 

රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල උසස් අධ්‍යාපන ආයතන එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, එහි ඵලදායීතාවය වර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ පවතින සම්පත් හා හැකියාවන් බෙදාහදා ගත යුතුය. මෙය බෙදාගැනීමේ ආර්ථිකය ලෙස හැඳින්විය හැකි අතර එයින් අදහස් කරන්නේ සහයෝගී පරිභෝජනයයි.

 

  1. සුදුසුකම් ලත් අධ්‍යාපන වෘත්තිකයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම

 

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණ ගන්නන් ලෙස සුදුසුකම් ලත් අධ්‍යාපන වෘත්තිකයන්ම පත්කිරීමට       ශ්‍රී ලංකාව සැමවිටම ප්‍රමුඛත්වය දිය යුතුය. තවද, දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ට නැවත මෙරටට පැමිණීමට දිරිගැන්වීම සඳහා ඔවුන්ට සරිලන වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම, පර්යේෂණ අවස්ථාවන් නිර්මාණය කිරීම වැනි පියවරයන් ගත යුතුය.

 

  1. ශ්‍රී ලංකාව දැනුම කේන්ද්‍රයක් ලෙස විදේශයන්හි ප්‍රවර්ධනය කිරීම

 

දැනුම කේන්ද්‍රස්ථානයක් ලෙස රට ප්‍රවර්ධනය කිරීමේ එකම අරමුණ ඇතිව රාජ්‍ය හා රාජ්‍ය නොවන අධ්‍යාපන අංශවල විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතුය. ඒ හරහා පාකිස්තානය, නේපාලය, මියන්මාරය, භූතානය, චීනය, මාලදිවයින, මැදපෙරදිග සහ බංග්ලාදේශය වැනි හඳුනාගත් රටවල         ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර ශ්‍රී ලංකාව දැනුම කේන්ද්‍රයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සිදු කළ යුතුය.

 

මහාචාර්ය නාලක ජයකොඩි: DSc (Cn),  MSc (Swe), FNI (UK), FCILT (UK), FIMarEST (UK), CMarTech (UK), Master Mariner (Aus), සභාපති – එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව (NI-UK), උපදේශක   – වෘත්තීය සේවා  (අධ්‍යාපන), අපනයන සංවර්ධන මණ්ඩලය, කමිටු සාමාජික – ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව සමාලෝචන මණ්ඩය (ලෝක බැංකුව), කමිටු සාමාජික – රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතන සඳහා අවම ප්‍රමිතීන් කමිටුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, හිටපු සභාපති – ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය