කොරෝනා ව්‍යාප්තියට මුවා වී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු හදිසි මිලදී ගැනීම් ලෙස පෙන්වමින් මිලියන ගණන් වටිනා උපකරණ ගෙන්වන බව අනාවරණය වී තිබේ.

මේ අයුරින් රෝහල් බලධාරීන් හා වෛද්‍යවරුන් ගේ අවශ්‍යතා විමසීමකින් තොරව රැගෙන ආ වෛද්‍ය උපකරණ අතරේ වූ ජංගම සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක්. අයි.ඩී.එච් රෝහලට භාරදීමට උත්සාහ කර ඇතත් එය භාර ගැනීම රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් ඉල්ලා එය ස්ථාපිත කිරීමට ගොඩනැගිලි සකසා තිබියදී කිසිදු පාර්ශ්වයකින් විමසීමක් නොකර හදිසියේ මෙරටට ගෙන් වූ ජංගම සී.ටී. ස්කෑනරය සහිත කන්ටේනරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව අයි.ඩී.එච්. රෝහලේ ඉහළ නිලධාරියකු පැවැසීය.

මේ හේතුවෙන් ප්‍රතික්ෂේප වූ ජංගම සී.ටී. ස්කෑනරය පළාත් සභා රෝහලක් වූ හෝමාගම රෝහලට පෙරේදා (19) වන විට රැගෙන ගොස් ඇතත් එම රෝහලේ එය සවි කිරීමට අවම යටිතල පහසුකම්වත් නොතිබුණු නිසා එම ස්කෑනරය අඩංගු කන්ටේනරය රෝහල් භූමියේ රඳවා තබා ඇත.

චීන ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනත් උපකරණ ලබාගන්නා ව්‍යාපෘතියකින් හදිසි මිලදී ගැනීමක් ලෙස රුපියල් මිලියන ගණනක් වටිනා ජංගම සී.ටී. ස්කෑනරය ලබාගෙන ඇති බවත් මෙරටට ජංගම සී.ටී. ස්කෑනරයක් ගත් පළමු අවස්ථාව මෙය බවත් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. සී.ටී. ස්කෑනර් යන්ත්‍ර මගින් ලබා ගන්නා සේවාව නිසි අයුරින් ජංගම සී.ටී. ස්කෑනරයකින් ලබාගත නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව කොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට සවි කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 300ක් වටිනා වායු පිරිසුදු කරන යන්ත්‍ර (Air Purifter) 300ක් රෝහල්වලින් ඉල්ලීමක් නොමැතිව මිලදී ගැනීමටද සැලසුම් කර තිබී ඇතැයි හෙළිවී ඇත. මෙයට ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරුන් විරෝධය පා ඇතත් මෙම උපකරණ මිලදී ගැනීමට මූලික කටයුතු යෙදූ නිලධාරින්ගේ හිතවත් සමාගමකට ටෙන්ඩරය දිය හැකි අයුරින් පිරිවිතර සකසා ඇතැයි අනාවරණය වේ.

රෝහල්වලින් ඉල්ලීම් කළ පසු උපකරණ මිලදී ගැනීම සාමාන්‍යයෙන් සිදු වුවත් මෙවර උපකරණ සඳහා මිල කැඳවීමෙන් පසුව රෝහල්වලට උපකරණ අවශ්‍ය නම් දැනුම් දෙන ලෙස දන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙක් පෙන්වා දුන්නේය.

මෙම උපකරණ සමග කොවිඩ් රෝගීන් සඳහා තැනින් තැනට ගෙනයා හැකි එක්ස්රේ යන්ත්‍ර 24ක් මිලදී ගැනීමටද උත්සාහ කර ඇතත් විකිරණවේදීන් ඊට විරෝධය පළ කර ඇත. කොවිඩ් පාලනයට හදිසි මිලදී ගැනීම් මුවාවෙන් මෙම උපකරණ මිලදී ගැනීමට යන අතරේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර හතරක් හදිසියේ මිලදී ගැනීමට කළ සැලසුමක්ද අනාවරණය වී ඇත.