කොරෝනා වයිරසය කිසිම දිනෙක තුරන් නොවීමට ඉඩ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි. මේ රෝගය සඳහා එන්නතක් සොයා ගනු ලැබුවද වයිරසය මැඬපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ හදිසි තත්ත්ව අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මෙසේ පැවැසුවේ වයිරසය ඉක්මනින් තුරන් වනු ඇති බවට කරන අනාවැකිවලට අනතුරු හඟවමිනි.

මේ වන විට ලෝකයේ ලක්ෂ 43කට අධික ජනතාවකට වයිරසය ආසාදනය වී ඇති අතර ලක්ෂ තුනකට අධික පිරිසක් එම රෝගයෙන් මියගොස් ඇත.

ඒඩ්ස් වයිරසය මෙතෙක් ලෝකයෙන් තුරන් වී නැතත් ඒ සඳහා ක්‍රමෝපායන් යොදාගනිමින් ජීවත්වීමට අපි ඉගෙනගෙන ඇත්තෙමු.

එසේම මෙම කොරෝනා වයිරසයද ලෝක ප්‍රජාව සමඟ පවතින වයිරසයක් වනු ඇති බවද එය තුරන් නොවනු ඇති බවද ජිනීවාහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කළ වෛද්‍ය රයන් එය තුරන් වන දිනක් ගැන අනාවැකි කීමට කිසිවකුට හැකි යැයි තමා විශ්වාස නොකරන බව පැවැසීය.

මේ වන විට කොරෝනා සඳහා සාර්ථක විය හැකි එන්නත් වර්ග සියයක් පමණ අත්හදා බලමින් තිබෙන බව සඳහන් කළ වෛද්‍ය රයන් එනමුත් එන්නතක් සොයාගත්තද සරම්ප රෝගය තවම ලෝකයෙන් තුරන්ව ගොස් නොමැති බවද පෙන්වා දුන්නේය.

රු කාරියවසම්