ලංකාව බ්‍රිතාන්‍යයේ කොලනියක්ව පැවැති සමයේ සුදු නිලධාරියකු පාර දිගේ ඇවිදගෙන එන විට මඟ ගමන්ගත් අහිංසක සිංහල මගීන්ට කරේ තිබූ ලේන්සුව අතට ගෙන කානුවට බහින්නට සිදුවිය.

දැන් වෙන්නේ ඒකේ අනෙක් පැත්තය. අද උදේ මම Tesco supermarket එකට යන විට අඩිපාරේ ආපසු පැමිණි පළමුවැනි සුද්දා කානුවට බැස මට ඉඩ දුන්නේය.  තව මීටර් කිහිපයක් මම ඉදිරියට ගියා පමණි. Tesco  සිට සිලින් බිලින් බෑග් පුරා එළවළු හා චොක්ලට් අරන් පැමිණි සුදු පවුලේ අම්මා, තාත්තා හා ළමයි හතර දෙනාම පාරෙන් ඈත ගහක් යටට මුවා වී මා යනතුරු නැවතී සිටියේය.

පත්තරේ සමඟ කිරි බෝතලයකුත් අරගෙන මා ආපහු එන විටද පෙර කී සැලකිල්ල අඩුවක් නොවීය. ඇල්ශේෂන් බල්ලකු සමඟ ආ සුද්දියක් ගුඩ්  මෝනිං කියා මට ආචාර කරමින් කානුවට පැන්නාය.

අවුරුදු 133ක් අපේ රටේ සාරය උරාබීම ගැන සමාව ඉල්ලීම සඳහා අපේ පාරේ සුද්දන් මට මෙලෙස ගරු කරනවා කියා ඔබ හිතනවා ඇත. අපොයි නැත. මේ සුද්දන් මට පාර ඉඩදී ඈත් වෙන්නේ මීටර් දෙකේ සමාජ දුරස්ථ නීතිය අකුරටම පිළිපැදිය යුතු නිසාය.  මස් කඩේදීත් පාක් එකේදීත් සුපර්මාකට් එකේදීත් සුරතල් සතුන් විකුණන සාප්පුවේදීත් මීටර් දෙකක එකිනෙකා අතර පරතරය තබා ගැනීමට සුදු ජාතිකයෝ දැන් වගබලා ගනිති.

මාස දෙකකට කිට්ටු කාලයක් තිස්සේ ලොක්ඩවුන් වීම නිසා බ්‍රිතාන්‍යය පුරවැසියන් හොඳටම හෙම්බත් වී ඇති බවත් ගෘහස්ථ හිංසා පීඩා ගැන පොලිසියට ලැබෙන පැමිණිලි ප්‍රමාණය 40%කින් පමණ වැඩිවී ඇති බවත් ගිය සතියේ මා ඔබට කියුවෙමි. නමුත් ඉතා බලවත් මානසික අසහනය මැද්දේ වුවද දවසේ වැඩි කාලයක් ගෙදරට වී සිටීමට හා එළියට යනවා නම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමටත් දැන් මෙහි පුරවැසියෝ බලවත් උත්සාහයක් දරති.

මෙයට ප්‍රධාන හේතුව ලොක්ඩවුන් නීති හරියට පිළිපදිමින් ගෙදරට වී සිටීමෙන් ජාතික සෞඛ්‍ය සේවයට සහයෝගය දුනහොත් සති දෙකකින් පමණ නීතිරීති ලිහිල් කරන බව අප්‍රේල් 27දා රජය ජනතාවට පොරොන්දු වීමයි.  ජනතාව එයට ඇහුම්කන් දී ගෙදරට වී සිටි නිසා බි්‍රතාන්‍යයේ කොරෝනා රෝග වර්ධනය පුදුමාකාර ලෙස අඩු වී තිබේ.

මාර්තු මාසයේදී ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මහාචාර්යවරු රජයට අනතුරු ඇඟවූයේ කොරෝනා රෝගය රටපුරා සීග්‍රයෙන් වර්ධනය වී 250,000ක පිරිසක් මරණයට පත්වන බවත් වයස 70ට වැඩි අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් 50,000කට පමණ ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකක ඇඳන් බ්‍රිතාන්‍යයේ රෝහල් තුළ නැති බවය.

විශේෂඥ පුහුණුවට බ්‍රිතාන්‍යයට පැමිණ කොරෝනාවට බයේ ආපහු තමන්ව ලංකාවට ගෙනයන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ‍දොස්තරවරු 85 දෙනකු විසින් යවන ලද ලියුමේ සඳහන් කර තිබුණේ මෙම 250,000 මරණ කතාවය.

බ්‍රිතාන්‍යය රජය මෙම වෛද්‍යවරුන්ගේ අනාවැකියට කොපමණ බයවූවාදැයි කියනවා නම් රෝගීන් 2000කට එකවර ප්‍රතිකාර කළ හැකි නයිටින්ගේල් නමැති ඇඳන් 4000ක් සහිත අලුත්ම රෝහලක් යුද හමුදාව ලවා දවස් 11ක් තුළ ගොඩනැඟුවේය. ලන්ඩන් නයිටින්ගේල් රෝහල විවෘත කළේය.

ඉන් නොනැවතුණු රජය බර්මින්හැම්, බ්‍රිස්ටල් එක්සෙටර් හා හැරොගේට් නගරවලත් සති දෙකකට අඩු කාලයකදී තවත් නයිටින්ගේල් රෝහල් හතරක් ගොඩනැඟුවේ ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ වෛද්‍ය මහාචාර්ය වෛද්‍යවරුන් කියා තිබූ අන්දමේ වියපත් 30,000කට පමණ කොරෝනා වැලදුණහොත් ඔවුන් වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරගැනීමටය.

නමුත් ගුරුන්ටත් අකුරු වැරදුණේ එතැනය.  සරසවි මහාචාර්යවරුන් කී පරිදි බ්‍රිතාන්‍යයේ මරණ ගණන 250,000ක් වූයේ නැත.  මේ ලියන සදුදා  වනවිට එක්සත් රාජධානියේ මුළු කොරෝනා මරණ ගණන 28,000කි. දෛනික මරණ ගණනත් 500ටත් අඩුය.  චාර්ල්ස් කුමාරයා විසින් විවෘත කළ ලන්ඩන් නයිටින්ගේල් මහ රෝහලේ පාස්කු ඉරිදා සිටියේ රෝගීන් 19 දෙනකු පමණි. ජාතික සුව සේවයේ ධාරිතාව වැඩි කරගැනීමට කඩිමුඩියේ ගොඩනැඟූ නයිටින්ගේල් රෝහල් තුනකට එකම ලෙඩෙකුවත් ඇතුළු කරගන්නට අවශ්‍ය වී නැත.

කොවිඩ් රෝගියකු තම සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කෙරෙන බෙහෙත් පාවිච්චි කරමින් ගෙදරම විවේක ගතහොත් මෙම වයිරසය ඇඟ තුළම මැරී යා හැකිය. අනෙක් අතට සිරුරේ ප්‍රතිශක්තිකරණ බලය immunity අභිභවා වයිරසය වර්ධනය වී ඔහුගේ ශ්වසන පද්ධතිය තුළින් පෙණහැල්ලට ඇතුළු වුවහොත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇත. එලෙසම වයස 70ට වැඩි වියපත් අය තුළද ප්‍රතිශක්තිකරණය ඉතා හීනය. කොරෝනා වයිරසය ඔවුන්ගේ සිරුරට ඇතුළු වුවහොත් එය පෙණහැල්ලට යෑමට කලින් නවත්වා ගැනීමට ඉතා අපහසුය.

Lockdown නීති ලිහිල් කළත් වැඩිහිටියන් ගෙදර තුළ රැඳී සිටීමට නියෝග කළ යුතු යැයි මෙහි සමහර වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. (නමුත් එම අදහසට වැඩිහිටියන් දහස් ගණනින් දැනටම විරෝධය පළ කරති.)