අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් විණි. විභාග ප්‍රතිඵල නිසා සතුටුවන අය මෙන්ම පීඩාවට පත්ව ඇති අයද බොහෝය. ප්‍රතිඵල නිසා සියදිවි නසා ගැනීමක්ද පසුගියදා මුලතිව්වලින් වාර්තා විය. මෙය මෙරට සෑම විභාග ප්‍රතිඵලයක් අවසානයේදීම අඩුවැඩි වශයෙන් දකින්නට ලැබෙන තත්ත්වයකි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට අධ්‍යාපනය විභාග ඉලක්ක කර සැකසී තිබීමයි. සාමාන්‍ය පෙළ විභාගයට අයකු මුහුණ දෙන්නේ විෂයයන් නවයකටය. ලෝකය යනු මේ විෂයයන් නවය පමණක් නොවේ. කෙනකුට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය නම් තවත් විෂයන් රාශියක් ලොව විවෘතය. එනිසා මේ විෂයයන් නවයෙන්ම අසමත්වුවද ජීවිතයෙන් පලා යා යුතු නොවේ.

අද වනවිට විභාග මානසිකත්වය ක්‍රමිකව මෙරට සිසුන්ගේ මනස ආක්‍රමණය කරමින් තිබේ. විභාග මතම පාසල් අධ්‍යාපනය තීරණය වීම ඉතා කනගාටුදායකය. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් පටන්ගන්නා මෙම විභාග තරගය සාමාන්‍ය පෙළ, උසස් පෙළ වන විට අතිධාවනකාරී තත්ත්වයකට පත්වේ. මෙය වඩා ඛේදනීය බවට පත්වනුයේ පාසල් වාර විභාගද තරගකාරී මට්ටමට පත්වීමත් සමගය. අද පාසල් වාර විභාග පවත්වනුයේ පළාත් මට්ටමින්ය. මේ පළාත් මට්ටමේ ප්‍රශ්නපත්‍ර පොත් වශයෙන් මුද්‍රණය කර ඇත. 80 දශකයේ පැවැති පාසල් අධ්‍යාපන ක්‍රමයේ පාසල් වාර විභාග සඳහා පසුගිය විභාග ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සපයමින් සූදානම් නොවිණි. එකල පාසල් වාර විභාගය යනු ඉතා සැහැල්ලුවෙන් මුහුණදිය යුත්තකි. වර්තමානයේ පාසල් වාර විභාගයද දරුවන්ගේ චිත්ත පීඩාව වර්ධනය කරන්නකි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉලක්ක කරගනිමින් කටපාඩම් අධ්‍යාපනයට අත්පොත් තබන සිසුවා සියලු විභාග කඩඉම් ජය ගනුයේ කටපාඩමිනි. මතක ශක්තිය දියුණු කළ කෙනකුට කටපාඩම් කිරීම අසීරු කාර්යයක් නොවේ.

නූතනයේ සිසුවෙක් යම් විෂයයක් සඳහා ලකුණු 70ක්, 80ක් ලබාගැනීම යනු ප්‍රමාණවත් නොවන්නකි. තම දරුවා සෑම විභාගයකදීම හැම විෂයකටම ලකුණු 90කට ඉහළ අගයක් ලබාගන්නවා දැකීම දෙමව්පියන්ගේ සිහිනයයි. මෙකී තරගය අගනගරය ආශ්‍රිත පාසල්වල තීව්‍රය. අවාසනාව නම් මේ තත්ත්වය අද ගම්බද පාසල්වලටද බෝවෙමින් පැවැතීමයි. මෙම අධ්‍යාපන ක්‍රමයේ ගුරුවරයාගේ භූමිකාව වී ඇත්තේ විෂය නිර්දේශය ආවරණය කිරීම සහ විභාගය සඳහා දරුවාව සූදානම් කිරීමය. එනිසා ගුරුවරුන්ද යාන්ත්‍රික වී ඇත. බාහිරින් යම් දැනුමක් ලබාගැනීමට මේ ක්‍රමය තුළ ගුරුවරයාටද ඉඩක් නැත. මීට දශක හතරකට පමණ පෙර සිටි ගුරුවරුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ විෂය නිර්දේශය ඉගැන්වීම පමණක් නොවේ. ඒසමයේ සිටි අරිසෙන් අහුබුදු වැනි පාසල් ගුරුවරුන් ඉගැන්වීමේ කාර්යයේ යෙදුණේ සිසුන්ට ලකුණු 80ක් 100ක් ලබාදීමේ අරමුණින් නොවේ. පෙර’පරදිග සාහිත්‍ය රසය දරුවන්ට ළංකිරීම සඳහා ඔවුන් කළ මෙහෙවරේ ප්‍රතිඵල ඔවුන්ගෙන් ඉගෙන ගත් සිසු සිසුවියන් දෙස බැලීමෙන් වටහාගත හැක.

එනිසා මේ අධ්‍යාපන ක්‍රමය සිසුවා පමණක් නොව ගුරුවරයාද පීඩාවට පත්කර ඇත. අධ්‍යාපනයේ සියලු දේ පෙළ පොතින්, විෂය නිර්දේශයෙන් ඉගැන්විය නොහැක. ගහකොළ පිළිබඳ දැනීමට, සතාසිවුපාවා පිළිබඳ සිතන්නට දරුවා යොමුකිරීමට නම් පන්ති කාමරයෙන් එළියට යා යුතුය. විෂය නිර්දේශයෙන් එහා යා යුතුය. නමුදු අද නොවෙනුයේද එයමය. මෙලෙස උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගේ මානසිකත්වයද තිබෙනුයේ දැනුම සොයා යාමට නොව විභාගය සමත්වීමටය. හෙළයේ මහා ගත්කතුවරයා යැයි විරුදාවලිය ලැබූ මාර්ටින් වික්‍රමසිංහ යනු විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබූවෙක් නොවේ. වික්‍රමසිංහයන්ගේ පියාණන් මියයාමෙන් පසු බොනවිස්ටාවෙන් ඉවත්වීමට සිදුවීමෙන් ඔහුගේ පාසල් අධ්‍යාපනය අතරමග නතර විය. වික්‍රමසිංහයන් අගනගරයේ උසස් පාසලකට ගොස් විධිමත් අධ්‍යාපනයක් ලැබුයේ නම්, එක් විෂය ධාරාවක් හෝ විෂය කරුණක හිරවී ඔහු හෙළයේ මහා ගත් කතුවරයා නොවීමට ඉඩ තිබිණි. එනිසා නූතනයට චින්තකයන්, ප්‍රාඥයන් බිහිකිරීමට නම් විභාග මානසිකත්වයෙන් මිදුණු අධ්‍යාපනයකට යා යුතුය. විභාගයට ලබන ඉහළ ලකුණු සිසුන්ගේ සාර්ථකත්වය මැනීමට භාවිත වන මිනුම් දණ්ඩක් නොවිය යුතුය.

මේවනවිට ලෝකයේ බොහෝ දෙනා සිටිනුයේ නිවෙස් තුළය. කොවිඩ් වසංගතය නිසා සියලු පද්ධතීන් අඩපණ වී ඇත. නමුත් මේ අඳුරේද අප රිදී රේඛා සොයා යා යුතුය. අද ලොව පුරා පාසල්, විශ්වවිද්‍යාල වැසී ගොසිනි. මේ තත්ත්වය යටතේ විධිමත් අධ්‍යාපනය අද සිදුනොවේ. නමුත් යම් කාලසටහනකට අනුව විෂය නිර්දේශයන් ඉගැන්වීම ආරම්භ වී ඇත. පාසලේ විෂය මාලාවද එලෙස ඉගැන්වීමට කටයුතු කරමින් තිබේ. එහෙත් නැවත විෂය මාලා උගන්වමින් කාලය කා දැමිය යුතු නොවේ. මේ විරාමය යොදාගත යුත්තේ මේ සාම්ප්‍රදායික විෂය නිර්දේශය ඉගැන්වීමෙන් බැහැරවූ නව ප්‍රවේශයකට යොමුවීමටය.

නගරයෙන් බැහැර ගම්බදව වෙසෙන දරුවන්ට ඇළක, දොළක, ගහක කොළක සුන්දරත්වය විඳීමට යොමුකිරීම වැදගත් නොවේද? නමුත් අද ඒ ගම්බද දරුවන්ට ද කුමක් හෝ තාක්ෂණයක් ඔස්සේ විෂය නිර්දේශයම එබ්බවීමට උත්සාහ ගනු පෙනේ. එන්න අපි විෂය නිර්දේශය ආවරණය කරමු, එසේ ආවරණය කර විභාග ලියමු යන පැරණි තැටියම නැවත වාදනය වෙමින් තිබේ. පාසලෙන් නොලැබුණු අධ්‍යාපනයන් මේ කොරෝනා විරාමයේදී දරුවන්ට ලබාදීමට උත්සාහ කිරීම දෙමව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද යුතුකමකි.

සිසුන්ට පමණක් නොව ගුරුවරුන්ටද මේ විරාමය තම විෂය නිර්දේශයට එහා ගිය දැනුමකින් සන්නද්ධ වීමට උපයෝගී කරගත හැකිය. විශ්වවිද්‍යාල ගුරුවරුන්ටද තම ශාස්ත්‍රීය ඥානය වර්ධනය කර ගැනීමට මේ සමය යොදාගත හැකිය. නව දැනුම් සොයා යා හැකිය. නමුත් සිදුවනුයේ ගුරුවරුන්වද කිනම් හෝ ක්‍රමයක් මගින් විෂය නිර්දේශය දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියට සහභාගිකර ගැනීමක් පමණකි. එසේ සිදුකර නියමිත කාලසීමාවන්වල විභාග පැවැත්වීම පමණක් අරමුණු වී ඇති බව පෙනේ. 88/89 භීෂණ සමයේ මෙරට පාසල් විවෘතව නොතිබිණි. මා එසමයේ උසස් පෙළ හදාරමින් සිටි සමයයි. මා කියවන්නට, ලියන්නට යොමුවුණේ ඒ කාලයේ ලැබී තිබූ ඒ නිදහස් කාලසීමාවේදීය. භාෂාව පිළිබඳ මම කැමැති බොහෝ පතපොත පරිශීලනය කරන්න එ සමයේ හැකියාව ලැබිණි. 88 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ අගෝස්තු මාසයේ නොව දෙසැම්බර් මාසයේදීය.

කොරෝනා වසංගතය නිසා ජුනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර විභාග කල්දමා ඇත. එනිසා පවතින තත්ත්වය යටතේ විභාග කල්දැමීම යනු එරට විභාග කොමසාරිස්ගේ හෝ එරට පවතින රජයේ අසමත්කමේ මිනුම් දණ්ඩක් නොවේ. එනිසා ඉදිරියේදී විභාගයක් තිබේ යන මානසික පීඩාවෙන් දරුවන් නොපෙළා ඔවුනගේ නිදහස් චින්තනය පුබුදුවාලිය හැකි පසුබිමක් සැකසිය යුතුය. දරුවන්ගේ ලේඛන හැකියාව වර්ධනය කිරීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ තව තවත් දරුවන් දිරි ගැන්විය යුතුය. දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට එක්ව එවැනි දේ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසිය හැකිය. මාස දෙකක් පාසල් සහ විශ්වවිද්‍යාල වැසීම යනු මහා අපරාධයක් නොවේ. මෙරට ඉතිහාසයේ එය සිදුවන පළමු අවස්ථාවත් මෙය නොවේ.

මේ ලැබී ඇති මානසික නිදහස නවෝත්පාදන බිහිකිරීමට නව උත්පාදකයන් බිහිකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට යොදාගත යුතුය. එවැනි නව උත්පාදන බිහිවෙමින් තිබේ. හැම දේම පිටරටින් එන තුරු දත නියවා සිටි අප කොවිඩ් වසංගතය දුරලීමට අවශ්‍ය ඇතැම් වෛද්‍ය උපකරණ මෙරට නිපදවා ගැනීමට සමත් වී ඇත්තෙමු. ඒ නවෝත්පාදකයන් අතර පාසල් දරුවන් මෙන්ම විශ්වවිද්‍යාල දරුවන්ද සිටීම සතුටට කරුණකි. විභාග මානසිකත්වයෙන් මිදුණු නිවහල් මනසකට කෙතරම් නව නිපැයුම් කළ හැකිද යන්නට මෙය නිදසුනකි. එසේ නම් අපට අග නගරයෙන් බැහැර ග්‍රාමීයව වෙසෙන දරුවෙක්ට හොඳ කෘෂි නිෂ්පාදකයෙක් වීමට මංපෙන්විය නොහැකි ද? හොඳින් ඉඩකඩ තිබේ නම් වැවීම සිදුකළ හැක. පාසල් අධ්‍යාපනයේ විශේෂ දක්ෂතා නොදැක්වන සිසුන්ට මෙවැනි දේ මගින් ජීවිතය ජයගැනීමේ මගපෙන්වා දිය හැක. සමාජ මාධ්‍ය ජාල තුළ එලෙස කෘෂි භෝග වගා කරමින් සාර්ථක වූවන් පිළිබඳ නිරන්තරයෙන් දක්නට ලැබේ. එවැනි හැකියාවන් ඇති දරුවන් ඉන් මුදා විභාග ලිවීමට විෂය නිර්දේශය උගන්වන්නට යන්නේ නම් එය ජාතියට හොඳ ව්‍යවසායකයෙක් බිහිවීමේ මං ඇහිරීමක් මෙන්ම ඔවුන්ගේ ඉදිරි ජීවිත අඳුරේ හෙළීමක් ද වනු ඇත.

නිකුත් වී තිබෙන සාමාන්‍ය ප්‍රතිඵල අනුව සිංහල විෂයයට, ඉතිහාස විෂයයට විශිෂ්ට සාමාර්ථයක් ලබාගත් දරුවෙක් වුවද උසස් පෙළ සඳහා තෝරාගනුයේ විද්‍යා විෂයයන්ය. කලා විෂයයන් හැදෑරීමට දරුවන්ට ආසාව තිබුණද දෙමව්පියන්ගේ සමාජ ආකල්ප ඊට හරස් වේ. අධ්‍යාපනයේ නියම ප්‍රතිඵල ලැබෙනුයේ අදාළ විෂයයන් හැදෑරීමට තියෙන රුචි අරුචිය අනුවය. තමා තෝරාගන්නා විෂයයන් ඉතා රුචියෙන් හදාරන්නෝ ඉන් උසස් ප්‍රතිඵල ලබාගනිති. ඉන් තම ජීවිත පමණක් නොව ලෝකයද ආලෝකවත් කරති. මහාචාර්ය සරච්චන්ද්‍ර යනු පරිපාලනය සේවයට ගොස් එම සේවයේ ඉහළම පුටුවක් හිමිකර ගැනීමට සුදුසුකම් තිබූ අයෙකි. නමුත් සරච්චන්ද්‍රයන් තෝරාගත්තේ ඔහු වඩාත් කැමැති විෂය ක්ෂේත්‍රයයි. ඔහු ශාන්ති නිකේතනයට යනුයේ කැමැත්තෙනි. තමා කැමැති විෂයයන් ආසාවෙන් හැදෑරීම නිසා ඔහුට සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබීමට හැකිවිය. මහාචාර්ය මලලසේකර යනු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්ථාව තිබියදීත් එය අත්හැර ආසාවෙන් පාලි විෂයයන් හදාරා පාලි මහාචාර්යවරයෙක් වී ලොවම ආමන්ත්‍රණය කළ විද්වතෙකි. තානාපතිවරයෙකි. පාලි හැදෑරූ නිසා ඔහු අදක්ෂයෙක් යැයි කිසිවෙක්ට පැවැසිය හැකිද?

අද මෙරට අධ්‍යාපනයෙන් නව උත්පාදකයන්, ප්‍රාඥයන්, ව්‍යසායකයන් බිහිනොවනුයේ තමා රුචි දේ හැදෑරීමට, කිරීමට නොපෙලඹෙන නිසාය. ඒ සඳහා ඇති මං අහුරා දැමීම නිසාය. අධ්‍යාපනය පිළිබඳ තිබෙන සමාජ ආකල්පය නිවැරැදි නොවන නිසාය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් බුරුතු පිටින් බිහිවනු දැකීම සැමගේ සිහිනයයි. සැමගේම අරමුණ ද එයයි. නමුත් භූගෝල විද්‍යාඥයන් මෙරටට අවශ්‍ය නැතිද? ථෙරවාද බුදුදහම ලොවට ගෙන යා හැකි ප්‍රාඥයන් අපට අවශ්‍ය නැතිද? පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ තමා වෙත බලහත්කාරයෙන් ආරෝපණය කළ විෂය මාලාවක් හදාරන මෙරට අනාගත පරපුර අපේක්ෂාභංගත්වයට පත්වීම වැළැක්විය නොහැක. එය දැයේ හෙට දිනය පිළිබඳ සුබවාදී තත්ත්වයන් නොවනු ඇත.

•සටහන – ලක්මාල් බෝගහවත්ත