කෝවිඩ් -19 වසංගතයෙන් රටට අලුත් සංකල්පයක් හඳුන්වාදී ඇත. නිවසේ සිට රාජකාරී කිරීම හා සීමිත පිරිසක් සේවයට කැඳවීමයි. සෞඛ්‍ය උපදෙස් මත මේ සංකල්පය අපට හඳුන්වා දුන්නත් බොහොමයක් දියුණු රටවලට මෙය අලුත් දෙයක් නොවේ. 

සමාජ දුරස්ථ භාවය මගින් රෝගය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සීමිත පිරිසක් සේවයට කැඳවා ඇත. රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවක පිරිස වෙනුවට සීමිත පිරිසකගෙන් එම ආයතනවල රාජකාරී කටයුතු කරගත නොහැකිද? නිවසේ සිට රාජකාරිය ඉටු කිරීමෙනුත් සාමාජික, සෞඛ්‍යමය හා මානසික පීඩා අවම වෙන බව පැහැදිලිය. මේ ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. එස්. විජේකෝන් මහතාගෙන් විමසුවෙමු.

කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් සේවයේ රඳවා ගෙන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීම වඩාත් ඵලදායි වෙන අතර ජනතාවටද පහසුවෙන් සිය කාර්යයන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. එස්. විජේකෝන් මහතා කීය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ජනතාව සඳහා සුභසාධන ක්‍රියාත්මකවීම බොහෝවිට සිදුවිය. විශේෂයෙන් ජනපදකරණය ආරම්භ වී ජනතාවට සහන ලබාදීමට එවකට පාලකයන් තීන්දු කළේය. මීට අමතරව දේශපාලන පක්ෂ බලයට ඒමේදී සහනාධාර මූලික කර ගත් දේශපාලන ප්‍රවේශයක් ක්‍රියාත්මක විය. එක් පක්ෂයක් අනිත් පක්ෂය අභිභවා යමින් සහන ලබාදීමට පොරොන්දු දීම සිදුවිය.

ඒ අනුව බොහොමයක් ජනතාව තුළ යැපුම් මට්ටමේ මානසිකත්වයක් ඇතිවිය. ඒ සඳහා පුරුදු විය. සමාජ සුභසාධනය යටතේ මේ රටේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යයද එහි ප්‍රතිඵලයක් බව සඳහන් කළ හැකිය. දකුණු ආසියානු රටවල් සමග සාපේක්ෂව බලන විට අපේ රටේ වැඩිම සාක්ෂරතාවයක් පවතී. 96.2ක ප්‍රමාණයකි. නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමෙන් වයස අවුරුදු 72ක ආයු කාලයක් දක්වන බව සඳහන් කර ඇත.

මෙරට නිදහස් අධ්‍යාපනය තුළ ඉගෙන ගැනීමේ අවස්ථාව වැඩි විය. ඒ සමගම රැකියා අවශ්‍යතාවද වැඩි විය. නමුත් ඇතැම් අංශවලට ඒ තත්ත්වය බලපාන්නේ නැත. උදාහරණයක් වශයෙන් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් බවක් නැත. නමුත් කලා, වානිජ අංශවලින් අධ්‍යාපනයට වැඩි පිරිසක් නැඹුරුවීම තුළ රැකියා අවශ්‍යතාවන් වැඩි විය. රටේ ප්‍රවර්ධනයට ප්‍රබල බලපෑමක් නැතත් මේ පිරිස්වලටද රැකියා අවස්ථා ලබාදීමට සිදුවිය.

විශේෂයෙන්ම මේ තත්ත්වය නිසා මෙරට දේශපාලන පක්ෂවලින් රැකියා අවස්ථා ලබාදීමේ පොරොන්දුව කැපී පෙනෙන කරුණක් ​ බවට පත්විය. බලයට පත්වීම සඳහා දෙනු ලබන විශේෂ පොරොන්දුවක් වෙන්නේ රැකියා අවස්ථා ලබාදීමයි. මෙහිදී විශේෂයෙන් රජයේ රැකියා කෙරෙහි ජනතාවගේ බලාපොරොත්තුව වැඩිය. ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර බලයට පත්වීමට ඇති අවශ්‍යතාවන් වන වැඩි වශයෙන් රාජ්‍ය සේවයට යෙදවීමට දේශපාලනඥයන්ට සිදුවිය. ඒ අනුව වරාය, ජලය, ඛනිජ තෙල්, ලංගම, සතොස, පළාත් පාලන ආදී අංශවලට වැඩි වශයෙන් සේවකයන් බඳවා ගැනීම සිදුවී ඇත. පුරප්පාඩු ඇති වුවත් නැති වුවත් ඡන්ද දායකයන්ට ප්‍රති උපකාර කිරීමක් ලෙස සීමාව ඉක්මවා පත්වීම් ලබාදීම සිදුවී ඇත.

අවශ්‍යතාවට ප්‍රමාණවත් වෙන පරිදි හා අවශ්‍යතාව මත රැකියා ලබාදීමත් සිදුවී නැති නිසා අනවශ්‍ය සේවක සංඛ්‍යාවක් බොහොමයක් රාජ්‍ය ආයතනවල සේවයේ යොදවා සිටින බව පැහැදිලිය.

අතිරික්ක සේවක පිරිසක් වුවත් මොවුන්ද නිරන්තරයෙන් සේවයට වාර්තා කළ යුතුව ඇත. පොදු ප්‍රවාහන සේවාවන්වල හුස්ම ඉහළ පහළ දැමීමටවත් නොහැකි වෙන පරිදි හිරවී මිරිකී මේ අයට සේවයට වාර්තා කිරීමට සිදුවී ඇත. නිවසේ සිට කළ හැකි කාර්ය භාරයක් මොවුන්ට පවරා නැත. පැවරුවත් එය කිරීමට පහසුකම් නැත.

අපේ රටේ ජනගහනයෙන් 1000කට රජයේ සේවකයෝ 50ක් සිටිති. ඒ අනුව ජනගහනය 950ක් නඩත්තු කරනු ලබන්නේ රජයේ සේවයේ 50 දෙනෙකි. ජපානය වැනි රටවල අපේ රටේ මෙන් 1/2ක පමණ ප්‍රමාණයක් වෙති. එනම් 2.5ක් පමණය.

ලංකාවේ රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය සම්බන්ධයෙන් දැක්විය හැකි විශේෂ කරුණු කීපයක්. රාජ්‍ය අංශයේ රැකියා සම්බන්ධයෙන් පොදුවේ පවතින්නේ වැඩි කැමැත්තකි. ඒ නිසා රජයේ රැකියා තෝරා ගැනීමට වැඩි ප්‍රවණතාවක් ඇත. රැකියාවේ ස්ථිර බව පිළිබඳව විශ්වාසයක් ඇත. ප්‍රශ්නයකදී අධිකරණමය ක්‍රියාමාර්ගයකින් පසුව වුවත් සේවයට යා හැකි බවට විශ්වාසයක් ඇත. අඩු වැටුපක් වුවත් විශ්‍රාම වැටුම හෝ අර්ථ සාධකය, උසස්වීම් ලබා ගැනීම වැනි ​හේතු මත රාජ්‍ය අංශයට වැඩි නැඹුරුවක් පවති. රාජ්‍ය සේවයේ තරම් වෙන තැනක රැකියා ස්ථිර බවක් නොදක්වයි. කෙසේ වෙතත් රජයේ සේවකයන් නඩත්තු කරනු ලබන්නේ ජනතා මුදලිනි. ඔවුන්ගේ සේවය ජනතාවය. එහෙත් ඇතැම් ක්ෂේත්‍රවලට ප්‍රමාණවත් නොවන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරු, ඉංග්‍රීසි ගුරුවරු, හෙදියන් යනාදී වශයෙන් පෙන්විය හැකිය. ඒ අය ප්‍රමාණාත්මකව වැඩි කිරීමේ අවශ්‍යතාව ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉංජිනේරුවන් ප්‍රමාණවත් නැතත් සුළු සේවකයන් පමණ ඉක්මවා සිටිති. එබැවින් රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාවේ පොදුවේ බරපතළ වැඩිවීමක් ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගතහොත් එහි සේවක සංඛ්‍යාව විවිධාකාරය. සෞඛ්‍ය පරීක්ෂකවරු, ග්‍රාම නිලධාරීන්, තරුණ, බෞද්ධ, වැඩිහිටි, මාතෘ යනාදී අංශ සඳහා වෙන වෙනම යොදවා සිටිති. විශාල පිරිසක් සිටිති. මේ අයගෙන් කීප දෙනෙක් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ රාජකාරී කටයුතුවල යෙදෙනවාද? යන්න පිළිබඳව ගැටලුවකි. කොරෝනා වංසගතයක් සමග සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාශීලි වූහ. එය අගේ කළ යුත්තකි. ඩෙංගු වසංගතය දුරු කිරීමට ක්‍රියාශීලි වූහ. විශේෂිත අවස්ථාවල් හැරුණු විට සමාජයේ ප්‍රමගනය සඳහා ඔවුන්ගේ පැහැදිලි ක්‍රියාකාරිත්වයක් දැකගැනීමට නොහැකිවේ.

රැකියා වියුක්තියට පිළිතුරක් ලෙසට උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරී තනතුරු දෙනු ලබති. නමුත් ​​මොවුන්ට නිශ්චිත වූ කාර්ය භාරයක් පැවැරීමක් සිදු නොවේ. බොහෝ විට පත් කරනු ලබන කාර්යාලයේ මේසයක්, පුටුවක් දී වාඩිවී සිටීම කරනු ලබයි. ඔවුන් බහුතරයකින් රටේ සංවර්ධනයට කිසියම් දායකත්වයක් ලැබෙන බවක් කිව නොහැකිය. අවශ්‍ය සැලසුම් සකස් කිරීමක් ඔවුන්ගෙන් සිදු නොවෙයි.
පහසුවෙන් කර ගත හැකි රාජකාරී කටයුතු සඳහා විශාල පිරිසක් යෙදී සිටීම බොහෝ විට දක්නට ලැබෙන කරුණකි. රාජකාරියට විශාල පිරිසක් සිටියත් ජනතා අවශ්‍යතාවක් ඉටුකර ගැනීමේදී පහසුවෙන් සිදුවෙන දෙයක් නැති තරම්ය. සේවා අතිරික්තයක් සිටියදී ජනතා අවශ්‍යතා නිසි ලෙස ඉටු නොවන්නේ නම් කාර්යක්ෂම නිලධාරීන් සුළු පිරිසක් යොදා ගෙන ජනතා අවශ්‍යතා කඩිනමින් ඉටුකර ගැනීමට හැකියාව ඇත.

දේශපාලන පත්වීම් ගණනාවක් ලබා සිටින ඇතැම් ප්‍රාදේශීය සභාවකින් වීථි රේඛාවන් ලබාගැනීමට සැලසුමක් අනුමත කර ගැනීමට දින ගණනාවක් ජනතාවට රස්තියාදු වීමට සිදුවෙන අවස්ථාව ඇත.
විශේෂයෙන් විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය වැනි ස්ථානවල අතිරික්ක සේවක පිරිසක් සිටිති. එක් කෙනෙකුට දෙදෙනකුට කළ හැකි සේවාවන් වෙනුවෙන් දහ පහළොස් දෙනෙක් යොදා ගෙන සිටිති.

 

 

තාක්ෂණය යොදා ගත හැකි බොහොමයක් සේවාවන් සඳහා තවමත් පරණ ක්‍රමයටම හුරුවී සිටිති. අපේ සාක්ෂරතාව කෙතරම් ඉහළ මට්ටමක පැවතුණත්, අධ්‍යාපනය ඉහළ තත්ත්වයක පැවතුණත් බොහොමයක් රාජ්‍ය ආයතනවල තවමත් තාක්ෂණය නිසි පරිදි යොදා ගත් බවක් පෙනෙන්නට නැත. ඒ තත්ත්වයක් යටතේ සේවක සංඛ්‍යාව වැඩිකර ගෙන ඇත.

සේවක පිරිස් වැඩිවන විට තවත් ගැටලු ඇතිවේ. ඉල්ලීම් වැඩිවේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පෙළඹීම වැඩි වේ. උද්ඝෝෂණ ඇතිවේ. ඒවා නිදහස් අධ්‍යාපනයෙන් ඇති වෙන ප්‍රතිඵලයන්ය. බොහොමයක් දියුණු රටවල නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක නොවේ. බුද්ධි ගලනය බලන විට ඇතැම් ඉහළ සේවාවලට වැටුප් ප්‍රශ්න පැවතිය හැකිය. නමුත් සාමාන්‍ය ශ්‍රේණිවලට යොදවා ගෙන සිටින බහුතරයක් පිරිස බරක් වෙන අවස්ථා ඇත.
රැකියා වියුක්තියේ පෝලිමක් සිටීම සාමාන්‍ය ක්‍රමවේදයකි. රජයේ සේවයට පත්වෙන පුද්ගලයා අතරමැදදී සේවය හැර යන්නේද නැත. හමුදා සේවය නිශ්චිත කාලයේදී විශ්‍රාම ලබයි. විශ්‍රාම යාමෙන් පසු ඔවුන් වෙනත් කාර්යක නිරත විය හැක. රාජ්‍ය සේවයේ බහුතරයකගේ කාර්යක්ෂම බවක් නැත. රටේ සංවර්ධනයට දායකතත්වයක්ද නැත. ජීවත්වීමට තම කුටුම්බය ආරක්ෂා කර ගැනීමට රජයේ සේවයේ සිටිති. මේ බහුතර සේවක පිරිස මීට පෙර නිවසේ සිට සේවය කිරීමේ වැඩපිළිවෙළක් ගැන අවධානයක් යොමුවී නොතිබුණි.
කෝවිඩ් 19 වසංගත රෝගී තත්ත්වයත් සමග දුරස්ථ භාවය රැක ගැනීමේ අවශ්‍යතාව මත නිවසේ සිට සේවය කිරීමේ සංකල්පය ඇතිවිය. ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල බොහොමයක් සේවාවන් කාර්යාල තුළදී සිදු නොවේ. on line ක්‍රමය ඒ රටවල බහුල වශයෙන් සිදුවේ. අපේ රටේ තාක්ෂණ භාවිතය අවම වීම මගින් සියලුම සේවක කණ්ඩායම්වලට කාර්යාලවලට යාමට සිදුවී ඇත.
පෞද්ගලිකව තමන්ගේ පැත්තෙන් විශාල කාර්යභාරයක් ඉටු නොවුණත් රාජකාරිය පවත්වාගෙන යාම වැටුප් ලැබීම සුරක්ෂිතතාවය යන හේතු මත කාර්යාලයට එ්මට සිදුවී ඇත. අලුයම නැගිට උයා පියා බත්මුල් බැඳගෙන දරුවන් පාසලට ඇරලවා පොදු ප්‍රවාහන සේවයෙන් රාජකාරියට වාර්තා කිරීම සිදු වෙයි. මේ කාල සටහන තුළ පොදු වාහනවල ජනතාව බහුලවීම, වාහන තදබදය පරිසයට හානිවීම, අවිවේකය, ආතතිය මේ සියලු කරුණු ගොනු කර ගත් අසහනාකාරී කාර්ය බහුල ජීවිතයක් ඇතිවේ. රැකියාව පිළිබඳව උනන්දුව අඩු වේ. හරියාකාර ජනතා සේවයක් ඉටුවීමක්ද නැත.
පවත්නා තත්ත්වය මත සමාජ විද්‍යාත්මක වශයෙන් ලබාගත හැකි වාසි ගණනාවක් ඇත. එයට හැඩගැන්වීමට තාක්ෂණික වශයෙන් අප සංවර්ධනය විය යුතුව ඇත. බැංකු ක්‍රමය ගෙන බලමු. නිවසේ සිට බැංකු කටයුතු කර ගැනීමට තාක්ෂණය යොදා ගැනීමට හැකියාව ඇත්නම් එය ඉතාම පහසු කටයුත්තකි. කාලය ඉතිරි කර ගැනීමකි. අධ්‍යාපනය පැත්තෙන්ද තාක්ෂණය යොදා ගැනීමට හැකියාව ඇත්නම් ග්‍රාමීය හා නාගරික වශයෙන් අධ්‍යානයේ බෙදීමක් ඇති නොවේ. දැනට වුවත් නාගරික මට්ටමින් අධ්‍යාපනය සඳහා තාක්ෂණික යොදා ගැනීමේ ගැනීමේ බරපතළ ගැටලුවක් නැත. එහෙත් ග්‍රාමීය මට්ටමට ඒ පහසුකම් සලසා නැත.

කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ප්‍රධාන පෙළේ පාසල්වල දරුවන්ට තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. නාගරික වශයෙන් ඇති දියුණුව ග්‍රාමීය මට්ටමටත් ව්‍යාප්ත කළ හැකි නම් එය විශාල පහසුවකි.

පළමුව රටක් වශයෙන් අප ආකල්පමය වෙනසක්මක් ඇති කර ගත යුතුව ඇත. කොරෝනා වසංගත තත්ත්වය මත නිවසේ සිට වැඩකිරීමේ සතියක් ප්‍රකාශයට පත්විය. එයට කිසිවකුගෙන් විරෝධයක් දක්වූයේ නැත. ඒ වෙනත් විකල්පයක් නොමැති වූ හෙයිනි. එලෙසම ආයතනයක් ක්‍රියාත්මක වීමට සේවක පිරිස සීමාකර ඇත.

තවත් පැත්තකින් නිසි වගකීමක් නොමැතිව පත්කර සිටින රජයේ සේවකයන් සඳහා වැටුප් ගෙවීම රජයකට ලේසි පහසු කාර්යයක් නොවෙන්නේය. රටක් වශයෙන් ඉදිරියට යාමටත් පවත්නා තත්ත්වය යටතේත් වඩා සුදුසු වෙන්නේ කාර්යාලවල සේවාවන් සඳහා යොදා ගන්නා පිරිස සීමා කිරීමයි.

සතියේ දින පහම කාර්යාලයට යනවා වෙනුවට දින 3ක් නිවසේ සිට රාජකාරී කිරීමත් ඉතිරි දින දෙක කාර්යාලයට යාමටත් හැකියාවක් ඇති වන්නේ නම් එය සියලුම අංශවලට පහසුවක් වනු ඇත. එකවර එවැනි තත්ත්වයක් ඇතිකිරීමට නොහැකි වුවත් ඒ සඳහා රටක් වශයෙන් පියවර ගතයුතුව ඇත.

එක්වරම රජයේ සේවකයන් අඩු කළ නොහැකි බව පිළිගත යුතුව ඇත. එහෙත් පවත්නා තත්ත්වය යටතේ සේවකයන් අඩුකර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් දිරි ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් අඩු සේවා කාලයකින් විශ්‍රාම ගැනීමේ අවස්ථාව වැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි වෙයි. එමගින් රාජ්‍ය සේවයේ බහුතරය අඩුකර ගැනීමටත් සේවක පැත්තෙන් ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා යම් සැලකිය යුතු මුදලක් අතට ලබා ගැනීමටත් හැකිවනු ඇත. එමගින් ක්‍රමානුකූලව වැඩි සේවක පිරිස අවම කර ගැනීමට හැකි වනු ඇත.

කොරෝනා වසංගතයක් සමග නිවසේ සිට රාජකාරී කරන ලෙසට රජය මගින් දැනුම්දී තිබුණි. ඇතැම් අංශ එහිදී ක්‍රියාත්මක වූ බවත් වාර්තා නොවේ. විශ්වවිද්‍යාල මට්ටමින් නම් සිසුන් දැනුවත් කිරීමේ කටයුතු හැකි තරමින් සිදු වුණි.

වැඩ සංකල්පය මත බහුතරයකගේ මානසික මට්ටම හැඩ ගැසී ඇත්තේ කාර්යාලයක වැඩ කිරීමයි. උදේ කාර්යාලයට ගොස් හවසට ගෙදර ඒමට ඇති මානසිකත්වය මත කටයුතු කිරීම සිදු වීමයි. බොහෝ බටහිර රටවල බිරිඳට දරුවකු ලැබුණ පසු සැමියාට කාර්යාලයේ රාජකාරී කටයුතු නිවසේ සිට කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත. එමගින් නිවසේ වැඩකටයුතු බාධාවකින් තොරව කර ගැනීමට හැකිවන අතර රාජකාරී කටයුතු ද නොපමාව කර ගැනීමට අවස්ථාව සැලසෙයි. රාජකාරියේ ඉලක්කයක් ලබාදුන් විට එය ඉටු කිරිමට කාර්යාලයටම යා යුතු වෙන්නේ නැත.

බොහොමයක් රාජ්‍ය ආයතන ජීවත් වන්නේ ලිපිගොනු සමගය. ලිපිගොනුව නොමැතිව කිසිවක් කළ නොහැක. කිසිම තීන්දු තීරණයක් ගත නොහැකිය. මේ ප්‍රශ්න මතුවෙන්නේ ඒ තත්ත්වය නිසාය. වාහනයක් ලියාපදිංචියක් වැනි දෙයක් නිවසේ සිට කරගත හැකියාව ඇත. පොලිසියට අද පාර අයිනේ සිට දඩකොළ ලිවිය යුතු නැත.

මේ රටේ ජනතාව පුරුදු වී සිටින්නේ නිකම් ඉඳගෙන වැටුප් ලැබීමටය. මේ වෙනවිට කොරෝනා වසංගතයත් සමග රට ආපස්සට ගොස් ඇත. යළි නැගී සිටිමේදී නව සංකල්ප නව ක්‍රියාපිළිවෙත් මගින් රටක් වශයෙන් ඉදිරියට යා යුතුව ඇත. අපේ ගමන් මාර්ගය වෙනස් විය යුතුව ඇත. අලුත් විය යුතුව ඇත. පරණ කරත්ත පාර වෙනුවට අලුත් මාර්ගයකට යොමුවිය යුතුව ඇත. ඒ සඳහා කාර්යක්ෂම සේවක පිරිසක් සමග කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ආවශ්‍යව ඇත.

 

සාකච්ඡාව දයාසීලි ලියන​ගේ   / www.lankadeepa.lk